කොස්ගොඩ තාරක සහ වේයංගොඩ චාමර, මාතර කොල්ලය තෙක් ආ බිහිසුණු චාරිකාව

ශ්‍රී ලංකාවේ පාතාලය අද වනවිට අතපය විහිදුවමින් හිස ඔස්වමින් සිටී. එය අද වනවිට පොලීසියට පවා මර්දනය කළ නොහැකි තත්ත්වයකට පැමිණ ඇත. මේ නිසා ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් නිරායුධ වැසියන් සිටින්නේ ජීවිතයත් මරණයත් අතරය. පාරක තොටක යන්නට නොහැක. අවිගත්තෝ අපරාධ කරමින් සැරිසරන්නේ කුරුල්ලන් ලෙසය. සමහර සිදුවීම් චිකාගෝ වගේය. දවසට අපරාධයක් වරදින්නේ නැත.

පසුගිය සතියේ සිකුරාදා දහවල් එවැනිම සිද්ධියක් මාතර නගරයේදී සිදුවිය. අවිගත් එක්තරා කල්ලියක් මාතර නගරයේ රත්තරන් භාණ්ඩ කඩයක් කොල්ල කන්නට ආහ. එහිදී පොලීසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් නිසා එම ස්ථානයට පැමිණ සිදුකළ වෙඩි හුවමාරුවකදී පොලිස් කොස්තාපල්වරයකුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය.

ඒ අවස්ථාවේදී පොලීසිය සිදුකළ වැටලීමකදී මෙම අපරාධයට පැමිණි අය අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙහි හොඳම කතාව හෙළිවිය. එනම් මේ කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අතර නමගිය දකුණේ පාතාලයේ අයකුත් ගම්පහ පාතාලයේ අයකුත් සිටීමය. ඔවුන් දෙදෙනාම මේ රටේ අපරාධ වැලක සම්බන්ධකරුවෝය.

එකී චරිත දෙක ගැන අප මෙසේ හෙළිදරව් කරමු. එක් අයකු වේයන්ගොඩ චාමර නම් විය. 2008-2009 වසරේදී චාමරට මිතුරකු හමුවිය. ඔහු වෙනින් කවුරුත් නොව ගම්පහ පාතාලයේ කිරුළු දරා සිට පොලීසියේ වෙඩි පහරින් මියගිය කරාතේ අජිත්ගේ ඥාති පුත්‍රයකු වූ මාකිලංගමුවේ සංජීවය. සංජීව සමඟ තවත් කණ්ඩායමක් සිටියේය. ඒ කොළඹ පාතාලයේ එවකට කිරුළු දරා සිටි ආමි සම්පත් ඇතුළු කණ්ඩායමය.

කෙසේ වෙතත් සංජිව ඇතුළු පිරිස සමඟ චාමර එකතුවීමත් සමඟ පළමු වැඩේ ලෙස බිස්කට් ලොරියක් 2009, වසරේදී කොල්ල කෑවේය. රුපියල් 65000කුත් මාල දෙකකුත් දුරකථන දෙකකුත් චාමරගේ අපරාධ ලැයිස්තුවේ පළමු වැඩේ විය. එම සිද්ධියත් සමඟ චාමර කරළියේ චරිතයක් වේගෙන ආවේය. මේ අතරතුර සංජීවලා තවත් ගේමකට සුදානම් විය. රටම ගැස්සෙන වැඩකටය. ඒ පෞද්ගලික මූල්‍ය සමාගමක ටෙලර් මැෂින්වලට මුදල් දැමීම සඳහා මුදල් රැගෙන යන ලොරි රථය කොල්ල කෑමටය. එම කොල්ලයට සංජීව චාමර සම්බන්ධ කරගත්තේය. ඒ අනුව චාමර, සජීව, සම්පත්, බිම්සර ඇතුළු කණ්ඩායම එක්ව වත්තල තෙළඟපාත ප්‍රදේශයේදී ලොරි රථය පැහැරගෙන ගොස් එහි තිබූ කෝටි හත මංකොල්ල කෑහ. ලොරි රථයේ සිටි පස් දෙනෙකුගේ අත් පා මුව ටේප් පටිවලින් බැඳ කැලයකට දමා පිරිස පැන ගියහ. ඒ 2010 වසරේදීය.

එම සිද්ධියෙන් පසුව චාමර, මාකිලංගමුවේ සංජීව, ආමි සම්පත් ඇතුළු පිරිස පොලීසියට කොටු වූහ. මේ කෝටි හතේ මංකොල්ලය නිසා නිකන්ම නිකන් චාමර මාධ්‍ය විසින් වේයන්ගොඩ චාමර බවට පත්කරනු ලැබීය. පසුව සියලුදෙනාම සිටියේ බන්ධනාගාරයේය. මෙලෙස බන්ධනාගාරයේ සිටින අතරතුර ආමි සම්පත් සහ මාකිලංගමුවේ සංජීව ඇතුළු පිරිස කොළඹ පාතාලයේ එවකට කිරුළු දරා සිටි දැන් කිරැළු වෙනුවට මරණීය දණ්ඩනය හිමිවි සිටින දෙමටගොඩ චමින්ද සමග පැටලුනේය. ඒ බ්ලුමැන්ඩල් සංඛ සහ චමින්ද අතර තිබූ හෙරොයින් ව්‍යාපාරයේ ගැටුමක් හේතුවෙනි. මේ නිසා සම්පත් ඇතුළු පිරිස සංඛ සමඟ හිතවත්කම් පෑ නිසා එම පිරිසම චමින්දට එරෙහිව නැගී සිටියහ.

චමින්දගේ කණ්ඩායමත් සංඛ ඇතුළු පිරිසට එරෙහිව සිටියේය. මේ අතරතුර චමින්ද භාරත ලක්ෂ්මන් ඝාතනයට ඇතුළට ගියේය. මේ නිසා සංඛලා රිසිසේ හෙරොයින් කොළඹ බෙදාහැරියහ. එපමණක් නොව චමින්දගේ පිරිසට පහර දුන්හ. මේ නිසා චමින්ද සංඛලා සමඟ සිටියේ නයි වෛරයෙනි.

මේ අතරතුර සම්පත්, සංජීව, චාමර, බිම්සර ඇතුළු පිරිස කෝටි හතේ කොල්ලයට ඇප ලැබී එළියට ආහ. ඊට මාස ගණනාවකට පසු දෙමටගොඩ චමින්ද එළියට ආවේය. චමින්ද එළියට පැමිණීමත් සමඟ සංඛලා චමින්ද ඝාතනයට සූදානම් වූහ. ඒ සඳහා චමින්ද රෑට එළියට බහිනතුරු සිට වැඩේ දීමට පිරිස සූදානම් වූහ. මේ සඳහා සම්පත්, සංජීව, සංඛ, චාමර, බිම්සර සහ සුජිත් නැමැති අයකුද එක් විණි. 2012 වසරේ මධ්‍යම රාත්‍රියක චමින්ද ඝාතනයට ඔවුහු ටී 56 ගිනි අවි 3 ක් ද රැගෙන ආහ. එහෙත් ඊට පෙර චමින්දගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන්ට මේ ගැන තොරතුරැ ආවේය. පිරිස චමින්දව සොයමින් සැරිසරණ දෙමටගොඩ මස් කඩය අසලදී වාහනය හරස් කොට රුවන් ඇතුළු පිරිස සංජිවලා, චාමරලා පැමිණි වාහනයට වෙඩි තැබූහ. මේ වෙඩි ප්‍රහාරයෙන් වනාතේ සුජිත් මියගියේය. අනෙක් පිරිස පැනගත්හ.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් පසුව ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ ඩුබායි බලා ගියහ. චාමර මෙරටට වී සිටියේය. ක්‍රමයෙන් චාමර සංජීව සමඟ එක්ව හෙරොයින් විකුණමින් ජීවත් විය.

මේ අතර නැවත ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ ඩුබායි සිට 2015 යහපාලන රජයත් සමඟ මෙරටට ආවෝය. ඇවිත් නැවත චමින්ද ඝාතනයට කුරැමානම් අල්ලමින් සිටියහ. එහිදී එක්වතාවක් චමින්ද රැගෙන යන බන්ධනාගාර බස්රථයට සංඛලා වෙඩි තැබූහ. ඊට පෙර චමින්ද සංඛලාට වෙඩි තබන්නට ගොස් වැඩේ ගැස්සී තිබුණේය.

කෙසේ වෙතත් බන්ධනාගාර බස්රථ සිදුවීමෙන් පසුව ආමි සම්පත්, බ්ලූ මැන්ඩල් සංඛ, මාකිලංගමුවේ සජීව ඇතුළු පිරිස රිමාන්ඩ් වූහ. එහෙත් චාමර හිටියේ සුපුරැදු පරිදි කුඩු ව්‍යාපාරවල නිරත වෙමිනි. මේ අතරතුර නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති ඝාතන සිද්ධියට සම්බන්ධව බන්ධනාගාරයේ සිටි වේයන්ගොඩ සමරේද එළියට ආවේය.

සමරේ චාමරගේ ගජයාය. දෙදෙනා සුපුරැදු පරිදි හමුවන්නට පටන් ගත්හ.

මේ අතර චාමර සමරෙගේ ගෙදර යන එනවිට සමරේ හමුවන්නට තවත් ගජයෙක් එමින් සිටියේය. ඒ දකුණේ පාතාලයේ චරිතයක් වූ කොස්ගොඩ සුජීගෙන් මිදී වෙනම කණ්ඩායමක් හදාගනිමින් ඉහළට එමින් සිටි කොස්ගොඩ තාරකය. එහිදී චාමරත් කොස්ගොඩ තාරකත් ගජ මිතුරු වූහ.

මේ අතරතුර සමරේට කනින් කොනින් චාමර වේයන්ගොඩ ප්‍රදේශයේ කුඩු විකුණන බවට තොරතුරු ලැබුණි. මේ නිසා දිනක් දෙකක් සමරේ චාමර කැඳවා එය නවතා දමන ලෙස දැන්වීය. එහෙත් චාමර එය තඹයකට මායිම් කළේ නැත. සමරේ දිගින් දිගටම චාමරට එරෙහි වෙමින් සිටි නිසා චාමර සිය මිතුරා වන සමරේ ඝාතනය කිරීමට තීරණය කළේය. මේ පිළිබඳව චාමර බන්ධනාගාරයේ සිටි සංජීව අමතා දැනුම් දුන්නේය. සංජීව ඊට තවත් සගයෙක් සම්බන්ධ කළේය. ඒ ඇප තබා ගැනීමට නොහැකිව මීගමුවේ බන්ධනාගාරයේ සිටි අජාය. අජාට ඇප තබා එළියට ගන්නා ලෙසට සංජිව දැනුම් දුන්නේය.

ඒ අනුව චාමර රුපියල් 50000 ඇප තබා අජාව එළියට ගත්තේය. එළියට ගත් අජා සහ චාමර එකතු වී 2016 දෙසැම්බර් 24 වැනිදා ආර්ථික මධ්‍යස්ථානයේදී සමරේ වෙඩිතබා ඝාතනය කළේය. එසේ ඝාතනය කර චාමර සමරේගේ මරණ ගෙදරට ගියේය. එම ඝාතනය සිදුකර චාමරට වැඩිකල් ඉන්න ලැබුණේ නැත. චාමර පොලීසියට කොටුවී බන්ධනාගාර ගත විය. මේ අතර චාමර සමඟ නිතර සම්බන්ධ වෙමින් කොස්ගොඩ තාරක ගනුදෙනු කරන්නට අමතක කළේ නැත. ඒ වනවිටත් තාරක හිටියේ සුජී සමඟ නයි වෛරයෙනි.

තාරක යනු ඉගෙන ගත් අයෙකි. උසස් පෙළට ගණිත, විෂය හදාරා ඇති මොහු පියාගේ අකල් මරණයත් සමඟ අධ්‍යාපන වැඩකටයුතු අඩාල විය. පසුව 2001 වසරේදී අපරාධවලට අත්පොත් තබන මොහු වෑන් රථයක් කොල්ල කෑම පිළිබඳව චෝදනා ලැබ බන්ධනාගාර ගතවිය. එවිට චාමරගේ වයස 19 කි.

ඉන්පසුව මොහුට ඔහුගේම ඥාතියෙකු වන කොස්ගොඩ සුජී සම්බන්ධ වන අතර එතැන් පටන් දෙදෙනා එකට වැඩ කටයුතු කළෝය. එහෙත් ඒ ඇයි හොඳයිය වැඩිකල් තිබුණෙ නැත. තාරක, කොස්ගොඩ ලොක්කා ලොකු කරගනිමින් ඔහුට හේත්තුවිය. මේ අතර 2010 වසරේදී තාරක උකස් භාණ්ඩ මිලදි ගන්නා යුවලකට අයත් අම්බලන්ගොඩ නිවසක් කොල්ල කෑවේය. පසුව ඔහුව කොට්ටාව පොලීසිය විසින් මි.මී 9 වර්ගයේ අවියක් සමඟ අත් අඩංගුවට ගනු ලැබීය.

මේ අතර එම සිද්ධියෙන් පසුව තාරක ඇප ලබා පැමිණ තම පෙම්වතිය සමඟ කොළඹ පැන ආවේය. එලෙස කොළඹ පැමිණි තාරක බැංකු කොල්ල කන්නට පටන් ගත්තේය. මේ අතර තාරකත් කොස්ගොඩ සුජිත් යන අයියා මලෝ අතර ගැටුම උග්‍ර අතට හැරී තිබුණේය. සුජීගේ අය තාරක පසුපස පන්නන්නට වූහ. මේ නිසා තාරක සිටියේ බද්ධ වෛරයෙනි. අවසානයේ පසුගිය වසරේදී තාරක සුජීගෙන් පලිය ගන්නට තීරණය කළේය. ඒ සුජීගේ මාමා ඝාතනය කිරීමෙනි.

ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එක් දිනක් තාරක ඇතුළු පිරිස ගොස් හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු වූ කොස්ගොඩ සුජීගේ මාමා කෙනෙකු වූ මහින්ද රාජා සහ ඔහුගේ පාසල් යන දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළහ. පසුව නැවත එම අවස්ථවේම මහින්ද රාජාගේ මිතුරකුගේ නිවසට ගොස් ඔහුටද වෙඩි තබා ඝාතනය කළේය. මේ ප්‍රහාරය සුජීව කඩා වැටීමට තරම් ප්‍රබල විය. තම ඥාති සහෝදරයාගේ අතින් තමන්ගේම මාමා ඝාතනය වනතෙක් වැඩක් දීමට නොහැකි වීම ගැන සුජී දුක් වුණේය. පසුව සුජී ලෙයට ලෙයක් ගන්නට පිඹුරුපත් සැකසුවේය. ඒ තාරකගේ මාමා කෙනකුට වැඩේ දීමටය. ඒ අනුව ඊට සතියකට පසුව තාරකගේ මාමාටත් පාසල් යන දරැ තිදෙනාටත් වෙඩි තැබුවේය. එහෙත් ඔවුහු බරපතළ තුවාල ලබා ජීවිතය රැක ගත්හ.

මේ අතරතුර තාරකද නිතර චාමර මුණ ගැසීමට වේයන්ගොඩට ආ ගියේය. චාමර ඒ වනවිටත් පස් ව්‍යාපාරයට අත් ගසා ඒ තුළින් ආදායමක් ලබමින් සිටියෙකි. මේ අතර චාමර ගෝලයකු ලවා කරගෙන ගිය පස් ව්‍යාපාරයක ගැටලුවක් ඇති විය. ඒ දේවප්‍රිය නැමැත්තා සමඟය. මෙහිදී මුදල් ආරවුලක් වූ නිසා චාමර මැදිහත් වී දේවප්‍රිය සමඟ පැටළුණි. දේවප්‍රිය අවසානයේ චාමරට තර්ජනය කළේය. චාමර දේවප්‍රියට මරණ වරෙන්තුව දුන්නේය. ඒ අනුව පසුගිය අප්‍රේල් 21 වැනිදා පැවති සංගීතයක ආරාධිත අමුත්තා ලෙස පැමිණි දේවප්‍රියට වෙඩි තැබුවේය. මේ සඳහා චාමර. කොස්ගොඩ තාරක, කොස්ගොඩ ඩිල්ෂාන්, චාමරගේ සහෝදරයා සම්බන්ධ වූහ. එම ඝාතනයෙන් පසුව චාමරත්, තාරකත් අතුරුදන් වූහ.

එසේ අතුරුදන් වූ තාරකත්, චාමරත් නැවත මතුවන්නේ පසුගිය සිකුරාදා මාතර නගරයේ ස්වර්ණාභරණහල කොල්ලකෑමට පැමිණි අවස්ථාවේය. අවසානයේ චාමර ගෙයක සැඟවි සිටියදීත්, තාරක කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීත් පොලීසියට කොටුවූහ. එහෙත් අවසානයේ චාමර ආයුධ පෙන්නන්නට ගොස් පොලීසියෙන් වෙඩි කැවේය. කෙසේ වෙතත් චාමරලා ඉදිරියට තව තවත් ආයුධ පෙන්නන්නට ගොස් වෙඩි කන්නට සිදුවනු ඇත. එහෙත් චාමරලා, තාරකා මේ තත්වයට ගෙන ආ මිනිස්සු තවමත් වැජඹෙති. ඔවුන් ඉදිරියේද ඔවැනි තාරකා චාමරලා බිහිකරනු ඇත.

කෙසේ වෙතත් චාමරගේ ගජයා සංජීව වුවත් සංජීව මේ වනවිට මිතුරු වී සිටින්නේ කොස්ගොඩ සුජීගේ කණ්ඩයම සමඟය. පොඩි ලැසී සමඟ සමීප සබඳකම් පවත්වන සංජීව මේ වනවිට මාන බලමින් සිටින්නේ ගම්පහ ඔස්මන් ඝාතනයටය. ඒ ගම්පහ නගරයේ කප්පම් සටන නිසාය. කෙසේ වෙතත් දැන් තාරක බන්ධනාගාර ගතවූ පසුව මීට වඩා පොලීසිය අවධානයෙන් සිටිය යුතුය. ඒ තාරක ඉන්නේ හොඳම ආරක්ෂිත තැන නිසාය. දැනට බොහොමයක් පාතාල නායකයන් ක්‍රියාත්මක වන්නේ බන්ධනාගාරයේ සිටය නැත්නම් විදෙස් ගතවය.

කෙසේ වෙතත් මෙයින් ඔබ්බට ගොස් තැන තැන මිනීමරණ තැනකට රට පත්ව තිබීම ගැන පොලීසියත් ආණ්ඩුවත් සම්පූර්ණයෙන් වගකීම භාරගත යුතුය. මහජනතාවගේ දේපළ ජීවිත ආරක්ෂා කිරීම පොලීසිය සේම ආණ්ඩුවේම වගකීමකි. එහෙත් එය හරියට සිදුවනවාද යන සැකයක් මාතර සිද්ධියෙන් පසුව මතුවෙමින් තිබේ.

– ගයාන් ගාල්ලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *