පෙති බිව්වත් ‘ප්‍රෙෂර්’ අඩු නොවන අමුතු ලෙඩක්!

ප්‍රෙෂර්’ අද කැස්ස හෙම්බිරිස්සාව තරමටම සාමාන්‍ය රෝගයක් බවට පත්වී තිබේ. කොයි කවුරුත් ප්‍රෙෂර්, ප්‍රෙෂර් කියා හැඳින්වුව ද එය නියමාකාරයෙන් හඳුන්වනු ලබන්නේ ‘හයි බ්ලඩ් ප්‍රෙෂර්’ හෙවත් අධි රුධිර පීඩනය යනුවෙනි. වර්තමානයේ බොහෝ දෙනකු ප්‍රෙෂර්වලට බෙහෙත් ගැනීම සඳහා සායනවලට සහභාගි වන්නේ පෝයට පෙහෙවස් සමාදන් වීමට පන්සලට යන තරම් සැදී පැහැදීගෙන ය.

එහෙත් ප්‍රෙෂර්වලට බෙහෙත් ගන්නා රෝගීන්ගෙන් 75% කට රුධිර පීඩන මට්ටම පහත නොබසින බව පසුගිය දිනෙක මාධ්‍යයට අනාවරණය කර තිබුණේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රුවයිස් හනීෆා මහතා ය. ‍ඔහු මේ බව පැවසුවේ ලෝක බැංකු ව්‍යාපෘතියක්‍ යටතේ ශ්‍රී ලංකා රජය විසින් රජයේ රෝහල්වල පැවැත්වෙන අධි රුධිර පීඩන සායනවලට පැමිණෙන රෝගීන් අලළා සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලයක් ඇසුරෙනි. මීට වසර කීපයකට පෙර උතුරු නැගෙනහිර පළාත් හැර සෙසු පළාත්වල රජයේ රෝහල්වල සායනවලට සහභාගි වන රෝගීන්ගේ දත්ත මෙම සමීක්ෂණයට පදනම් කරගත් බව විශේෂඥ වෛද්‍ය රුවයිස් හනීෆා තවදුරටත් සඳහන් කළේ ය.

ප්‍රෙෂර්වලට ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් 75% කට රුධිර පීඩන මට්ටම ඉහළ අගයක් ගැනීම සුළුකොට තැකිය යුතු නොවේ. මන්ද මේ වනවිට අපේ රටේ මරණ සංඛ්‍යාව ඉහළ දැමීමට බෝ නොවන රෝග හෙවත් අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ප්‍රබල හේතුවක් වී ඇති නිසා ය. අධි රුධිර පීඩනය නිසා හෘද රෝග, අංශභාග, ආඝාත වැනි රෝගවලට ගොදුරු වී මරණය වැලඳගන්නා පිරිස දිනෙන් දින ඉහළ යනු ඇත. කායික රෝග වෛද්‍ය විශේෂඥ වරුණ ගුණතිලක මහතාගෙන් ප්‍රෙෂර්වලට ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ රුධිර පීඩන මට්ටම පහත ‍ෙනාබැසීමට හේතු පිළිබඳව විමසුවේ එබැවිනි.

“අධිරුධිර පීඩනය වයස්ගත වීමත් සමඟ වැඩිවෙන තත්ත්වයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. කොහොමටත් අධි රුධිර පීඩනයට බෙහෙත් ගන්න විට දීර්ඝ කාලයක් බෙහෙත් ගන්න වෙනවා. මෙම රෝගීන් බෙහෙත් අරං රුධිර පීඩන මට්ටම නැවත ප්‍රශස්ථ මට්ටමට පැමිණියාම වෛද්‍යවරු පරීක්ෂා කරලා කියනවා “ආ, හරි දැන් නෝමල්’ කියලා. එවිට රෝගීන් ඖෂධ නවත්තනවා. ඖෂධ ගැනීම නොසලකා හරිනවා. මේ හේතුව නිසා රුධිර පීඩන මට්ටමට බෙහෙත් ගන්න සමහර රෝගීන්ගේ ප්‍රෙෂර් බහින්නේ නැහැ” යනුවෙන් කායික රෝග වෛද්‍ය විශේෂඥ වරුණ ගුණතිලක සඳහන් කළේ “දැන් මට හොඳයි” කියා ප්‍රෙෂර්වලට බෙහෙත් නොගෙන නතර කරන රෝගීන්ගේ ජීවිත අවදානම පිළිබඳව ද අවධාරණය කරමිනි.

මීට අමතරව අධි රුධිර පීඩන මට්ටමට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට වයස්ගත වීමත් සමඟ ඖෂධ මාත්‍රාව වැඩි කිරීමට සිදුවන බව ඔහු පැවසීය. එහෙත් ඖෂධ මාත්‍රාව වැඩි නොකර එකම ප්‍රමාණයකින් අඛණ්ඩව ගැනීම යන හේතුව නිසා ද ඖෂධ ලබා ගත්තත් රුධිර පීඩන මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත් නොවීමට පුළුවන.

අද වෙළෙඳපොළේ පවතින ඇතැම් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බව පවසන කායික රෝග වෛද්‍ය විශේෂඥ වරුණ ගුණතිලක, රෝගීන්ගේ අධිරුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට පත් නොවීමට එය ද යම් තාක් දුරකට ඉවහල් විය හැකි බව පෙන්වා දුන්නේ ය. තවද රෝගීන් ඖෂධ ගබඩා කර තබා ගැනීමේදී අපරීක්ෂාකාරී අන්දමින් නොසැලකිලිමත් ලෙස ගබඩා කිරීමෙන් ඖෂධවල ගුණාත්මකභාවය අඩු විය හැකි බව ද අප අමතක කළ යුතු නැත.

“තවත් සමහර රෝගීන් කොටසක් ඉන්නවා ප්‍රෙෂර්වලට බෙහෙත් ගන්නවා. හැබැයි ඒ අයගේ ඇබ්බැහිවීම් අත් හරින්නේ නැහැ. අධික ලෙස මත්පැන් සහ දුම්වැටි භාවිතය, අධික ලෙස ලුණු සහිත ආහාර භාවිතය ඒ ආකාරයටම සිදු කරනවා.‍ එවිට අධිරුධිර පීඩන මට්ටම සාමාන්‍ය මට්ටමට පත් වෙන්නේ නැහැ. ඒත් රෝගීන් හිතන්නේ බෙහෙත් ගන්න නිසා සේරම හරි කියලා.‍ එය වැරදි මතයක්. බෙහෙත් විතරක් අරගෙන හරි යන්නේ නැහැ. රෝගීන්ගේ චර්යා රටාවත් හොඳ වෙන්න ඕනෑ” යනුවෙන් විස්තර කළේ කායික රෝග වෛද්‍ය විශේෂඥ වරුණ ගුණතිලකය.

මීට අමතරව ආවේගශීලී චිත්ත ස්වාභාවයන් ද ප්‍රෙෂර් ‍රෝගයට යහපත් නැත. එහෙත් අද පවතින අධි පරිභෝජනවාදී සමාජ රටාව සහ තරගකාරී ජීවන රටාව මිනිසුන් තුළ ඇති කරන්නේ ආවේගශීලී සිතිවිලිමය. එබැවින් එය ද අධිරුධිර පීඩන මට්ටම පහත නොබැසීමට වක්‍රාකාරයෙන් බලපාන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

කෙසේ වුව ද අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ලබා ගන්නා ‍රෝගීන්ගේ රුධිර පීඩන මට්ටම පහත නොබැසීම රටේ අවධානය යොමු විය යුතු බරපතළ කාරණයකි. එක් අතකින් මෙම සායනවලට පැමිණෙන රෝගීන්ගේ ඖෂධ සඳහා රජය රුපියල් කෝටි ගණනක් වැය කිරීම ගඟට ඉනි කැපුවා වැනි නිෂ්ඵල ක්‍රියාවක් වී තිබේ. අනෙක් අතට රටේ ජනතාව රෝගීන් වීම රටක ඵලදායිතාවට බලපාන වැදගත් කරුණකි.

සායනවලට ‍සහභාගි වන රෝගීන්ගේ රුධිර පීඩන මට්ටම පහත නොබැසීමට බලපාන හේතු සොයමින් නැවතත් සමීක්ෂණයක් සිදු කරනු ලබන්නේ රටක නි‍‍රෝගී ජනතාවක්, සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කිරීමේ අරමුණෙනි.