පොලිසියට බලපෑම් කළ බව ෆොන්සේකා පිළිගනී – සියලු චෝදනාවලට පිළිතුරු දෙයි

තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පාතාල සාමාජිකයන් ආරක්ෂකයන් ලෙස තබාගෙන සිටීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට එල්ල වන චෝදනාවන්ට ප්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පිළිතුරු ලබා දුන්නේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ තොරතුරු සපයන මාධ්‍යවේදියා එයා මීට ඉස්සෙල්ලා මට දෙපාරක් විතර කතා කරලා තියෙනවා. එක පාරක් කතා කළා හමුදාපති කාලේ. අවසාන දෙවතාවේම මට කතා කරලා මට පැවසුවේ එයාගේ උත්සවයක් තියෙනවා මේ කාලේ ජෙනරාල් අපිට ටිකක් අතට මිටට අමාරුයි පුළුවන් නම් විස්කි බෝතල් දෙකක් සොයල දෙන්නකෝ කිව්වා. ඊට පස්සේ මම කිව්වා මම ඒවා කරන්නේ නැහැ. ඔබතුමා මට ඒ වගේ දේවල් වලට කතා කරන්න එපා කියලා මම ටෙලිෆෝන් එක තිබ්බා. එදා ඉඳලා එයා යම් යම් තැන්වල මාව විවේචනය කරලා තිබුණා. මේ අවස්ථාවේ එයා ක්‍රියාත්මක වෙලා තියෙනවා. පින්තූර දෙකක් දාලා තියෙනවා. ඒ එක පින්තූරෙක මම ඉන්නවා. අපි මේ අයගේ ඉතිහාසය ගැන පැටිකිරිය ගැන හොඳට දන්නවා. මෙයා තනිකරම රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ ඉඳගෙන සෙරෙප්පු ලෙවකකා හැමදාමත් අපිට මඩ ගහපු මාධ්‍යවේදියෙක්. මේ පුද්ගලයා කියනවා පාතාලයේ පහක් ඇමතිට බොඩිගාඩ්ලා ඉන්නවා කියලා. මගේ බොඩිගාඩ්ලා ගැන දැනගන්න අවශ්‍ය නම් පොලීසිය 17 දෙනෙක් ඉන්නවා, ඉන්ස්පෙක්ටර්ලා 4 දෙනෙක් ඉන්නවා, STF එකෙත් 4දෙනෙක් ඉන්නවා. මට පාතාලයෙන් බොඩිගාඩ්ලා ගන්න අවශ්‍යද නැද්ද කියන එක මොලේ කළදක් හරි තියෙන මාධ්‍යවේදියෙකුට නම් ඒක වැටහෙන්න ඕනේ. මෙතන කියලා තියෙනවා අරුණ අත්තනායක කියන කෙනෙක් අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයට සම්බන්ධව සිටින බවට, ඒ කියපු එක්කෙනෙකුට මම දන්නවා අවුරුදු 20කට ඉස්සෙල්ලා නඩුවක් තිබිලා තියෙනවා, පින්තූර වල ඉන්න එක්කෙනෙකුට. එතකොට අපිට බැහැ තැනකට ගියාම ඔයාට අවුරුදු 20කට ඉස්සෙල්ලා නඩුවක් තිබිලා තියෙනවා, නඩුවකින් වරදකරු වෙලා නැත්තම්, මිනීමැරුම් නඩුවකින් ඇප හම්බුවෙලා ඉන්න කෙනෙක් නම් අපිට බැහැ ඒ වගේ කට්ටිය කොන් කරලා පැත්තකට දාන්න. මේකේ කියලා තියෙනවා පාතාලයේ එක්කෙනෙක් මගේ කාර්යාලයේ වැඩ කරනවා කියලා. මගේ කාර්යාලයේ වැඩ කරන දෙන්නෙක් ඉන්නවා.”

“ඒ දෙන්නට මම පඩි ගෙවනවා, ඒ දෙන්නාට රජයේ පඩි හම්බු වෙන්නේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ. ඒ ඇරෙන්න වෙන කවුරුත් වැඩ කරන්නේ නැහැ. හැබැයි පහුගිය කාලේ STF වෙඩි පහරකින් පුද්ගලයෙක් මිය ගියා, ඒ පුද්ගලයාට තිබුණා මිනීමැරුම් නඩු දෙකක්. ජාවාරම් කරලා නෙවෙයි, කුඩු විකුණලා නෙවෙයි, කප්පම් අරන් නෙවෙයි, කැලණියේ තිබුණ තරුණ කණ්ඩායම් දෙකක් අතර තිබුණ ගැටුමක ප්‍රතිඵලයක්. ඊළඟට මේකේ නම් දෙකක් තියෙනවා නයනජිත් කියලා ළමයෙක්ගේ නමක් තියෙනවා, මේ දරුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේ වගේ දරුවන්ගේ නම් දාලා එක එක FMවල ඉන්න නරුමයෝ අපහස කරන්නේ පාතාලයෙක්. මේ පාතාලයා තමයි මේ ඇමැතිත් එක්ක එකට වැඩ කරන්නේ කියලා මගේ පින්තුරයකුත් දානවා. ඊළඟට කියලා තියෙනවා පහුගිය දවස්වල මම පොලිසියට බලපෑම් කරා කියලා, අපි අඳුරන කෙනෙක්ගේ බිරිඳගේ මල්ලි අල්ලාගෙන ගියා පොලිසියෙන්, එයා කිසිම වරදක් කරලා නැති අහිංසකයෙක් බව අපි දන්නවා. ඒ තරුණයා ඊට පස්සේ එළියට ආවා. එළියට එනකොට ඇස්වලට මිරිස් කුඩු දාලා, පොලිතින් බෑගයක් ඔලුවට දාලා, අත් දෙකෙන් එල්ලලා, පහර දීලා, හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා, හොස්පිටල් එකටත් තර්ජනය කරලා, පැනලා ඇවිත් ගෙදර එන්නේ නැතුව හිටියා සුමාන දෙකක්. ඒ වගේ දේවල් වුනාම අපිට බැහැ දේශපාලඥයෙක් හැටියට , කොන්ද පණ තියෙනවා නම් ජනතාවගේ පැත්ත ගන්නේ නැතුව නිල ඇඳුමට ආවඩලා  හරි, පොලිසියේ පැත්ත අරන් හරි අහක බලන් ඉන්න. පොලීසිය කියන්නේ හොඳ දෙපාර්තමේන්තුවක්. ඕකේ ඉන්නවා කප්පම් කාරයෝ, අල්ලස්කාරයෝ, මිනීමරුවෝ ඉන්නවා. මේවා දැක්කොත් අපි යම්කිසි තැනකදී ජනතාවගේ පැත්ත ගන්නවා ඇරෙන්න අපට බැහැ අහක බලාගෙන ඉන්න. මර්වින් සිල්වා කැලණිය කළා වගේ දේශපාලනය කරන්න මට අවශ්‍ය නැහැ.” ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය