සිත් වසඟ කළ හැරෝ පුරපතිනී කරීමා

උඩරට ඔසරියට ඈ හැඩය. පෙනුමේම නොව කතාවෙන් ද ඈ මේ සිංහල රටේය. ඈ සිහල බස යසට හසුරුවන්නීය. උඩරට ඔසරිය ,සිහල බස මේ තරම් කිට්ටු බවක් පෙනුණත් ඈ සිටින්නේ මේ සිංහල රටෙන් දුර ඈත මූදු හතෙනුත් එහා ය. වයඹදිග ලන්ඩනය අවුරුදු ගණනක් තිස්සේ නවාතැනයි.අද ඈ වයඹදිග ලන්ඩන්යේ හැරෝ හි නගරාධිපතිනිය වන්නේ ද ඇය ම ය. ‘කරීමා මරික්කාර්’ ; හැරෝහි කාගේත් සිත දිනූයේ ඇයයි. බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් පළමුවැන්නිය ද ඇය ම ය. “මම හිනාවෙන් කාගෙත් හිත් දිනාගත්ත කෙනෙක්” කරීමා කතාව පටන් ගන්නීය. “ලංකාව වගේ පුංචි රටක ඉපදිලා මේ වගේ තැනක නගරාධිපති පදවිය ලබා ගන්නව කියන්නෙ හරි විශේෂ දෙයක් කියලයි මට දැනෙන්නේ”. ඇත්තකි, ඈ දිනාගෙන ඇත්තේ අවුරුදු එකසිය ගණනකට මත්තෙන් අපව යටත් කරගෙන සිටියවුන්ට නෑකම් කියන්නවුගේ සිත් ය.

වයඹදිග ලන්ඩන්යෙන් ඇරඹි අපේ කතාවේ කතාකාරියගේ කතාව, සැබෑවටම ඇරඹෙන්නේ කන්ද උඩරට මහනුවරිනි.

“මම ඉපදුණෙ මහනුවර. මගේ පවුලෙ මට අක්කලා පහයි. මමත් එක්ක ගෑනු ළමයි ඔක්කොම හයක්. ලොකු පවුලක්. දැනට නම් ලංකාවෙ ඉන්නෙ මගෙ එක අක්ක කෙනෙක් විතරයි. අනිත් අය ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ,ජර්මනියේ සහ කැනඩාවේ. අපි මුස්ලිම් මරක්කල. ඒ වුණාට අපි හැදුණෙ වැඩුණෙ සිංහලකම; බෞද්ධකම එක්ක. අපේ තාත්තට ඒ කාලෙ තිබුණ බස් කම්පැණි එකක්. ඒකෙ නම ‘මාතලී සංචාරක’ අපේ අම්මගේ තාත්තටත් තිබුණා ‘සිංහ බස් සමාගම’ කියලා බස් සේවයක්. ඒ දේවල් වලින්ම තේරෙනවනෙ අපි වැඩිපුර කිට්ටුවෙලා හිටියෙ සිංහල බෞද්ධකමට කියලා. “කරීමා අතීතය මතක් කරමින් කියන්නීය.

කරීමා අද හැරෝ නගරාධිපතිනිය වනතෙක් ආ ගමනට ද මුල් අත්පොත් ලැබී ඇත්තේ ඇය හැදුණු වැඩුණු පරිසරයෙන් ම ය.

“දේශපාලනය කියන්නෙත් මට නම් අමුතු දෙයක් නෙමෙයි. අපේ ගෙදර ඇතුළෙම දේශපාලනය තිබුණා කිව්වොත් තම්යි හරියටම හරි. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂෙන් එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ හදද්දි මගේ තාත්තයි, ලොකු තාත්තයි බණ්ඩාරනායක මහත්තයගෙ ළගින්ම ඉදලා තියෙනවා. තාත්තායි ලොකු තාත්තයි දෙන්නම නිතරම දේශපාලනය එක්ක හිටපු අය. ඒ දේවල් පුංචි කාලෙ ඉදලම දැකලා දේශපාලනය ගැන මගේ හිතෙත් පොඩි ආසවක් ඇතිවෙන්න ඇති මටත් නොදැනීම. ඒ ආසාව තමයි අද මාව මෙතනට අරගෙන එන්න ඇත්තේ. “ඒ කරීමාට අද හිතෙන හැටිය. ‘මුස්ලිම් මරක්කල’ ලෙස උප්පැන්නයේ ලියැවෙද්දී සිංහලකමට ඈ බැඳවන්නට ඇත්තේ ද මේ දේශපාලන ඇසුරම වන්නට බැරි නැත. “අපේ ලොකු තාත්තට ඒ කාලෙ ඒ පැත්තෙ අය කිව්වෙ ‘සිංහල මරික්කර්’ කියලා. ඒ තරමට අපේ පවුල සිංහල අයත් එක්ක කිට්ටුයි. මම හරෝ නගරාධිපතිනිය වෙලත් මම ඔසරියට ආසා කරන්නෙ මහනුවර සිංහලකම මගෙන් ඈතට නොයන නිසා කියලයි මට දැනෙන්නෙ. ලොකු තාත්තාගෙ ඇසුර තමයි වැඩිපුර ම මාව මේ දේවල් වලට කිට්ටු කළේ. ලොකු තාත්තට පන්සිය පනස් ජාතක පොත කට පාඩම්. බණ්ඩාරනායක මත්තතයගෙ ආණ්ඩුවේ මුදල් හා තැපැල් ඇමති වෙලා හිටපු සී. ඒ .එස්. මරික්කර් තමයි මගේ ලොකු තාත්තා. ලොකු තාත්තගෙ කාලෙ තමයි ගුවන් විදුලියේ පිරිත් ප්‍රචාරය වෙන්න පටන් ගත්තෙත්. මම අදටත් මෙහෙ හිටියත් පන්සල ළඟින් ම ඇසුරු කරන කෙනෙක්. මගේ පවුලෙ කට්ටිය කවදාවත් බුද්ධ ධර්මයට ඇගිල්ලක් දික්කරලා නැහැ. අපි පල්ලියට වගේම පන්සලටත් ගියා. අපේ තාත්තා නැති වුණාට පස්සෙ අපි පිරිතක් පවා කිව්වා. පොඩි කාලෙ ඉදල අපිව හදලා තියෙන්නෙ ආගම් හැම එකකටම ගරු කරන්න. අනෙක ආගම් හැම එකකින් ම කියැවෙන දේවල් වල සරල ම අදහස ගත්තොත් ඒවායෙන් කියන්නේ සාමයෙන් ජීවත් වෙන්න කියලනේ. හැම ආගමකට ම ගරු කරන එක , හැම ආගමක ම අය එක්ක වැඩ කරන එක වරදක් නෙමෙයි. මම අද මේ තැනට වුණත් ආවෙ වෙනසක් නැතුව හැම කෙනකුට ම එක විදියට සලකමින් වැඩ කරපු නිසා.”

“පවුලෙන් ලැබුණු ආභාසය වගේම මගේ පාසල මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ලැබුණු පන්නරයත් මට මේ තැනට එන්න උදව් වුණා. මොකද මම පාසලේ හොකී කණ්ඩායමේ සෙල්ලම කරන කාලෙ මම නායකත්වය ගැන, ජය පරාජය ගැන ගොඩක් දේවල් අත්දැකීමෙන් ම ඉගෙන ගත්තා. මට ඒ කිසිම දෙයක් තවමත් අමතක නැහැ. “අතීත අත්දැකීම වලට ද ඈ තුති පුදන්නීය. “අද මට ලැබිලා තියෙන්නෙ ලොකු වගකීමක්. මෙහේ දේශපාලනය ලංකාවෙ දේශපාලනය තරම් ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජනතාවගේ කැමැත්තෙන් මෙතනට ආවට පස්සෙ හැම කෙනාට ම එක විදියට සලකන්න ඕන. අපිට තියෙනවා ආචාර ධර්ම. ඒවා අකුරට ම පිළිපදින්න ඕන. “ඒ ඈට ලැබී ඇති අලුත් වගකීමේ බරපතල කම ය. “මම මුලිනුත් කිව්වනෙ මට මෙතනට එන්න ගොඩක් ම උදව් වුණේ මගෙ හිනහව. දකින ඕන කෙනෙක් එක්ක හිනාවෙන එක තමයි මගෙ පුරුද්ද. අනිත් දේ තමයි හැමෝම එක්ක හිනහවෙලා කතා කරනවා වගේම මම හැම කෙනෙකුට ම එක වගේ සලකනවා. අනිත් අයට වගේ සමහර දේවල් වලට මටත් තරහත් එනවා. ඒ වුණත් මම මගේ තරහවත් මගෙ හිනහවෙන් හංග ගන්නවා. මම නගරාධිපති කමට තරග කරද්දි මට මගේ මේ ගතිගුණ ගොඩක් උදව් වුණා. අනික මම මගේ වැඩ පටන් ගත්තෙ පොඩිම තැනින්. හැමෝම එක්ක කතාකරලා හැමෝගෙම ප්‍රශ්න ගැන මම හොයලා බැලුවා. මම නගරාධිපතිකමට තේරුණේ කම්කරු පක්ෂයෙන් තරග කරල. ඒ වුණත් මගේ පක්ෂය එතනින් එහාට මගේ තනතුරේ වැඩ වලදි මට අදාළ වෙන්නේ නැහැ. මම කාටත් සලකන්නේ, වැඩ කරන්නේ එක ම විදියට.

අපේ රටේ අද අපි දකිනා දේශපාලනයට වඩා ඇගේ දේශපාලනය බෙහෙවින් වෙනස් ය. එනමුත් අපේ රටේ දේශපාලනය ගැන ද ඈ සතුව යාවත්කාලීන වූ දැනුමක් ඇත්තේය. “මම ලන්ඩන් වලට වෙලා හිටියට ලංකාවෙ දේවල් ගැන, විශේෂයෙන් දේශපාලන වෙනස්කම් ගැන,මතවාද ගැන විමසිල්ලෙන් ඉන්නෙ.මම මීට අවුරුද්දකට විතර කලින් මඩකළපුවේ ගියා සාකච්ජාවකට.ඒ වෙලාවෙ මට එහේ කාන්තාවන් එක්ක කතා කරන්න හම්බවුණා.ලෝකය මෙතරම් අලුත් විදියට හිතන්න පටන් අරගෙන තියෙද්දි ලන්කාවෙ කාන්තාවට ඉදිරියට එන්න,ඉදිරියට ඇවිත් නායකත්වය අරගෙන වැඩ කරන්න අවස්ථාව නොදෙන එක ගැන ඇත්තටම මට ඇතිවුණේ කනගාටුවක්. හැමෝම තේරුම්ගන්න ඕන කාන්තාවටත් යමක් සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් බව. දැන් බලන්න රූප රාජිණියක් වෙලා හිටපු රෝසි සේනානායකට අව්ස්ථාව හම්බ වුණ නිසා එයා ඉදිරියට ඇවිත් මිනිස්සුන්ට වැඩ කළා. අද ඇය කොළඹ මහ නගර සභාවෙ නගරාධිපතිනිය වෙලා ඉන්නවා. කිසිම භේදයක් ,වෙනසක් නැතිව කාන්තාවට තැනක් දිය යුතුයි කියන එකයි මගේ නම් විශ්වාසය.”

“කාන්තාවකට නායකත්වය අරගෙන වැඩ කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ කාන්තාවගේ ජාතිය ආගම ගැන හොය හොයා ඉන්න එක තේරුමක් නැති දෙයක්. මේක විසි එක්වෙනි සියවස. මුස්ලිම් පවුලක ඉපදුණ මම නම් කියන්නේ මුස්ලිම් කාන්තාවන් තව දුරටත් ගෙවල් වලට වෙලා ඉන්න ඕන නැහැ කියලා. මම හිතන්නේ නැහැ මුස්ලිම් කාන්තාවන් එහෙම ඉන්න කැමතියි කියලත්. මුස්ලිම් කාන්තාවන්ට ඉදිරියට ඇවිත් වැඩ කරන්න බැහැ කියලා මොන පොතකවත් ලියලා නැහැනෙ. මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා, අද ලෝකයේ එක එක රටවල් වල හොඳ තැන්වල රැකියා කරමින් ඉන්න අය. පොදුවේ හැම කාන්තාවක් ගැනම කතා කළත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නැහැ. ඒත් කාන්තාව ඉදිරියට ආවෙ නැති වුණොත් කාන්තාවන්ගේ හඬ ලෝකයට ඇහෙන්නේ නැහැ. අද සමාජයේ කාන්තාවන්ට ඕන අභියෝගයකට මුහුණ දීලා ඕනෑම තනතුරක් දරන්න පුළුවන් කියන එකයි මගෙ නම් විශ්වාසය.”කරීමා කතා කරන්නේ ආඩම්බරයකින් මෙනි. ඒ ඇගේ සිතේ ඈ වෙනුවෙන් ම උපන් ආඩම්බරක් නොවේ. හැම කාන්තාවක් වෙනුවෙන් ම උපන් ආඩම්බරකාර හැඟීමකි.

කරීමා ආඩම්බර වන්නේ ද ආඩම්බර විය යුතුම තැනදී විතර ය. ඈ ඒ තරමට ම සරල ව ජීවත් වන්නියකි. නගරාධිපති තනතුරේ වගකීම් දරමින්ම ඈ සිය හුරුපුරුදු රාජකාරියට ද කාලය සොයා ගන්නේ ඒ නිසා ය. “මම මේ තනතුරේ වැඩ කළාට මම තවමත් හෙදියක් විදියටත් වැඩ කරනවා. මානසික රෝගීන් වෙනුවෙන් තමයි මම හෙදකම කරන්නේ. උපදේශන සේවාත් කරනවා. මානසික ගැටලු තියෙන අය එක්ක වැඩ කරද්දි අපිට අපේ ජීවිත වලටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ පදවි තාවකාලිකයි. පදවි නැතිවුණු දවසක වුණත් අපි මිනිස්සු එක්ක ජීවත්වෙන්න පුරුදුවෙලා තියෙන්න ඕන. ඒ නිසා මම කවදාවත් හෙදකම නම් අත්හරින්නේ නැහැ. අනික මට හැමදාම මිනිස්සු අතර ඉන්නත් ඒකෙන් අවස්ථාව ලැබෙනවා. මම මේ තැනට ආවෙත් මිනිස්සු නිසා. හැම වෙලාවෙ ම තනතුරු ඇතුව හරි නැතුව හරි මිනිස්සුන්ට සේවයක් කරන්න ලැබෙනවා නම් මට ඒක ලොකු සතුටක්.”

නිතර මිනිසුන් අතරම ගැවසෙමින් මිනිසුන්ට සේවය කරන්නට ඕනෑකමක් ඇති කරීමාට ඇගේ සේවය ලන්ඩන් වැසියන්ට පමණක් සීමා කරන්නට ද උවමනාවක් නැත්තේය. ඈ උපන් රට වෙනුවෙන් යමක් කරන්නට ද ඕනෑම මොහොතක සූදානම්ය. “මම ඉගෙන ගත්ත දෙයකින් හරි, මට පුළුවන් වෙනත් විදියකට හරි ලංකාව වෙනුවෙන් සේවය කරන්න මට ආසාවක් තියෙනවා, ඒ වගේම ඕනෑම වෙලාවක මම ඒ වෙනුවෙන් සූදානම්. පහුගිය කාලෙ ලංකාවෙ තිබුණු ගංවතුරටත් මම මෙහෙන් සල්ලි එකතු කරලා යැව්වා. ලංකාව වෙනුවෙන් වැඩ කරන්න ,කතා කරන්න මම ඕනෑම වෙලාවක එනවා. හැබැයි ලංකාවේ දේශපාලනයට එන්න නම් මගේ කැමැත්තක් නැහැ.”