විජයකලා නීතියටත් උඩින්.. ප‍්‍රශ්න කිරීමක්වත් නෑ.. ආණ්ඩුවේ හැසිරීම පරස්පරයි..

උතුරේ ජනතාවට සැනසීමෙන් ජීවත් වීම සඳහා දෙමළ විමුක්ති කොටි සංවිධානය යළි නැගිටවීම සිය අරමුණ බව විජයකලා මහේෂ්වරන් පැවසුවේ ජූලි මස 2 දිනයි.  එනම් එකී ප්‍රකාශය සිදු කර දැනට දින දහයක් ද ඉක්ම ගොස් ඇත.  නමුත් තවමත් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

කොටි සංවිධානය යනු  දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහි කිරීමට කටයුතු කළ සංවිධානයකි.  එබැවින් කොටි සංවිධානය යළි ගෙන ඒම යනු ශ්‍රී ලංකාව බෙදීමට කටයුතු කිරීමයි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157අ වගන්තිය අනුව බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීම බරපතල වරදකි.  එයට දඬුවම වන්නේ සියළු දේපල රාජ සන්තක කර සත් වසරකට ප්‍රජා අයිතිය අහිමි කිරීමයි.  ඊට අමතරව එම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු නම් මන්ත්‍රි ධූරය ද අහිමි වේ.

එස් ජේ වී චෙල්වනායගම් දෙමළ බෙදුම්වාදයේ පියාය.  ඔහු බෙදුම්වාදය ව්‍යාප්ත කලේ අවිහිංසාවාදිවය.  නමුත් කොටි සංවිධානය බෙදුම්වාදය ප්‍රවර්ධනය කලේ රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධ කැරැල්ලක් හරහාය.   ඒ අනුව විජයකලා සිදු කලේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි සන්නද්ධ කැරැල්ලකට අනුබල දීමයි.  දණ්ඩ නීති සංග්‍රහයේ 114 වගන්තියට අනුව රාජ්‍යයට එරෙහිව වූ යුද්ධයකට ආධාර හෝ අනුබල දීම මරණ දඬුවම ලබා දී දේපල ද රාජ සන්තක කළ හැකි බරපතල වරදකි.

සිවිල් සහ දේශපාලන අයිතින් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලාංකික නීති අතරට ගෙන ඒම සඳහා 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතින් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කරන ලදී.  එකී පනතේ තෙවන වගන්තිය අනුව යම් පුද්ගලයෙකු යුද්ධය ප්‍රවර්ධනය කරයි ද ජනවර්ග අතර වෛරය වපුරයි ද ඔහු දඬුවම් ලැබිය යුතු වරදක් කරයි.  එමෙන්ම මහාධිකරණයකට ඇප ලබා දීමට සුවිශේෂි හේතුවක් නොමැති නම් නඩුව විභාග කර අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබිය යුතුය.  කොටි සංවිධානය යනු සිංහල සහ මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් සමූල ඝාතන සිදු කළ ජාතිවාදි සංවිධානයකි.  එබැවින් එවැනි සංවිධානයක් යළි නගා සිටුවීම සිය අරමුණ යැයි පැවසීම සිංහල සහ මුස්ලිම් ජනතාව බියෙන් සලිත කරන ප්‍රකාශයකි.  ජනවර්ග අතර වෛරය වැපිරෙන ප්‍රකාශයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය සහ සිවිල් සහ දේශපාලන අයිතින් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යන නීති තුනම පවසන දේ අපට මෙසේ සාරාංශ ගත කළ හැක.  විජයකලා කොටි සංවිධානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හේතුවෙන් ඇය වහාම අත්අඩංගුවට ගත යුතු අතර නඩු විමසා අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරයේ රැඳවිය යුතුය.  ඇයට මරණ දඬුවම ලබා දිය යුතුය.  ඊට අමතරව ඇයගේ දේපල ද රාජ සන්තක කළ යුතුය.  මරණ දඬුවම ලබා නොදෙන්නේ නම් ඇයට බරපතල වැඩ සහිතව වසර දහයක් දක්වා සිර දඬුවම් ලබා දිය යුතුය.  එමෙන්ම ඇය මන්ත්‍රි ධූරයෙන් නෙරපා වසර හතක් ප්‍රජා අයිතිය ද අහිමි කළ යුතුය.

ඉහත නීති විවරණය පෙන්වා දෙන්නේ බෙදුම්වාදි ත්‍රස්තවාදි සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම අතිශයින්ම භයානක දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.  විජයකලාට එරෙහිව ඉහත නීති ක්‍රියාත්මක වී ඇති ආකාරය දැන් අපි විමසා බලමු.

විජයකලා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.  අවම වශයෙන් ප්‍රශ්න කිරිමක් වත් සිදු වී නැත.  සිදු වී ඇති එකම දෙය නම් අගමැතිගේ උපදෙස් මත ඇය ඇමති ධූරයෙන් ඉවත් වීමයි.  බෙදුම්වාදි ත්‍රස්තවාදයට අනුබල දීමට දඬුවම ලෙස ඇමති ධූරය අහිමි වීම දක්වා නැත.  දක්වා ඇති දඬුවම් ඊට වඩා බරපතලය.  නමුත් එකී දඬුවම් විජයකලා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවක් ද නොපෙනේ.

එජාපය ඇය සම්බන්ධයෙන් විනය කමිටුවක් පත් කළ බව සැබෑය.  නමුත් තවමත් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා නැත.  කොටි පරදන සටන සවිමත් කිරීමට ජනපති මහින්ද සමග එජාප මන්ත්‍රිවරුන් එකතු වුණු විට වහාම ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප නායකත්වය යුහුසුළු විය.  නමුත් කොටි නැගිටුවීමට යෝජනා කරන විජයකලාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප නායකත්වය උනන්දුවක් දක්වන්නේ නැත.  කොටි විරෝධින් සහ කොටි හිතවාදින් සම්බන්ධයෙන් එජාපය පෙන්වන පරස්පර හැසිරීමෙන් සනාථ වන්නේ එජාපය කොටි හිතවාදි පක්ෂයක් බවයි.

එජාපයේ පමණක් නොව ආණ්ඩුවේ හැසිරීමේ ද පරස්පර බවක් තිබේ.  දිගන මුස්ලිම් විරෝධි ගැටුම් ඇති වුණු  පදනම් විරහිතව විශාල පිරිසක් අත්අඩංගුවට ගැනිණි.  අත්අඩංගුවට පත් වුණු බොහෝ දෙනෙක් ගැටුම් වලට සම්බන්ධ බවට කිසිම සාක්ෂියක් නැත.  ගැටුම් ඇති කළ අය තවමත් නිදැල්ලේය. අත්අඩංගුවට ගත් අය කළ එකම වරද වූයේ ගැටුම ඇති වුණු දින දිගන නගරයේ සිසිටීවි කැමරා වල මුහුණු සටහන් වන අයුරින් නගරයේ සිටීමයි.    එනම් වැරදි වෙලාවේ වැරදි තැන සිටීමයි.

එසේ අත්අඩංගුවට ගත් පිරිසෙන් 105 දෙනෙකුට තවමත් ඇප ලබා දී නැත.  ඔවුන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේය.  සිවිල් සහ දේශපාලන අයිතින් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ බැවින් මහෙස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ට ඇප ලබා දීමට බලයක් නැත.  මහාධිකරණයකට වුවත් ඇප ලබා දිය හැක්කේ සුවිශේෂි හේතු ඇත්නම් පමණි.  සාක්ෂි නොතිබිය දී පුද්ගලයින් 105ක් දින නියමයකින් තොරව රක්ෂිත බන්ධනාගාර කර තිබෙන පසුබිමක සමස්ත ජාතිය ඉදිරියේම ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රවර්ධනය කළ විජයකලා අත්අඩංගුවට ගැනීමට තවමත් පොලිසිය සමත් වී නැත.

විජයකලා තම ප්‍රකාශය සාධාරණීකරණය සඳහා හේතු දෙකක් ඉදිරිපත් කර ඇත.  පළමු හේතුව ලෙස ඇය දැක්වූයේ දැරියක දූෂණය කර මරා දැමීමෙන් ඇය ආතතියට පත් වී සිටි බවයි.  නමුත් රටම කම්පා කළ විද්‍යා දැරිය දූෂණය කර මරා දැමූ දූෂකයින් බේරා ගත්තේ ද ඇයයි.  ගම්වැසියන් විසින් තමන් අල්ලා ගෙන කණුවක ගැට ගසා සිටිය දී විජයකලා තමන්ව බේරා ගත් බවත් ඇය පැය දෙකක් පමණ තමන් සමග ගත කළ බවත් එම නඩුවේ පළමු චුදිත ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් 2017 අගෝස්තු 29 දින යාපනයේ මහාධිකරණයේ දී පැවසීය.  එසේ නම් විද්‍යා දැරිය දූෂණය කර මරා දැමූ විට විජයකලාට ආතතිය නොහැදුනේ මන්ද?

කොටි සංවිධානය විසින් උතුරේ දරුවන් පාසල් යන අතරේ පැහැර ගෙන ගොස් බලහත්කාරයෙන් අවි පුහුණුව ලබා දී බෙල්ලේ සයිනයිඩ් කරල් ගැට ගසන ලදී.  කොටි සංවිධානයට ද්‍රෝහි වීම යන චෝදනාව යටතේ දෙමළ පියවරු දහස් ගණනක් ඝාතනය කර දරුවන්ට පියවරු අහිමි කරන ලදී.  අම්පාර ගෝනගල දී මවගෙන් කිරි උරා බොමින් සිටි බිලිඳා උදුරා ගෙන ඔළුව පොල් ගසේ ගසා පොඩි කර මරා දමන ලදී.  කැබිතිගොල්ලෑවේ දී පාසල් දරුවන් ද අරන්තලාවේ දී සාමනේරවරුන් ද තොග පිටින් ඝාතනය කරන ලදී.  මේ කිසි අවස්ථාවක විජයකලාට ආතතිය නොහැදුනි.  එබැවින් දැරියක් දූෂණය කිරීමෙන් තමන්ට ආතතිය හැදුනු බවට විජයකලා කරන ප්‍රකාශය පිලිගත නොහැක.

කොටි සංවිධානය යළි අවශ්‍ය බවට කළ ප්‍රකාශයට දෙවන හේතුව ලෙස ඇය දක්වන්නේ කොටි සංවිධානය පැවැති යුගයේ අපරාධ අවම මට්ටමක තිබුණු බවයි.  නමුත් ඇය නොකියන කතාවක් ද ඇත.  කොටි සංවිධානය විනාශ වුණේ 2009 දීය.  නමුත් යාපනය කොටි සංවිධානයෙන් මුදා ගන්නේ 1995 දීය.  කොටි සංවිධානයෙන් මුදා ගත් 1995 සිට එම සංවිධානය විනාශ වුණු 2009 දක්වා වසර 14 තුල ද උතුරේ අපරාධ රැල්ලක් නොපැවතිණි.  එමෙන්ම 2009 සිට වත්මන් ආණ්ඩුව බලයට පැමිණි 2015 දක්වා ද උතුරේ නීතියේ ආධිපත්‍ය පැවතිණි.  ආවා වැනි කල්ලි මතු වී උතුරේ අපරාධ රැල්ලක් බිහි වූයේ විජයකලාගේ ආණ්ඩුව 2015 දී බලයට පැමිණීමෙන් පසුවය.

විජයකලා නිදහසට ඉදිරිපත් කරන කරුණු දෙකම පදනම් විරහිත බැවින් ඇයට වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළ යුතුය.

– උදය ගම්මන්පිල