වසර බිලියන 3කටත් වඩා පැරණි බැක්ටීරියාවක් රාජාංගනය වැවේ වර්ධනය වෙයි

වසර බිලියන 3.5ක් පැරණි බැක්ටීරියාවක් සුපෝෂණය වීම හේතුවෙන් මේ වන විට රාජාංගනය වැවේ ජලයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් මේ දිනවල වැවේ ජලය තද කොළ පැහැ ගැන්වී දැඩි දුර්ගන්ධයකින් යුක්තව ඇති බවයි වාර්තා වෙන්නේ.

වැව හරහා හමායන සුළං සමග දැඩි දුර්ගන්ධය අවට ප‍්‍රදේශය පුරා පැතිර යාම නිසා එම ප‍්‍රදේශවාසීන් ද දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. මෙම තත්ත්වය තුළ වැව අවට ප්‍රදේශයේ ජනතාව රෝගී වී ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

රාජාංගනය වැවේ මතුව ඇති මෙම තත්ත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි අනුරාධපුර දිස්ත‍්‍රික් ධීවර නිලධාරී සිසිත කුමාර සඳහන් කළේ. දැනට වැවේ ජල සාම්පල් ජලජීවී වගා සංවර්ධන අධීකාරීයේ මත්ස්‍ය විශේෂඥ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරමින් සිටින බවත් සඳහන් කළා.

රජරට විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය වසන්තසේන වැලිඅංග සඳහන් කළේ,

” රාජාංගනය වැවේ මතුව ඇති තත්ත්වය මම නිරීක්ෂනය කළා. මෙම තත්ත්වය සුපෝෂණ තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. වැවට නයිට‍්‍රජන් හා පොස්පරස් එකතුවීම නිසා තමයි මේ තත්ත්වය මතුවෙලා තියෙන්නේ. වැව ඉහළ ප‍්‍රදේශයේ සිදු කෙරෙන වගා කටයුතුවලදී ඒවාට රසායනික පොහොර යෙදීම සිදු කෙරෙනවා. එම පොහොරවල තියෙන අධික නයිට‍්‍රජන් හා පොස්පරස් වැවට එකතු වෙනවා. ඊට පස්සේ වැවේ තිබුණ මයික්‍රෝසිස්ටිස් කියන බැක්ටීරියාවක් සුපෝෂණය වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය මතු වෙලා තියෙනවා. මේ බැක්ටීරියාව වසර බිලියන 3.5කට වඩා පැරණි එකක්. මයික්‍රෝසිස්ටිස් බැක්ටීරියාව ජලයේ තිබෙන නයිට‍්‍රජන් හා පොස්පරස් උරා ගැනීමත් සමග එහි ගහනය වැඩි වනවා. විනාඩියක් තුළ මෙයාලා සෛල විශාල ප්‍රමාණයකට බෙදෙනවා. පසුව එය ජලය මතුපිට වලාකුලක් මෙන් තට්ටුවක් ලෙස වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒ තට්ටුවට යටින් වතුරට ඉර එළිය වැටෙන්නේ නැහැ. ඒ නිසා එහි යට ජලයේ ඇති ඔක්සිජන් ප‍්‍රමාණය අඩු වෙනවා. ඒ අනුව ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් එම ජලයේ ඉන්න සත්ව වර්ග හා ශාඛ සියල්ල විනාශ වෙනවා.  මුළු පරිසරයම අප‍්‍රසන්න තත්ත්වයට පත්වෙනවා. ඒ හේතුවෙන් දුගද හමා එනවා. මෙවැනිම තත්ත්වයක් 2002දී පමණ මහනුවර වැවෙනුත් වාර්තා වුණා. මෙම මයික්‍රෝසිස්ටිස් බැක්ටීරියාව සුපෝෂණය වූ විට ඊට පුලූවන් අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න. එලෙස නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය මිනිසාගේ ස්නායු පද්ධතියට හා අක්මාවට හානි කරන බව දැනට ලෝකයේ පර්යේෂකයෝ හොයා ගෙන තියෙනවා. දුර්ගන්ධයත් සමග සිදුවන වායු දූෂණය නිසා කැස්ස පපුවේ දැවිල්ල මුහුණේ දැවිල්ල වගේ රෝග තත්ත්වයනුත් ජනතාවට ඇති වෙනවා. අපිට දැන් රාජාංගනය වැවේ මේ තත්ත්වය වලක්වන්න බැහැ. දැන් තත්ත්වය මතු වෙලා ඉවරයි. ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් වන්නේ නම් පමණක් එය වළක්වා ගැනීමට වැව් තාවල්ලේ කෙරෙන වගා කටයුතු නවත්වන්න වෙනවා. එහෙමත් නැත්නම් එවැනි වගා බිම්වලට නයිට‍්‍රජන් හා පොස්පරස් අඩංගු පොහොර යොදන එක් නවත්වන්න වෙනවා. මේ ඒක සෛල ජීවින් ඕනෑම ජලාශයක සුළු වශයෙන් ඉන්නවා. එහෙත් ඔවුන්ට වර්ධනය වෙන්න බෑ. නමුත් ඔවුන්ට නයිට‍්‍රජන් හා පොස්පරස් එකතු වුණොත් ඉතා වේගයෙන් වර්ධනය වෙනවා.”