කඹ ඇදිල්ලෙන් තැලෙන සංක්‍රමණිකයෝ

සරණාගත ප්‍රශ්නය ලෝකයේ උතුර සහ දකුණ අතර බෙදීම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස පවතී. ඇතැම් රටවල් දේශසීමා සම්බන්ධයෙන් දැඩි නීති හා පාලනයක් අපේක්ෂා කරයි. සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නයේදී සෑම රටකටම එකම ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් ඇත්තේ ද නැත.

බ්‍රසල්ස්හිදී ආරම්භ වූ සංක්‍රමණිකයන් පිළිබඳ යුරෝපා සමුළුව යුරෝපා සංගමයේ (EU) අනාගතය තීරණය කරන තරම් වැදගත්කමක් හිමිකර ගත්තේය. ඒ, සංක්‍රමණික අර්බුදය සංගමය තුළ බලවත් බෙදීමක් ඇතිකර තිබෙන බැවිනි. මෙම සමුළුව යුරෝපා සංගමයේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක හමුවක් විය හැකි බවට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ද අවධාරණය කර තිබිණි. නීතිවිරෝධී සංක්‍රමණික ඇතුල්වීම් වැළැක්වීම සඳහා සංගමයේ සාමාජික රටවල් එක්ව ක්‍රියාකළ යුතු බව ද ඇය පෙන්වා දී ඇත.

ලේඛනගත නොවී ළඟාවන සංක්‍රමණිකයන්, විශේෂයෙන් අප්‍රිකානුවන් තම ජීවිත අවදානම ද නොතකමින් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට ඇතුළුවීමට දරන වෑයම එම කලාපයේ රටවලට හිසරදයක්ව තිබේ. මීට අමතරව සිරියාවේ පවතින යුදමය වාතාවරණය නිසා ද, නොයෙක් තැන්වල සිදුවන තවත් යුද ගැටුම් නිසා ද සැලකිය යුතු සරණාගත පිරිසක් සංක්‍රමණිකයන් ලෙස මේ රටවල් බලා පැමිණෙති.

නීති විරෝධී සංක්‍රමණික ප්‍රශ්නය

2015 දී ග්‍රීක දූපත්වල සිට සංක්‍රමණිකයන් දසදහස් ගණනින් ළඟාවීම තරම් අර්බුදයක් නොවුණද මෙය වහා පිළිතුරු සපයාගත යුතු ප්‍රශ්නයකි. 2015 ඔක්තෝබරයේදී ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් නීති‍විරෝධී සංක්‍රමණික ඇතුළුවීම් 96% කින් පමණ පාලනය කරගත හැකි වූ බව පෙන්වා දී තිබේ. එසේ වුවද මේ මාසයේදී ඉතාලියට ළඟාවීමට වෑයම් කළ ජර්මන් ජීවිත ගලවා ගැනීමේ නෞකාව වැළැක්වීම අර්බුදයට තුඩු දුන්නේය. යුරෝපා සංගම් සාමාජික රටවල් කිහිපයක් අතර එහි සිටි සංක්‍රමණිකයන් බෙදාගන්නා අන්දම ගැන සාකච්ඡා ද සිදුවිය. එහෙත් මෝල්ටාවේ නැංගුරම්ලා සිටීමට පමණක් ඊට අවසර ලැබිණි. සාමාන්‍යයෙන් ඉතාලිය හා ග්‍රීසිය වැඩි පිරිස බාරගන්නා අතර ඉතිරි කොටස සෙසු රටවල් අතර බෙදාගැනීම සිදු වේ.

ඉතාලියේ නව රජයට මුහුණදීමට සිදුව ඇති ප්‍රබල අභියෝගයක් බවට ද සංක්‍රමණික අර්බුදය පත්ව ඇත. එය මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වූ කාරණයකි.

ලබන මස සිට යුරෝපා සංගම් සභාපතීත්වය බාර ගැනීමට නියමිතව සිටින්නේ ඔස්ට්‍රියාවය. එරට දක්ෂිණාංශික රජය නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි පිළිවෙතක පිහිටා සිටී. ග්‍රීසියේ හා ඉතාලියේ කඳවුරුවල සිටින සංක්‍රමණිකයන් අතරින් අධික තදබදයක් පැවැතීම හේතුවෙන් ඉවත් කිරීමට අපේක්ෂිත 160,000 ක පිරිස බාරගැනීම චෙච් ජනරජය, ස්ලෝවැකියාව, හංගේරියාව සහ පෝලන්තය යන රටවල් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇත. මෙහිදී ජර්මනියේ නව සභාග රජය ද අනුගමනය කරන්නේ දැඩි පිළිවෙතකි. සංක්‍රමණිකයන් වෙනත් රටක ලියාපදිංචි වූවන් නම් ඔවුන් බාර ගැනීමට සූදානම් නැති බව එරට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ඔහු නියෝජනය කරන CSU පක්ෂයේ සහායෙන් තොරව චාන්සලර්වරියට පාර්ලිමේන්තු බලය රැකගත නොහැකිය. ඇය එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේද දැඩි එහෙත් මානුෂීය සංක්‍රමණික ප්‍රතිපත්තියක් කරා යොමුවන ලෙසය. එවැන්නකට සහාය වීමට තම රට අපොහොසත් වුවහොත් එය යුරෝපා සංගමයේ පැවැත්ම තීරණය කරන තරම් බලවත් සාධකයක් වනු ඇති බව ඇයගේ අදහසය.

යුරෝපා සංගමයේ පැවැත්ම

සංක්‍රමණික අර්බුදය, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් තීරණය වැනි බාහිර ප්‍රශ්න සමඟ ද බැඳී පවතී. බ්‍රසල්ස් සමුළුවේදී බ්‍රිතාන්‍යයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන ද සාකච්ඡා කිරීමට නියමිත විය. මේ කාරණය යුරෝපා ආර්ථිකයට ඇතිකරන බලපෑම සමඟ එය සංක්‍රමණික අර්බුදයට ද තීරණාත්මක ලෙස බලපාන බව පැහැදිලිය.

ජර්මන් චාන්සලර්වරිය අවධාරණය කරන පරිදි සාමාජික රටවල් 28 ට සංක්‍රමණික අර්බුදය පිළිබඳ එක් ප්‍රතිපත්තියක් මත පිහිටා සිටීම වඩාත් උචිතය. යුරෝපා සංගමයේ පැවැත්ම තහවුරු වන්නේ ද එවැනි ක්‍රියාමාර්ගයන් තුළින් ම බව ඇය පෙන්වා දී ඇත. බෙදීම්, සංගමයේ පැවැත්මට දැඩි අනර්ථකාරී බලපෑම් එල්ල කර තිබේ. එක්ව සෙවිය යුත්තේ හොඳම විසැඳුම බව චාන්සලර්වරිය අවධාරණය කරන්නීය.

ඉතාලිය විසින් දැනට යුරෝපා සංගමය සංක්‍රමණිකයන් අරභයා අනුගමනය කරන නීති පිළිබඳ විශාල වෙනසක් අපේක්ෂා කරන බැවින් පොදු එකඟතාවකට එළැඹීම තවමත් ප්‍රශ්නාර්ථයක්ව පවතී. මේ ප්‍රශ්නයට සම්බන්ධ මධ්‍යධරණී කලාපය ආශ්‍රිත සෙසු රටවලින් ද ප්‍රායෝගික සහායක් ලැබිය යුතු බව ඉතාලියේ අදහසයි.

ඉතාලි අගමැති ගියුසෙප් කොන්ත් මෙහිදී අවධාරණය කර ඇත්තේ සෙසු යුරෝපා රටවලින් ද (සංගමයේ සාමාජිකයන් වන) සහාය නොලැබෙන්නේ නම් සමුළුව නිමාවනු ඇත්තේ කිසිදු කාරණයක් පිළිබඳ අනුමැතියක් හෝ අවසන් නිගමනයන්ගෙන් තොරව බවය. මෙය වචන සහ ප්‍රකාශනවලට පමණක් සීමා වී කළ නොහැක්කක් බව ද ඉතාලි අගමැතිවරයා පෙන්වා දී තිබේ. යුරෝපා සංගමය වශයෙන් අප අතර ඇති සහයෝගීතාව පළකිරීම සඳහා ද මෙය සුදුසුම අවස්ථාවක් බව ද ඔහු පවසා තිබිණි.

ස්පාඤ්ඤයේ නව අගමැති පෙද්රෝ සැන්චෙස් ද සාමාජිකයන් ජර්මනියත් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ යුතු බව අවධාරණය කර තිබේ. විශේෂයෙන් එරට දේශපාලන අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක එය සපුරාලිය යුතු අවශ්‍යතාවක් බව ඔහුගේ අදහසය.

මෑත වසර කිහිපය තිස්‍සේ අර්බුදයක් දක්වා වර්ධනය වූ සරණාගත ප්‍රශ්නය ලෝකයේ උතුර සහ දකුණ අතර බෙදීම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස පවතී. ඇතැම් රටවල් දේශසීමා සම්බන්ධයෙන් දැඩි නීති හා පාලනයක් අපේක්ෂා කරයි. සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නයේදී සෑම රටකටම එකම ආකාරයකින් ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් ඇත්තේ ද නැත. එකී සම්මුතීන්ගෙන් බැඳී සිටින රටවල් සංක්‍රමණිකයන් බාර ගැනීමට එකඟව ඇති නමුත් ලොකු කුඩා සෑම රටකටම එය එකම ආකාරයකින් කිරීමේ හැකියාවක් නොපවතී. භූගෝලීය තත්ත්ව, ආර්ථිකය, දේශපාලන සාධක වැනි බොහෝ කාරණා එහිදී සළකා බැලීමට සිදුවේ.

යුරෝපයේ පිළිවෙත

ඇතැම් යුරෝපා රටවල් සංක්‍රමණිකයන් පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සෙසු රටවලින් ලිහිල්ව ක්‍රියාකිරීම අපේක්ෂා කරන්නේ නම් එය ද අනුමත කළ නොහැකිය. වසර ගණනාවක් තිස්සේ මේ කාරණා සම්බන්ධයෙන් වෙනසක් අපේක්ෂාවෙන් පසුවන නමුදු තවමත් එය යථාර්ථයක් වී නැති බව ඇතැම් නායකයන් මේ සමුළුවේදී ද පෙන්වා දී ති‍බිණි.

යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටක්ස් සාමාජික රටවලට පොදුවේ වැඩි සහායක් ලබාදිය හැකි කාරණා වශයෙන් යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කළේය. ඒවා මඟින් සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය දේශපාලන කුණාටුවක් ලෙස හමායන්නේ කවර අතකට ද යන්න පෙන්නුම් කෙරෙන බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වුවද ටස්ක් අවධාරණය කරන්නේ තමන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් තමා දැඩිව ක්‍රියා කරන බවක් අදහස් නොකරන බවය. එහෙත්, ඒවාට එකඟවීමට නොහැකි නම් දැඩි තීන්දු කරා එළැඹීමට අප කාටත් සිදුවිය හැකි බව ඔහු අවධාරණය කර තිබිණි.

බොහෝ අන්තර්ජාතික හා කලාපීය සමුළුවලදී දිගින් දිගටම සිදුවන්නාක් මෙන්ම මෙම යුරෝපා සංක්‍රමණික සමුළුවේදී ද අවසන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට හැකියාව ලැබුණේ නැත. විශේෂයෙන් අප්‍රිකාව හරහා ළඟාවන සංක්‍රමණිකයන් දසදහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අවතීරණය වන ස්ථානය වන ඉතාලිය එවැනි ප්‍රකාශයකට එරෙහිව නිශේධ බලය යොදවන බව දැන්වීම ඊට බලපෑවේය. ඊයේ වනතුරුත් ඊට අවසන් විසැඳුමක් සෙවීම සාමාජික රටවල් වෑයම් කරමින් සිටියද සුබවාදී අවසානයක් කරා ළඟාවන ලකුණු පෙනෙන්නට නොවීය. සෑම දෙයකටම රටවල් අතර එකඟතාවක් ඇතිවන තෙක් කිසිවකට එකඟ විය නොහැකි බව ඉතාලි අගමැතිවරයා ප්‍රකාශ කර ඇති පසුබිමක එම අවසන් එකඟතාව සමුළුව නිමාවන විට එළැඹෙනු ඇතිදැයි ප්‍රායෝගිකව සිතීමට නොහැකිය.

කලාපීය සමුළු

මෑත වසර ගණනාවක් තිස්සේ අන්තර්ජාතික හා කලාපීය සමුළු සෑම එකක පාහේ ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස, ආර්ථික අර්බුදය වැනි කාරණා ද සමඟ සංක්‍රමණික අර්බුදය ද න්‍යාය පත්‍රයේ ඉහළට පැමිණියේය. ලොව තැන් තැන්හි පවතින අභ්‍යන්තර යුද ගැටුම්, දේශපාලන අස්ථාවරත්ව මෙන්ම පාරිසරික ව්‍යසන ද මේ ප්‍රශ්නය වඩාත් බරපතළ වීමට බලපෑවේය. කෙසේ වුවද එය අර්බුදයක් බවට පෙර‍ළුණේ 2015 වසර තරම් මෑතදීය. එය එසේ වනතුරුම ලෝක බලවතුන්ට ඊට විසැඳුම් සෙවීමට හැකි නොවීය. දැන් විසැඳුම් සෙවීමට සිදුව ඇත්තේ අර්බුදයේ කරවටක් ගිලී සිටියදී වීම අවාසනාවන්ත තත්ත්වයකි.

කලාපීය විසැඳුම්, දේශසීමා ආරක්ෂාව තරකිරීම සංක්‍රමණිකයන්ගේ නිජබිම් වන රටවල් සමග වැඩි සහයෝගීතාවයකින් ක්‍රියාකිරීම ආදී යෝජනා ගණනාවක් රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කර ඇත. එහෙත් ඒ සියල්ල තවමත් ඇත්තේ සාකච්ඡා මේසයේය. සෑම යෝජනාවකටම කෙසේ වෙතත් මේ අර්බුදයට කල්පවත්නා විසැඳුමක් සෙවීමට හැකි යෝජනා කිහිපයකටවත් එකඟවීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28 ට හැකියාව ල‍ැබේ නම් එය සංක්‍රමණිකයන්ට ද අසන්නට ලැබෙන සුබ පණිවිඩයක් වනු ඇත. එහෙත්, තවමත් එවැනි පණිවිඩයක සේයාවක් හෝ පෙනෙන්නට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *