ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව ඔප්පු කළොත් වියන්ගොඩ ඉවත් වෙන්න සූදානම්

තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ඔහුට අනුබද්ධ සමාගමකින් මුදල් අරගෙන ඇති බවට ඔප්පු කරන්නේ  නම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වයෙන් ඉවත්වීමට සූදානම් බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම් කරු දඹර අමිල හිමියන් ප්‍රකාශ කළේ මෙම හයිය නිවැරදි භාවයේ ශක්තියක් බවයි.

එහිදී ගාමිණී වියන්ගොඩ මහතා මෙසේ අදහස් දැක්වීය.

“විශාල ආකාරයෙන් අභියෝගයට ලක් කරන්නට පුළුවන් ක්‍රමයක් තමයි මේක. අහවලත් සල්ලි අරන් තියෙනවායි කිව්වම බලාපොරොත්තු වෙනවා ඒ අහවලා මීට පස්සේ කියන කිසිදෙයක් මේ සමාජය භාර ගන්න එකක් නැහැ. එතකොට මේ දේශපාලනික අරමුණ වෙන්නේ සිවිල් සමාජයේ කට වැසීමයි. ඒක හොඳටම පේනවා මේක පිළිබඳ ෆේස්බුක් එකේ යන සෑම එකක්ම ෂෙයාර් කර ගන්නේ සහ ෆෝවර්ඩ් කරන්නේ මේ ඔක්කොම කරන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායමට පක්ෂපාති පිරිස්. ඔප්පු කරනවා නම් උසාවියක් ඉදිරියේ විතරක් නෙවෙයි නැතත් මන් කියනවා, උසාවියට යනකන් අපි ඉන්න ඕනේ නැහැ. ඔප්පු කරනවා නම් ඊට මෙහා තැනකදී ගාමිණී වියන්ගොඩ මෙන්න මෙච්චර මුදලක් ඇලෝසියස්ගෙන් හෝ ඔහුට සම්බන්ධ පුද්ගලයෙක්ගෙන් අරන් තියෙනවා කියලා, අර විදියේ සමාජයට පිළිගත හැකි සාක්ෂි මත ඉදිරිපත් කරනවා නම් මම මේ සිවිල් ක්‍රියාකාරීත්වයෙන් අයින් වෙනවා.”