මරණ දඬුවම නියම වූවන්ගේ නම් හෙළි කළ නිළධාරියෙකු නිසා හිරගෙදර උණුසුම් වෙයි..!

මරණ දණ්ඩනයට නියම වූවන්ගේ කියන නාම ලේඛණයක් පසුගියදා මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.

මේ පිළිබඳව බන්ධගනාගාර දෙපාර්තුමෙන්තුවෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙන අතර එම ලේඛණය මාධ්‍ය වෙත ලබා දුන් බව කියන නිළධාරියෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත්, සදාචාර සම්පන්න නොවන මෙම නිළධාරියා සේවයෙන් පහ කිරීමට කටයුතු කරමින් ඇති බවත් එම දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ලේඛනය ජනාධිපතිවරයා වෙත යැවීමට පෙර අධිකරණ අමාත්‍යාංශය පැත්තෙන් කළ යුතු කාර්ය භාරයන් රැසක් තිබෙන බවද එවැනි අවස්ථාවක මාධ්‍යයෙන් එකී නාම ලේඛනය ප්‍රසිද්ධියට පත්වීම බරපතළ කාරණාවක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා

එමෙන්ම මරණ දන්ඩනයට නියම වූවන්ගේ සැබෑ ලේඛණය ඉතා ආරක්ෂා සහිතව ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එම ලැයිස්තුවේ මහා පාරිමාණ කුඩු ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවන් කිසිවකුත් ඇතුළත් නොමැති වීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්වූවා.

මේ අතර වධක තනතුර සඳහා නිල වශයෙන් අයදුම්පත් කැඳවීමටත් පෙර ඒ සඳහා අයදුම්පත් 08ක් ලැබී ඇතැයි බන්ධනාගාර ආරංචි පවසනවා.

විධිමත් පටිපාටිය යටතේ රාජ්‍ය සේවයේ තනතුරක් යටතේ අයදුම්පත් කැඳවීම ගැසට් නිවේදනයක් මගින් සිදු කළ යුතු නමුත් වධක තනතුර සඳහා එවැනි අයදුම්පත් කැඳවීමක් මෙතෙක් සිදු කර නැහැ.

වධක තනතුර සඳහා තැනැත්තන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයට බඳවා ගැනීමට අපේක්ෂා කරන බවට වාචික ප‍්‍රකාශයක් පමණක් මීට පෙර සිදු කෙරුණා.

පුද්ගලයින් 08 දෙනෙකු වධක තනතුර සඳහා දැනටමත් අයදුම්පත් එවා ඇත්තේ ඒ අනුවයි. කෙසේ වෙතත් එම අයදුම්පත් ප‍්‍රතික්ෂේප කිරීමට සිදු වනු ඇතැයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර හලාවත ප‍්‍රදේශයේ වැඩිහිටි කාන්තාවක් ඉකුත්දා ප‍්‍රකාශ කළේ වැටුප් නොමැතිව වුවද වධක තනතුර භාරගැනීමට සූදානම් බවයි. අනුරාධපුර මහවිලච්චිය ප‍්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකු ද වධක තනතුර භාරගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිනවා.