රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ බැංකුවට නම් එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ. ඔවුන්ට අනුව විදේශ ගනුදෙනු සිදුවනුයේ  ඇමෙරිකන් ඩොලර්වලිනි. රුපියල්වලින් විදේශ ණය ඇතුළු අනෙකුත් ගනුදෙනු සිදු නොවෙන නිසා රුපියල අව ප්‍රමාණය වූවාට කලබල විය යුතු නැතැයි යන්න ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව හෝ එහි අධිපතිවරයා කුමක් පැවැසුවද ඇමෙරිකන් ඩොලරය ඉහළ යන සෑම අවස්ථාවකදීම වෙළෙඳ ‍පොළේ ආනයනික භාණ්ඩ හා සේවාවල මිල ගණන් නම් ඉහළ යන්නේය. වෙළෙඳ ‍පොළට නොයන පුද්ගලයින්ට හා ඉහළ ආදායම් ලබන පිරිස්වලට වෙළෙඳ ‍පොළේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගියද පසුම්බියට දැනෙන්නේ නැත.
එහෙත් මේ රටේ බහුතරයක් වන සාමාන්‍ය ජනතාවට වෙළෙඳ ‍පොළේ ඉහළ නැග ඇති භාණ්ඩ හා සේවාවල මිල ගණන් දරාගත නොහැකිය. කිරිපිටි, ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් ඉහළ යාමට රුපියල අවප්‍රමාණය වීම සෘජු ලෙසම බලපෑම් කොට ඇත. මීට අමතරව අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, යාන වාහන, ඉන්ධන, ගෑස් ආදී එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලම පාහේ අපි ආනයනය කරන්නෙමු. මේවායේ ආනයන මිල ඉහළ නොයන්නේ යැයි මහ බැංකුවට පැවැසිය නොහැකිය.
ආනයන පරිමාව දේශීය ආහාර ඇතුළු අනෙකුත් නිෂ්පාදන ඉහළ නැංවීම ආණ්ඩුවේ අරමුණ බව ප්‍රකාශ කොට තිබුණද පසුගිය වර්ෂ කිහිපය ඇතුළත මෙරට ආනයන පරිමාව හා වටිනාකම ඉහළ ගොස් ඇත.
2016 වසරේ සහල් ආනයන පරිමාව කිලෝග්‍රෑම් මිලියන 30කි. නමුත් 2017 වසරේදී එය කිලෝ ග්‍රෑම් මිලියන 748 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2016 වසරට සාපේක්ෂව එම ඉහළ යාම අති විශාලය. එහි ආනයන වියදමද සුළුපටු නොවේ. 2016 වසරේදී සහල් ආනයනය සඳහා වැය වූයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 13කි. 2017 වසරේදී එය ඩොලර් මිලියන 301ක් දක්වා වැඩි වී ඇත.
දියර කිරි නිෂ්පාදනයෙන් රට ස්වයං‍පෝෂිත කරන බව වගකිව යුත්තන් ප්‍රකාශ කරනු ලැබුවද වාර්ෂික කිරිපිටි ආනයනයේ පහළ වැටීමක් දක්නට නොමැත. 2016 වසරේ ඇමෙරිකන් ඩොලර්  මිලියන 249.3ක් කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා වියදම් වූ අතර 2017 වසරේදී එය ඩොලර් මිලියන 316ක් දක්වා වැඩි වී ඇත. එම වැඩිවීම සියයට 27.6ක් තරම් ඉහළ අගයකි.
මීට අමතරව 2017 වසර ඇතුළත පලතුරු සහ තෙල් හා මේද ආනයනය සඳහා වියදම පිළිවෙළින් සියයට 14.9කින් සහ සියයට 28.1කින් ඉහළ ගොස් ඇත. එසේම 2016 වසරේ තිරිඟු පිටි ආනයනය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 1,872ක් වැය කොට ඇති අතර 2017 වසරේදී එය ඩොලර් මිලියන 45,881ක් දක්වා ඉහළ ගොස් ඇත.
රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන ආනයන වියදම් ඉහළයාම සුළුකොට තැකිය නොහැකිය. රටේ ආහාර නිෂ්පාදනයක් නොමැති තරමට ආනයනය කොට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට සිදුවීම ඛිෙදජනකය. කරවල, අල, ලූනු, වියළි මිරිස්, හාල්මැස්සන්, කව්පි, මුං ඇට, කුරහන්, බඩඉරිඟු වැනි රට තුළ පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි ආහාර ද්‍රව්‍ය දිගින් දිගටම ආනයනය කිරීම තුළ ආර්ථිකයට සිදුවන හානිය හිතාගත හැකිය. මේ භාණ්ඩ හා සේවා සියල්ල ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය හා තදින්ම  බැඳී ඇති ඒවාය.
ඩොලරයේ වටිනාකම ඉහළ යන විට මේ භාණ්ඩ හා සේවාවන්ගේ දේශීය මිල ගණන් ඉහළ යාම වළක්වා ගත නොහැකිය.  වර්තමානයේ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව ජීවන වියදම් දීමනාවක් ජනතාගේ  වැටුපට හෝ ආදායමට එකතුවන්නේ නැත. දැන් ඉන්ධන, ගෑස්, කිරිපිටි, ප්‍රවාහන ගාස්තු ආදිය වැඩි වී අවසන්ය. එහි ප්‍රතිඵලයන් වශයෙන් බත් පාර්සලය, සුදු ආප්පය, ඉඳි ආප්පය, ප්‍ලේන්ටිය වැනි නිමි භාණ්ඩවල (අවසන් භාණ්ඩය) මිල ගණන්ද වැඩිවී අවසන්ය. මෙම සියලුම මිල ඉහළ යාමේ පීඩනය පැටවී තිබෙන්නේ ජනතාවගේ කර මතය. ඩොලරයේ වටිනාකම තව දුරටත් ඉහළ ගියහොත් ඉන් ඇතිවන පීඩනයද පැටවෙන්නේ ජනතාවගේ හිස මතටය. ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා බඳු සිදුවීමකට මුහුණ දීමට ජනතාවට සිදුවූයේ වැසි බර කාලගුණ තත්ත්වය යටතේ වෙළෙඳ ‍පොළේ එළවළු වැනි ආදියෙහි මිල ගණන් ඉහළ යාමය. වර්ෂාව සහ ගංවතුර තත්ත්වය කරණකොට ගෙන වෙළෙඳ ‍පොළේ එළවළු සැපයුමෙහි අඩුවීමක් සිදුවිය. එය මේ දක්වා යථා තත්ත්වයට පත්වී නොමැති අතර වෙළෙඳ ‍පොළේ එළවළු ආදියෙහි මිල ගණන් සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇත. කැරට් ග්‍රෑම් 500ක් රුපියල් 200ක් පමණ වන අතර බෝංචි ග්‍රෑම් 500ක් රුපියල් 160ත් 200ත් අතරය. එළබටු ග්‍රෑම්  500ක් රුපියල් 120ක් පමණ වන අතර වම්බටු ග්‍රෑම් 500 ක් රුපියල් 60ත් 80ත් අතර මිලකට තීරණය වී ඇත.
එළවළු මිල ඉහළ යන විට මාළු සහ බිත්තර මිල නිරායාසයෙන්ම ඉහළ යන්නේය. මේ දිනවල වෙළෙඳ ‍පොළේ කෙළවල්ලන් මාළු ග්‍රෑම් 500 ක මිල රුපියල් 500ත් 600ත් අතරය. තලපත් මාළු ග්‍රෑම් 500ක් රුපියල් 600ත් 700ත් අතරය. හුරුල්ලන් ග්‍රෑම් 500ක් රුපියල් 300ත් 380ත් අතරය. මේ මිල ගණන් යටතේ මාළු මිල දී ගෙන ආහාරයට ගැනීම සාමාන්‍ය ජනතාවට අපහසුය. මේ වන විට වෙළෙඳ ‍පොළේ බිත්තර යතා මිල රුපියල් 16ත් 20ත් අතරය. වෙළෙඳ ‍පොළේ වැඩි වී ඇති මිල මට්ටම් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය හෝ කිසියම් පියවරක් ගෙන ඇති බවක් නොපෙනේ. වෙළෙඳුන්ට අවශ්‍ය පරිදි වෙළෙඳ ‍පොළ පාලනය කිරීමට ඉඩ දී ආණ්ඩුව පැත්තට වී බලා සිටින සෙයක් පෙනී යයි.
ප්‍රමුඛතාවය
මේ වන විට රටේ ඉහළම ප්‍රමුඛතාව හිමිවිය යුතුව ඇත්තේ ආර්ථික වර්ධනය හා සංවර්ධනය කෙරෙහිය. ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ආකාරයට
කළමනාකරණය කිරීමට ආණ්ඩුව දක්ෂ විය යුතුය. එහෙත් වගකිව යුත්තන්ගේ ඉහළම අවධානය  යොමුව ඇත්තේ තම තමන්ගේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීම කෙරෙහිය. බලය තහවුරු කර ගැනීමේ අපේක්ෂාව පෙරදැරි කොටගෙන මැති ඇමැති තනතුරු අලුතින් ලබාදීමට ඇති උනන්දුව වෙළෙඳ ‍පොළේ භාණ්ඩ  හා සේවා මිල පාලනය කිරීමට නොමැතිවීම කනගාටුවට කාරණයකි. නව රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් නඩත්තු කිරීමට  වැය වන්නේද ජනතාවගේ බදු මුදල්ය. අද රටේ ප්‍රධාන ගැටලුව වී ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව නොව වේගයෙන් ඉහළ යන ජීවන වියදම පාලනය කරන්නේ කෙසේද යන්නය. ඒ සඳහා වේගවත් ආර්ථික වර්ධන වේගයක් තිබිය යුතුය. අවාසනාවකට රටට නැත්තේද එයයි.
සාලිය ජනක කුමාර