උග්‍ර වුණ මොබ­යිල් උම­තුව

“දුර­ක­ත­නය පරි­ග­ණ­ක­යක් බවට පත් වීමත් සමඟ ඉන් කර­ගත හැකි කාර්යය ප්‍රමා­ණය වැඩිව තිබෙන නිසා පොදු ප්‍රවා­හන සේව­යක ගමන් ගන්නා අත­ර­තුරේ වුවත් තාක්ෂ­ණයේ උප­කා­ර­යෙන් ලෝකය ජය­ග­න්නත් අව­ස්ථාව උදා වී තිබෙ­නවා”යැයි වෙනත් සමා­න්තර ග්‍රහ­ලෝ­ක­යක සිටියා නම් ප්‍රකාශ කර­න්නට තිබුණා. නමුත් අපේ ලෝකයේ තත්ත්වය වෙනස්. මොකද අපේ දුර­ක­ත­න­ව­ලට අන්ත­ර්ජා­ලය එක්වූ තැන තිරයේ මතු වන්නේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ට­ග්‍රෑම් වැනි සමාජ ජාල වෙබ් අඩ­වි­යක් පම­ණයි. එහි උඩට, පහ­ළට ස්ක්‍රෝල් කර­මින් ලයික්, කමෙන්ට් දමමින් නොන­ව­තින ගම­නක යන අපිට බස් එකෙන් බහි­න්නත් සම­හර විට අම­තක වෙන්න පුළු­වන්. ගැබිනි කාන්තා­වක් බස­යට නගිද්දී එය නොපෙ­ණු­නත් මිතු­රි­යක් තම ප්‍රථම දරුවා ලබ­න්නට සූදා­නම් වන බව තිරයේ මතු වූ වහා සුබ පත­න්නට අපි අම­තක කරන්නේ නැහැ. ඉස්සර අතේ පොතෙහි එකම පේළිය තුළ නොව දැන් දෑස් දුවන්නේ තිරයේ ඉහ­ළට සිට පහ­ළ­ටයි. මේ දුර­ක­ත­නය වැඩි­පුර පාවිච්චි කිරීම අප රටේ පම­ණක් තිබෙන ගැට­ලු­වක් නොවෙයි. ලෝකය පුරාම ජන­තාව ඉගෙන ගන්නා අත­ර­තු­රේදී, රිය පද­වන අත­ර­තුර, පාරේ ඇවි­දිද්දී, තම දරුවා බඩ­ගින්නේ හඬද්දී වැනි අව­ධා­නය අත්‍යා­වශ්‍ය අව­ස්ථා­ව­න්හිදී පවා දුර­ක­තන තිර­යට ඇබ්බැ­හිවී සිටින බව ගූගල්, ෆේස්බුක්, ඇපල් ආදී තාක්ෂ­ණික දැවැ­න්ත­යන් පිළි­ගෙන; එය අවම කර­න්නට දුර­ක­ත­න­ය­ටම පහ­සු­කම් ලබා­දෙ­න්නට තීර­ණය කොට තිබෙ­නවා.

ගූගල් සමා­ගමේ මොබ­යිල් මෙහෙ­යුම් පද්ධ­තිය වන ඇන්ඩ්‍රො­යිඩ්හි මීළඟ වෙළුම බවට පත් වීමට නිය­මි­තව ඇත්තේ Android P හෙවත් 9.0 වෙළු­මයි. මෙයට මේ වන විටත් නමක් නිල වශ­යෙන් ප්‍රකාශ කර නැති නමුත් පසු­ගිය මාසයේ පැවතී ගූගල් සමා­ගමේ වාර්ෂික මෘදු­කාංග සංව­ර්ධක සමු­ළු­වේදී එහි බීටා වෙළුම සතුව ඇති විශේ­ෂාං­ග­යන් හඳුන්වා දෙනු ලැබුවා. එහිදී ඔවුන් ප්‍රකාශ කළ විශේෂ කරු­ණක් වූයේ දුර­ක­ත­නය වැඩි කාල­යක් භාවිත කිරීම අවම කර­න්නට මෙහෙ­යුම් පද්ධ­තිය විසින්ම දත්ත විශ්ලේ­ෂණ වාර්තා අපට පෙන්වී­මට සහ ඇප් එකක් භාවිත කිරීම සඳහා දින­කට හෝ වර­කට ගත කරන කාලය සීමා කර­න්නට අව­ස්ථාව සලසා දෙන බවයි. ඇපල් සමා­ගම විසින් ද ඔවුන්ගේ මේ වසර සඳහා වූ මෘදු­කාංග සංව­ර්ධක සමු­ළු­වේදී ප්‍රකාශ කළේත් එය­මයි. ඒ අනුව අලු­තින් එන ඇන්ඩ්‍රො­යිඩ් සහ ඇපල් දුර­ක­ත­න­වල කිසි­යම් ඇප් එකක් අපි කොප­මණ කාල­යක් පාවිච්චි කළා ද සහ පාවිච්චි කිරී­මට කාල පරා­ස­යක් සකසා අපට අපි­වම පාල­නය කර­ග­න්නට දුර­ක­ත­න­යෙන්ම උප­කාර ගන්නට අව­ස්ථාව තිබෙ­නවා.

අප දුර­ක­ත­න­යට ඇබ්බැහි වෙන්නට හේතු සාධක මොන­වාද යන්න සිතා බැලූ විට දකි­න්නට ලැබෙන්නේ මේ ආය­තන විසින් ම ලබා­දෙන ලද සේවා­වන් නිසා එය සිදුව ඇති බවයි. ගූගල් ආය­ත­නය විසින් නොමිලේ මෙහෙ­යුම් පද්ධ­ති­යක් නිප­දවා එය ඕනෑම දුර­ක­තන නිෂ්පා­ද­ක­යෙ­කුට භාවිත කළ හැකි සේ විවෘත කේතව ලබා දීම ම එය තහ­වුරු කර­නවා. ආය­ත­න­යක කළ­ම­නා­ක­රණ කට­යුතු සඳහා කුඩා මෘදු­කාං­ග­යක් නිපැ­යී­මට ගියත් එයට ඇතැම් විට මාස ගණන් පවා ගත වීමට ඉඩ තිබෙ­නවා. ඒ සඳහා සැල­සුම් කිරී­මට, කේත කිරී­මට, වැරදි සඳහා පරීක්ෂා කිරී­මට හා අත්හදා බැලී­මට බොහෝ සේවක පිරි­සක් සහ­භාගී වෙනවා. එප­ම­ණක් නොව වස­ර­කට යාව­ත්කා­ලීන දෙකක්-තුනක් ලැබීම සහ වාර්ෂි­කව නව වෙළු­මක් බැගින් නිකුත් කිරී­මේදී ඒ වෙනු­වෙන් විශාල කැප කිරීම් සහ මහ­න්සි­යක් යොද­ව­න්නට සිදු­වන අතර සේව­ක­යන්ට පඩි ගෙවිය යුතු නිසා ඒ සෑම තත්ප­ර­යක් ම මුදල් වැය කිරී­මෙන් ලැබිය යුතු ඒවා බවට පත් වෙනවා. එවිට, වැටුප් ලබන ලාභ ලබන සේව­ක­යන් යොදවා නොමිලේ ආය­ත­න­යක් විසින් ලබා දෙන්නේ පින් පතා නම් වන්නට බැහැ. වානිජ ලෝකය තුළ නොනි­මෙන ගම­නක සිටින ආය­ත­න­යන් වශ­යෙන් ඔවුන් නිෂ්පා­ද­න­යන් විශාල ප්‍රමා­ණ­ය­කට හිමි­කම් කියනා අත­රම ලෝකයේ ධන­වත්ම තාක්ෂ­ණික ආය­තන බවට ද පත්ව සිටින්නේ නිකං දීම නිසා ලද පින් මහි­ම­යෙන් නොවෙයි.

ව්‍යාපා­රික ආය­තන බොහෝ මෘදු­කාං­ග­යන් සහ සේවා­වන් නොමිලේ ලබා දීමට පෙළ­ඹෙන ආකා­රය අන්ත­ර්ජා­ලයේ මෙන්ම අනෙ­කුත් මාධ්‍ය­වල දැන්වී­ම්ව­ලින් දකි­න්නට ලැබෙ­නවා. මෙවන් අව­ස්ථා­ව­න්හිදී මුද­ලට විකි­ණෙන්නේ භාණ්ඩය (මෘදු­කාං­ගය) හෝ සේවාව නොව, එය නොමිලේ පාවිච්චි කරන පරි­ශී­ල­ක­යායි. ෆේස්බුක් වැනි සංකීර්ණ සේවා­වක් සර්ව­ර්ව­ලට යෙදිය යුතු ගාස්තු, නඩත්තු කට­යුතු, රිපෝට් කරන විට ඒවා පරීක්ෂා කිරී­මට වෙනම සේවක පිරි­සක් යොදවා නොමිලේ ලබා දෙන්නේත් ඔවුන් ඉන් යටි අර­මු­ණක් බලා­පො­රොත්තු වන නිසායි. අප ෆේස්බුක්හි ඉහළ-පහළ යන මොහො­තක් පාසා අපේ අව­ශ්‍ය­තා­වන්, කැමැත්ත ඔවුන් හඳුනා ගන්නා අතර වෙනත් ඊබේ, අලි එක්ස්ප්‍රස් වැනි වෙබ් අඩ­වි­ය­කට පිවිස එහි මිලදී ගැනී­මක් සඳහා සෙවී­මක් සිදු කළත් එම භාණ්ඩ­යට අදාළ වෙළෙඳ දැන්වීම් කිසිදු අදා­ළ­ක­මක් නැති ෆේස්බුක් වෙබ් අඩ­විය තුළ දකි­න්නට ලැබෙන්නේ මේ මහා පරි­මාණ වශ­යෙන් අපි ගැන දත්ත රැස් කිරී­මක් සිදු­වන නිසායි. කේම්බ්‍රික් ඇන­ලි­ටිකා සිද්ධි­යේදී එක්තරා පුද්ග­ල­යෙක් ෆේස්බුක් වෙත තමා සකසා තිබූ ගේම් එක­කින් පරි­ශී­ල­ක­යන් මිලි­යන ගණ­න­ක­ගෙන් උක­හා­ගත් දත්ත කේම්බ්‍රික් ඇන­ලි­ටිකා නම් දත්ත සැක­සුම් ආය­ත­න­යට විකුණූ අතර එය ට්‍රම්ප් බල­යට පත් කිරී­මට දැන්වීම් පළ කිරී­ම­ටද යොදා ගෙන තිබුණා. මේ වෙනු­වෙන් ෆේස්බුක් ආය­ත­න­යට ද චෝදනා එල්ල වුණේ දත්ත පිට­තට යැවී­මට ඉඩ සලසා ඇති බව පව­ස­මි­නුයි. කෙසේ නමුත් දත්ත රැස් කිරී­මට සමාජ ජාල­ය­කට ඇති හැකි­යාව පිළි­බඳ ලෝකයේ දෑස් හැරුණා.

ෆේස්බුක් සමා­ගමේ සේව­ක­යෙක් විසින් නිකුත් කළ තොර­තුරු අනුව පසු­ගි­යදා ට්විටර් හරහා දකි­න්නට ලැබුණේ ෆේස්බුක් ඇප් එක හර­හාද එය භාවිත කළ කාල ප්‍රමාණ දින සහ වේලාව අනුව බලා ගැනී­මට නව විශේ­ෂාං­ග­යක් මේ දින­වල අත්හදා බල­මින් සිටිනා බවයි. ෆේස්බුක් ආය­ත­නය විසින් මෙලෙස විවිධ අව­ස්ථා­ව­න්හිදී තමන්ගේ සේව­ක­යන්, විවිධ රට­වල් කේන්ද්‍ර කර­ගෙන අත්හදා බැලීම් සිදු කරන මුත් ඒවා බොහො­ම­යක් අව­සාන නිෂ්පා­ද­න­යට පැමි­ණෙ­නවා අඩුයි. එහෙත් අපට බලා ගැනී­මට පිටු­වක් නොදී හෝ ඔවුන් එවන් විශේ­ෂාං­ග­යක් ඇප් එකට ඇතු­ළත් කළ­හොත් අපි ෆේස්බුක් වෙත පිවි­සෙන වේලා­වන් සහ කාල ප්‍රමා­ණ­යන් ගැන ඔවුන්ට තවත් වැඩි අව­බෝ­ධ­යක් ලැබෙන නිසා වෙළෙඳ දැන්වීම් පෙන්වී­මේදී තවත් සාර්ථ­කව ඒවා අපට පෙන්ව­න්නට හැකි­යාව ලැබෙ­නවා. එය දැන­ගත් විට වෙළෙඳ දැන්වීම් පළ කර­න්නන් ද වැඩි වශ­යෙන් ඔවුන් වෙත දැන්වීම් ලබා­දෙන නිසා ඔවුන්ගේ ආදා­යම තවත් ඉහළ යනවා.

ව්‍යාපා­ර­යක් වශ­යෙන් ඔවුන් කරන දේව­ල්වල වර­දක් නැතුවා සේම එම සේවා­වන්ට ලියා­ප­දිංචි වීමේදී කිය­වන්නේ නැති­වම “I agree”ලෙස හරි ලකු­ණක් යොදා අප ඔවුන්ට අපේ දත්ත රැස් කර­න්න­ටත් අව­ස්ථාව සලසා දෙනවා. මේ සේවා­වන්ගේ ඇති විශේ­ෂ­ත්වය නම් එහි කෙත­රම් පහ­ළට ගියත් අව­සා­න­යක් නොමැති වීමයි. මේ නිසා අව­සා­න­යක් නැති ටයි­ම්ල­යින් එකක අපි අත­රමං වීම හෙවත් මෙලො­වින් මිදී ෆේස්බුක් වෙත ඇබ්බැහි වීම ඇති කර­ග­න්නවා. ඉතින්, අව­සා­න­යක් නැති තැනක අව­සා­නය සොයා ගන්නට පුළු­වන් නම් වටිනා කාලය වටිනා දෙයක් වෙනු­වෙන් යොද­ව­න්නට අපිට අව­ස්ථාව ලැබේවි.