මී මැස්සන් උස්සන් ගිනස් පොතට

චීනයේ පනස් අට හැවිරිදි ගායෝ බිංගුවෝ ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙන්නේ සැබෑවටම ඔහු පෑ දස්කමක් නිසා නොව මී මැස්සන් පෑ දස්කමක් නිසාය. වසර 38 ක් පුරා මී මැස්සන් ඇතිකරන චීනයේ තායිෂාන්වල පදිංචි ඔහු මී මැසි රජු ලෙස හඳුන්වයි. ඔහු 2015 වසරේ ලෝක වාර්තාව පිහිටුවන විට මී මැස්සන් විසින් දෙදහස් වාරයකට වඩා දෂ්ට කර තිබිණි.

ගායෝ බිංගුවෝ වාර්තාව පිහිටුවීම සඳහා විහඟු ආකර්ෂණය කර ගැනීමට මුලපුරා ඇත්තේ මී මැසි රැජිනියන් දොළසක් සිරුරේ තබාගනිමිනි. පැය තුනකින් ඔහුගේ නාසය, දෙතොල් හැර අන් සියලු ස්ථානවලම මී මැස්සන් වසා ඇත. ඔහු ලෝක වාර්තාව පිහිටුවන විට ගතේ වසා සිටි මී මැසි ගහනයේ බර කිලෝග්‍රෑම් 109.1 කි. කිලෝ එකකට මී මැස්සන් 10,000 ක් පමණ ඇතුළත් විය.

මී මැස්සන් ඉවත් කළ පසු ඔහුගේ උෂ්ණත්වය භයානක අන්දමින් සෙල්සියස් අංශක 60 කට පහළ බැස ඇත.

2015 වසරේදීම තවත් චීන ජාතිකයකු වූ රුආන් ලියාංමිං මී මැස්සන් වැඩි කාලයක් ගතෙහි තබාගෙන සිටි පුද්ගලයා ලෙස වාර්තා පොතට එක් වී තිබේ. ඔහු මිනිත්තු 53 ක් හා තත්පර 34 ක් මී මැස්සන් තබාගෙන සිට වාර්තා පොතට එක්වී ඇත. ඔහු ද වැඩි වේලාවක් ගතෙහි මීමැස්සන් රඳවා ගැනීමට මුලපුරා ඇත්තේ රජ මැස්සියක ගතෙහි තබා ගනිමිනි. රජ මී මැස්සිය වටා සේවක මීමැස්සන් ඒකරාශී වේ.

ඔහු වාර්තාව පිහිටුවන විට කිලෝග්‍රෑම් 62.1 ක (රාත්තල් 136ක) මීමැසි බරක් දරාගෙන සිට ඇත. රුආන් “මං මීමැස්සන්ට ආදරෙයි. මී මැස්සන් මට ආදරෙයි. මේ මී මැස්සන් මගේ පියාඹන මිතුරෝ” ඔහු පවසා තිබේ.

ගායෝ බිංගුවෝ, රුආන් ලියාංමිං පමණක් නොව මී මැස්සන්ට සිය ගත නිවහනක් කළ ඇත්තන් බොහෝය. චීනය මීමැස්සන් ගතෙහි රුවා ගැනීමට රුසියන්ය. 2011 දී චීනයේ වැං ඩාලින් හා ලූ කොංජියැං ද මීමැස්සන් වැඩි ගණනක් ගතෙහි තබාගැනීමේ සටනක නිරත වූ අතර ඩාලින් එම තරගයෙන් ජය ලැබුවේය. ඩාලින්ගේ ගත පැයකට පසු රාත්තල් 57 ක් බරැති මී මැස්සන්ගෙන් පිරී තිබිණි. එක් රාත්තලක මී මැස්සන් හාරදහසක් සිටි බව කියවේ. මී මැසි එකතුව 228,000 කි.

මී මැස්සන් ගත දවටා ගැනීමට සියවසකට වැඩි ඉතිහාසයක් ඇත. එයට දේශසීමා ද නොමැත. රැවුලක් මෙන් මීමැස්සන් තබාගැනීම ඉතා ජනප්‍රියය. 2009 දී ඉන්දියාවේ නවදිල්ලියේ වෙපින්සිත් පැය දෙකහමාරකදී මීමැස්සන් රාත්තල් 137 ක බර දරාගෙන සිටියේ. අමෙරිකානු පුහුණුකරුවකු වූ මාර්ක් බියාන් කැනිලෝ 1998 දී මීමැස්සන් 350,000 දරාගෙන සිටියේය.

ගිනස් වාර්තා පොතේ වැඩි බරකින් මීමැස්සන් ගත දවටා ගැනීමේ අංගයක් ද ඇතුළත්ය. අයිරිස් ජාතික මීමැස්සන් ඇතිකරන්නා වූ පිලිප් මැක්කැබේ ගිනස් වාර්තාව බිඳ හෙළීමේ අරමුණින් තරග බිමට පිවිස රාත්තල් සීයක මීමැස්සන් ගත දවාගැනීමට උත්සාහ ගත්තද ඔහුට හැකිවූයේ රාත්තල් 60ක මීමැස්සන් දරාගැනීමට පමණි.

අපේ මුතුන්මිත්තන් කෘමීන් සමඟ බැඳි පෙම අපරිමිතය. ඔවුන් කෘමීන් හා මිත්‍ර බව පෙන්වීමට ‍මීමැස්සන්ට සිරුරේ වැසීමට ඉඩ දී තිබේ. එහෙත් සිරුරේ වසන මීමැස්සන් ගණන් කිරීමට පෙළඹී ඇත්තේ 1839 දශකයේදී පමණය. යුක්‍රේන මීමැස්සන් ඇතිකරන්නෙකු වූ පෙට්‍රෝ පොකොපෙවිච් ඊට මුලපිරීමෙන් පසුවය.

2009 වසරේදී චීනයේ නයිගෑන්වල ලී වෙන්හුවා හා යෑන් හෙංෂියා දෙදෙනාම මීමැසි ගොවිපළ හිමියන් වූ අතර ඔවුන් විවාහ වූයේ ද මීමැස්සන් ගත දවටාගෙනය. මීමැස්සන් නැති ලොවක පලදාවක් ද නැත.

බ්‍රිතාන්‍යයේ එසෙක්ස්හී ටෙඩ් ග්‍රේඩොසීල්ස්කි ද මෙවර දෙවැනි එළිසබෙත් රැජන සිය උපන් දිනය වෙනුවෙන් ලබාදෙන නයිට් පදවියෙන් සම්මාන ලැබුවේ එය අභිමානවත් සමාජ මෙහෙවරක් නිසාය.

මී මැස්සන්ට ගත නිවහනක් කර දෙන බොහෝ දෙනෙක් උන්ගේ දෂ්ටනයේ ගොදුරු බවට ද පත් නොවෙයි. උන්ට මේ පරිසර හිතකාමී මිනිසුන් මල් හා සමානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *