න්‍යෂ්ටික අනතුරෙන් නරක් වුණු කිරි

චර්නෝබිල් න්‍යෂ්ටික අනතුරෙන් ඇති වුණු විකිරණවල බලපෑම, සාමාන්‍ය ජනයා ජීවත්වන ප්‍රදේශ තුළ අදටත් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. අනතුර සිදුව තිස් වසරකට අධික කාලයක් ගත වුණත් බලාගාරයේ සිට සැතපුම් 100 අරයකින් යුත් ප්‍රදේශවල එම තත්ත්වය දැකිය හැකි බැව් පර්යේෂණ මඟින් තහවුරු කෙරේ. වඩාත් බරපතලම තත්ත්වය වන්නේ සැතපුම් 100ක අරයකින් සීමා වන ප්‍රදේශය තුළ ජීවත් වන එළදෙනුන්ගේ කිරි ද විකිරණශීලී ද්‍රව්‍යවලින් දූෂ්‍යය තත්ත්වයට පත්ව තිබීමයි. එකී සරියට යටත් යුක්‍රේන බිමෙහි ජීවත් වන එළදෙනුන්ගේ කිරිවල විකිරණශීලී ද්‍රව්‍යය ආරක්‍ෂිත මට්ටමට වඩා පස් ගුණයක් වැඩියෙන් අඩංගු බව අනාවරණය වී ඇත. විකිරණ නිසා දූෂ්‍යය තත්ත්වයට පත් එම කිරි පානය, වැඩිහිටියන්ට වඩා දොළොස් ගුණයකින් දරුවන්ගේ සෞඛ්‍යට අහිතකර බැව් විද්‍යාඥයෝ පෙන්වා දෙති. පර්යේෂණය සිදු කළේ යුක්‍රේනයේ එක්සිටර් විශ්වවිද්‍යාලයේ සහ යුක්‍රේන කෘෂිකාර්මික විකිරණවේද ආයතනයේ විද්‍යාඥයන් පිරිසකි.

විද්‍යාඥයන් මතු කී අන්තරාදායක තත්ත්වය පෙන්වා දුන්නේ යුක්‍රේනයේ රිව්නේ ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපොළවල සහ නිවෙස්වල ඇති කරන එළදෙනුන්ගේ කිරිවල විකිරණශීලීතාව පිළිබඳ සොයා බැලීමකින් අනතුරුවයි. රිව්නේ ප්‍රදේශය තිබෙන්නේ අනතුරට පත් චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිට සැතපුම් 125ක් පමණ ඈතිනි. විද්‍යාඥයන් එම ප්‍රදේශයේ ජීවත් වන කිරි දෙනුන්ගෙන් ලබාගත් කිරි සාම්පල රාශියක් පුළුල් පරික්ෂාවකට ලක් කර තිබේ. මෙම පරික්ෂාවන්ගෙන් තහවුරුව ඇත්තේ එළකිරි සීසියම් මඟින් දූෂ්‍යව තිබෙන බවකි. යුක්‍රේන බලධාරීන් පෙන්වා දෙන අන්දමට කිරි ලීටරයකට බැකරල් 100ක (බැකරල් යනු විකිරණශීලීතාවය මනින ඒකකයකි.) සීසියම් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගුව තිබීම වැඩිහිටියකුට ආරක්ෂා සහිතය. දරුවකු සම්බන්ධයෙන් නම් එම ප්‍රමාණය කිරි ලීටරයකට බැකරල් 40ක පමණ ප්‍රමාණයකි. විද්‍යාඥයන් රිව්නේ ප්‍රදේශයෙන් පසුගියදා ලබාගත් කිරි සාම්පලවල විකිරණශීලීතාවය ලීටරයට බැකරල් 500ක් තරමට ඉහළ මට්ටමක පැවැති බැව් තහවුරුව ඇත. එය වැඩිහිටියකුට අනුමත විකිරණශීලීතාවයට වඩා පස් ගුණයක තරමේ ප්‍රමාණයකි. දරුවකුට අනුමත විකිරණශීලිතාවය මෙන් දොළොස් ගුණයකටත් වඩා වැඩි මට්ටමකි. විකිරණශීලී ද්‍රව්‍ය නිසා මෙපමණට දූෂ්‍යය තත්ත්වයට පත් කිරි පානයට ගැනීම මනුෂ්‍ය ශරීරවල සෑම පද්ධතියකටම, සෑම අවයවයකටම අන්තරාකාරී තත්ත්වයකැයි පර්යේෂක ආචාර්ය ඉරිනා ලබුන්ස්කා පෙන්වා දෙයි. මේ ගැටලුකාරී සහ අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් වහාම ආරක්‍ෂිත පියවරක් අනුගමනය කරන මෙන් ඈ යුක්‍රේන රජයට බලකර සිටින්නීය.

“… චර්නෝබිල් න්‍යෂ්ටික අනතුර සිදුව වසර තිහකට අධික කාලයක් ගත වුණත් මිනිසුන් සීසියම් විකිරණශීලී ද්‍රව්‍යවලට නිරාවරණය වන බැව් මෙමඟින් පැහැදිලියි. එළකිරි ආදී දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන ආහාර තුළ විකිරණශීලී ද්‍රව්‍ය මේ අන්දමට අඩංගුව තිබීම කනගාටුවට කාරණයක්. …. ප්‍රදේශයේ ජීවත් වන හුඟක් අය එළදෙනුන් ඇති කරන්නේ කිරි ලබා ගන්න. එහෙම ලබා ගන්න කිරි වැඩිපුර පානය කරන්නේ දරුවන්. විකිරණවල බලපෑමෙන් පීඩා විඳින ජනයා බේරාගන්න යුක්‍රේන රජයේ සහ අන්තර්ජාතික මට්ටමේ මැදිහත්වීමක් අවශ්‍යයයි. …” යැයි කියා ආචාර්ය ඉරිනා වැඩි දුර පවසයි.

චර්නොබිල් බලාගාරයේ සිට සැතපුම් 100ක පමණ අරයකින් වටවන ප්‍රදේශයේ ඇති මේ තත්ත්වය භයානක බව අමුතුවෙන් කියන්නට කාරණයක් නොවේ. එසේ වුවත් ආචාර්ය ඉරිනා පවසන අන්දමට මේ ගැටලුවට විසඳුමක් ලැබේදැයි කියා සැක සහිතය.

මානව ඉතිහාසයේ සිදු වුණු වඩාත් බරපතලම න්‍යෂ්ටික අනතුර හැටියට සැලකෙන්නේ චර්නෝබිල් න්‍යෂ්ටික අනතුරයි. එම න්‍යෂ්ටික අනතුර හේතුවෙන් පරිසරයට විමෝචනය කෙරුණු විකිරණශීලීතාව, ජපානයේ හිරෝෂිමාවට හෙළූ පරමාණු බෝම්බයෙන් විමෝචනය කෙරුණු විකිරණශීලිතාව මෙන් හාරසිය ගුණයකට සමාන වේයැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. අන්තර්ජාතික න්‍යෂ්ටික සිදුවීම් පරිමාණයට අනුව, චර්නෝබිල් න්‍යෂ්ටික අනතුර ගණන් ගැනෙන්නේ හත් වැනි මට්ටමේ න්‍යෂ්ටික අනතුරක් වශයෙනි. එකී පරිමාණයේ හත් වැන මට්ටමට ඇතුළත් වන්නේ ඉතා ප්‍රබල න්‍යෂ්ටික අනතුරුය.

අනතුර හේතුවෙන් බලාගාරයට ආසන්නම ප්‍රදේශයෙන් වර්ග කිලෝමීටර 2600ක පමණ ප්‍රමාණයක් අත්හැර දමා ඇත. ඒ, එම ප්‍රදේශය මිනිස් වාසයට නුසුදුසු බැව් බලධාරීන් අවබෝධ කර ගැනීමත් සමඟය. අත්හැර දමන ලද එම ප්‍රදේශවල මිනිසාට පදිංචියට යා හැකිවන්නේ කවදාද? එය පිළිතුරක් නැති ප්‍රශ්නයකි. යුක්‍රේන බලධාරීන් පවසන්නේ අත්හැර දමන ලද කලාපයේ විකිරණශීලිතාව ඉදිරි වසර විසි දහස පුරාම මිනිසාට අහිතකර මට්ටමෙන් පවතිනු ඇතැයි කියායි. එයින් කියැවෙන්නේ වසර 20,000ක් යන තුරුම මේ කලාපය මිනිස් වාසයෙන් තොර තැනක් හැටියට පැවතිය යුතු සහ පවතින බව නොවේද? බලාගාරයේ සිට කිලෝමීටර සියයක අරයකින් වටවන ප්‍රදේශයේ විකිරණශීලීතාවයත් ඉදිරි වසර විසි දහස පුරාම පවතිනු ඇත්ද? එසේ නම් එම කලාපයත් මිනිස් වාසයට නුසුදුසු ද? ඉතිහාසයේ සිදුවු ණු බරපතලම න්‍යෂ්ටික ඛේදවාචකයෙන් පසු මුහුණ දෙන්නට සිදු වුණු විනාශකාරී තත්ත්වයට මේ අනුව නිශ්චිත විසඳුම් නැති සෙයකි.

mail online ඇසුරෙනි