ජපානය දියුණු වුණේ අලුත් අදහස්වලට තැන දීපු නිසයි

ජීවිත ගමනේ ශතකය ලබන්නට ඔහුට තවත් ඇත්තේ අවුරුදු හයකි. ජීවිතයේ සැදෑ සමය සලකුණු කරන චර්ම රේඛා ඔහුගේ වියපත් මුහුණට ආලෝකයක් ගෙන දෙන්නා සේ ය. මා ඔහු හමුවන්නේ පේරාදෙණිය සරසවි පීඨ යාන්ත්‍රික ඉංජිනේරු පර්යේෂණාගාරයක් තුළදී ය. මා යන විටත් සරසවි යෞවන යෞවනියන් පිරිසක් වටකර ගනිමින් දේශනයක් දෙමින් සිටි ඔහු එය අවසන මා හමුවීමට ඒ පර්යේෂණාගාරයේ ඉහළ මාලයේ තම කුටිය වෙත යන්නේ කිසිදු පුද්ගලයකුගේ වාරුවකින් තොර ව සෘජු කාය විලාසයකිනි. තවමත් හපන්කම් පාන මේ ජපන් ජාතික පර්යේෂකයා ආචාර්ය ටොමිජි වටාබේ ය. මෙතරම් වියපත් වයසක පසුවුව ද ඔහුගේ සිත තවමත් ඇත්තේ වැඩපළවල ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් දියත් කරනු ලැබ ඇති මුහුදු රල උපයෝගි කරගෙන බලශක්තිය නිපදවීමේ පර්යේෂණ ව්‍යාපෘතියකට තම දැනුම දායක කිරීම ජපානයේ සිට පැමිණ සිටින මේ අපූරු විද්වතා සිළුමිණ වෙනුවෙන් සංවාදයකට යොමු කර ගන්නට අපට හැකි විය.

අප කැමැතියි ඔබෙන්ම ඔබ ගැන හැදින්වීමක් ලබා ගන්න

– මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක් ඉංජිනේරු ආචාර්යවරයෙක් . පාසල් කාලයේ ඉඳන් ම ප්‍රගුණ කළේ මේ ශිල්පය. කාලයක් මම ජපානයේ සුප්‍රකට හිතාචි සමාගමේ සේවය කළා. එහි ආධුනිකයෙක් වශයෙන් සම්බන්ධ වෙලා අවසානයේ ඉංජිනේරුවකු දක්වා ම ඉහළට ගියා. නව නිර්මාණ පේටන්ට් 150ක් විතර මගේ නමට තිබෙනවා. ඒ තරම් පර්යේෂණ මා කළා. වයස අවුරුදු පනහ පමණ වෙද්දී ටෝකියෝ ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙසත් ජපානයේ මියුරෝරාන් තාක්ෂණ ආයතනයේ මහාචාර්යවරයකු ලෙසත් සම්බන්ධ වුණා. ඊට පසුව දිගින් දිගට ම බලශක්තිය , ඉංජිනේරු තාක්ෂණය ආදිය සම්බන්ධයෙන් පර්යේෂණ රැසකට දායකත්වය ලබා දුන්නා. ඒ අනුව දැන් මම අවුරැදු 75කට වැඩි කාලයක් මේ ක්ෂේත්‍රෙ‍ෙය් වැඩ කරනවා .

එහෙමනම් ඔබට ජපානය ගැන හොඳ අත්දැකීම් රැසක් ඇති?

ඔව්. මම දෙවැනි ලෝක යුද්ධයේදී ඒ යුද පරිසරයට මුහුණ දුන්නා. අමාරුකම් මැද ජීවත් වුණා. ඉගෙන ගත්තා. යුද්දෙන් පස්සේ ආයෙත් ජපානය නැඟිටිද්දී ඒ සංවර්ධනයටත් දායක වුණා. එහෙම බලද්දී ජපානය අද ඉන්න තැනට එන්න වැඩ කළ හැටි ගැන හොඳ අවබෝධයක් ලැබුණා.

දෙවන ලෝක යුද්දේ කාලේ සිහි කළොත් ?

මම ඉපදුණේ 1927 දී මට අවුරැදු 12ක් 13ක් යනකොට යුද්දේ පටන් ගත්තා. මේ කාලේ අපි පාසල් යනවා. රටේ ම යුද මානසිකත්වයක් ගොඩනැඟුණා. මට ඒ කාලේ හිතුණෙ ම අපි ඉපදිලා තියෙන්නේ යුද්ධ කරන්න කියල. මම ඉගෙන ගත්ත ඉස්කෝලේ ගුරුවරු අපට කිව්වේ තනිකරම යුද්ධ කරන එක ගැනමයි. මොකක් ඉගෙන ගත්තත් අන්තිමේදී යුද්ධ කරන්න වෙන බව ඔවුන් කීවා.

මේ කාලේ බොහොම බියකරැ පරිසරයක් තිබුණේ . යුද්දෙ පටන් ගත්ත මුල් ම කාලේ ඇමෙරිකානු අහස් යානා ආවේ ගොඩක් උඩින් මම එතකොට හිටියේ ටෝකියෝවේ. අහස් යානා එකින් එක ඉතා උඩින් එනවා. ජපන් හමුදාව මේ ගුවන් යානාවලට වෙඩි තියනවා. නමුත් ඒ වෙඩි අතරමඟදී පුපුරලා යනවා. අපි මේ ගුවන් යානා එනකොට භූගත බංකර් යට හැං‍ෙඟෙනවා. පස්සේ කාලේ මේ ගුවන් යානා බොහොම පාතින් මහා හඩක් නංවාගෙන ඇවිත් බෝම්බ දාලා ගියා. අපි එක ම වාසිය මේ යානා ඔක්කොම එකවර ආවේ නෑ. එකක් එනතොට අපි ඉක්මනට හැඟෙන තැන්වලට යනවා. මේ කාලේ අපි අධ්‍යාපනයත් කරගෙන ගියා .මට ගුරුවරු උපදෙස් දුන්නේ මිලිටරි පාසලට යන්න. නමුත් මගේ ඇස් පෙනිම දුර්වලයි කියල මාව එයට තේරුණේ නෑ. ඒ කාලේ ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා මුල්ම තේරීම වුණේ වයස අවුරුදු 14න් විතර. මම ඒ විභාගේ අසමත් වුණා. ඊට පස්සේ කළේ ගුවන් යානා පාසලක පුහුණු වෙන්න ගියා. මට ආසාව තිබුණේ ගුවන් නියමුවෙක් වෙන්න. ඒත් මාව තේරුණේ ගුවන් යානා අලුත්වැඩියා කාර්මිකයකු ලෙස ඉගෙන ගන්න. මම ඊට එච්චර ආසා වුණේ නෑ. ඊට පස්සේ මට හිතාචි කර්මාන්ත ශාලා‍ෙව් ආධුනිකයකු හැටියට පුහුණු වෙන්න අවස්ථාවක් ලැබුණා. නැවත හමුදාවට බැ‍ෙඳන්න කතා කළා. නමුත් මට හිතාචි සමාගමේ උපදේශකයෙක් කිව්වේ හමුදාවෙ හිටියත් එකයි හිතාචි එකේ හිටියත් එකයි යුද්දෙදී අපට ඒකට සම්බන්ධ වෙන්න වෙනවා ඔයාගේ ඉංජිනේරු කුසලතා නිසා දිගටම හිතාචි එකේ ඉන්න කියල. ඒ අනුව මම දිගටම හිතාචි සමාගමේ බොහෝම ප්‍රාථමික කටයුතුවල ඉඳල සම්බන්ධ වුණා.

කුඩා කාලයේ ඇසුරු කරපු සමකාලීන මිතුරෝ යුද්දෙට සම්බන්ධ වෙන්න ඇති නේද?

ඔව් . ඔව්. මම අර කිව්වනේ ගුවන් යානා පුහුණු පාසලක් තිබුණා කියල. ඒකේ ගුවන් යානා පදවන්න පුහුණු කරපු ළමයින් බොහෝමයක් මරාගෙන මැරෙන බෝම්බ රැගත් ගුවන් නියමුවන් බවට පත් වුණා. ඒ වෙනකොට ඔවුන්ගේ වයස අවුරැදු 17ක් 18ක් ඇති. මගේ යාලුවන් කිහිප දෙනකුත් මේ විදිහට අවසන් ගමන් ගියා. මට මතක විදිහට ඒ කාලේ හිටිය මරාගන මැරෙන ජපන් ගුවන් නියමු බලඇනියේ වැඩිමහල් ම සාමාජිකයාගේ වයස අවුරැදු 22යි. අනෙක් ඔක්කොම ඊට අඩු වයස්වල.ඔවුන් ඉතාම කැමැත්තෙන් තමයි ඒකට සහභාගී වුණේ.

ඔවුන් යුද්දේ කාලේ අතරමැද හදිසියේ නිවෙස්වලට එනවා. එන්නෙත් යුනිෆෝම් එකෙන්මයි. ඉතින් පළාතේ මිනිස්සු ඔවුන් ට ලොකු ගරුත්වයක් දැක්වූවා.

ඒ කාලේ ජපානයට වුණු විනාශය ගැන මතකයක් තිබෙනවාද?

ඔව්. විශාල විනාශයක් වුණා. හැම ගෙදරකම වගේ බංකර් තිබුණා. එහෙම වුණත් සමහර අවස්ථාවල මිනිස්සු බංකර් ඇතුළෙ ම පිච්චිලා මැරුණා. ඇත්තට ම ජපාන මිනිස්සු මේ යුද්ධයට මැදි වුණේ නිරපරාදේ. එය ජපානයට වුණු වැරැද්දක්. මේ වරැද්ද කළේ ජපාන අධිරාජ්‍යයා. එහෙම වුණත් මිනිස්සු ජපාන අධිරාජ්‍යයට එරෙහිව ගියේ නෑ. ඔවුන් රටක් ලෙස එය විඳ දරා ගත්තා. නමුත් ජපාන ජනතාව හිටිය එදා ඉඳන්ම තදින්ම සිටිය මතයක් තමයි යළිත් ජපානය මේ වගේ අවාසනාවන්ත යුද්ධයකට ගොදුරු නොවිය යුතුයි කියලයි.

ජපානය මේ යුද්දෙන් පස්සේ දියුණු වෙන්න බලපෑ ප්‍රධාන සාධකය කුමක්ද?

ලෝකය ම මෙහිදී දකින්නේ ජපානය දියුණු වුණේ මහන්සි වෙලා වැඩ කිරීමෙන් කියලයි. ඒකේ වරදකුත් නැහැ. නමුත් මම විශ්වාස කරන්නේ ජපානය වේගයෙන් දියුණුවෙන් බලපෑ ප්‍රධාන සාධකය වුණේ අලුත් අදහස්වලට තැනක් දීම කියලයි. ඔවුන් වැඩිපුර නව අදහස්වලට තැන දුන්නා. නව නිර්මාණ අලුත් ක්‍රමවේද ආදියෙන් රටේ සෑම අංශයක ම කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු යෙදුවා. සමාගම්වලින් පුද්ගලික අංශයෙන් පර්යේෂන සහ සංවර්ධන කටයුතුවලට මුදල් වැය කළා. මම වැඩ කළ හිතාචි සමාගමත් මේ විදිහට නව පර්යේෂණවලට වැඩි කාලයක් මුදලක් වැය කළ සමාගමක්.

අනෙක ජපන් අධිරාජ්‍යයා ඇමෙරිකාවෙන් සමාව ගත් නිසා ඇමෙරිකාවත් ජපානයේ සංවර්ධනයේදී පසු කාලීනව යම් සහයක් දැක්වූවා.

ජපානය යුද්දෙන් පස්සේ ප්‍රතිපත්තිමය වශයෙන් මොන වගේ පියවර ද ගත්තේ?

මුලින් ඇමෙරිකාවටත් ඕන වුණේ ජපානය පූර්ණ ප්‍රජාතන්තවාදී තත්ත්වයක දුවන්න. නමුත් මේ සමඟ වුණු දෙයක් තමයි ජපානයේ කම්කරු සංවිධාන ශක්තිමත් වීම. වාමාංශික කඳවුර ජපානය තුළ ශක්තිමත් වීම වගේ දේවල්. නමුත් එය දේශපාලනික වශයෙන් රුසියානු හිතකර පසුබිමක් නිර්මාණය වුණා. නමුත් ජපානයටත් ඇමෙරිකාවටත් මේ සඳහා අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ නිසා ඒ පසුබිම මුලින්ම පාලනය කළා.

ජපානය මේ සමඟ අනුගමනය කළ තවත් පියවරක් තමයි රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ලිහිල් නොකිරීම. විදේශයෙන් එරට විදෙස් සංචිත ආරක්සා කර ගන්න වැඩ කළා. භාණ්ඩ ආනයනය සීමා කළා. සල්ලි තිබුණත් මිනිස්සුන්ට ඕන විදිහට බඩු භාණඩ ගැනීමේ අවස්ථාවක් මුලදී තිබුණේ නෑ. ඔවුන්ට සලාක ක්‍රමයකට තමයි භාණ්ඩ මිල දි ගන්නට අවස්ථාව ලබා දුන්නේ. තමන් මාසෙකට වියදම් කරන්න ඕන මුදල වගේ දස ගුණයක් ඔවුන් ඉපැයිය යුතුය යන සංකල්පය ගෙනාවා. එයින් මිනිස්සු වැඩි වැඩියෙන් උපයන්න මහන්සිවෙලා වැඩ කරන්න ගත්තා. අනෙක් අතින් රටේ කෘත්‍රිම ව උද්ධමනයක් ඇති කළා. මෙම උද්ධමන තත්ත්වය රටේ නිෂ්පාදිත භාණ්ඩ විදේශයන්ට විකිණීමේ දී අපනයනකරුවන්ට හිතකර තත්ත්වයක් අති වුණා.

මේ අතරේ කර්මාන්ත දියුණු කිරිමට අවශ්‍ය සියලු නව අදහස් සැලසුම් දියත් කළා.

ඔබ කොහොමද මේ කාලේ හිතාචි සමාගමේ වැඩ කළේ?

අපේත් සෑම නිර්මාණයක ම ප්‍රධාන අරමුණ වුණේ කාර්යක්ෂමතාව වැඩි කිරිම. ඔබ දන්නවා ලංකාවෙත් තිබෙනවා හිතාචි දුම්රිය එන්ජින්. මෙම දුම්රිය එන්ජින් ජපානයට ගැළපෙන ලෙස සංයුක්ත යාන්ත්‍රණ ක්‍රමවේදයකට දියුණු කිරිමේදී අපිටත් සැහෙන්න වෙහෙසි වැඩ කරන්න වුණා. නිතර නිතර අත්හදා බලමින් අලුත් නිර්මාණයන් කරමින් මේ වැඩවල අපට යෙදෙන්න වුණා. සාමාන්‍යයෙන් මුල් කාලයේ අපි සතියකට පැය 100ක් 125ක් වැඩ කළා. සමහර දවස්වලට මම ගෙදර ගියේවත්නෑ. කාර්යාලයේ මුල්ලක තිබුණු පොඩි ඇඳක ටිකක් වෙලා නිදාගෙන ආයෙත් වැඩ කළා.

අපි නිවාඩු ගත්තේ නැති තරම්. මම හිතාචි සමාගමේ වැඩ කරනකොට අහම්බෙන් නිවාඩුවක් ලැබුණ දවස අද වගේ මතකයි. එදා වැඩ වර්ජනයක් නිසා මට වැඩට යන්න බැරිවුණා. මේ නිසා මම බිරියයි ළමයි දෙන්නනයි එක්ක එදා ට්‍රිප් එකක් ගියා. මේක මතක හිටින්නේ අපි වැඩ නොකළ දවස් ඒ තරම්ම අඩු නිසයි.

ජපනුන්ට වැඩ කිරීමේ හොඳ සංස්කෘතියක් තිබෙනවා . තමන්ට දෙන ඉලක්කය සපුරා ගන්න බැරි නම් එය ඔවුන්ට මඳිකමක් කියලයි හිතන්නේ. ඒ නිසා ඔවුන් තමන්ට පවරන කාර්යය අංක එකට තියල පුදුම කැපවීමකින් වැඩ කරනවා. එය ජපන් සංස්කෘතියයි.

ඔබ විශ්වාස කරන ආකාරයට ජපානයේ දියුණුවට බලපෑ ප්‍රධානතම සාධකය කුමක්ද?

වෙන මොකක්වත් නෙවෙයි ජපානයේ අද්විතීය අසම සම චින්තන රටාව. සෑම විටෙක ම අලුත් අදහස්වලින් දියුණු වෙන්න බැලිම.

සමහරු කියනවා ජපානය බටහිරින් කොපි කරනවා කියල . ඒක වැරදියි. ජපානය හැමවිටෙකම පවතින දෙයට වඩා උසස් දෙයක් දියුණු කළ දෙයක් තමයි ලෝකයට දෙන්නට බලන්නේ. අපි සාර්ථක වුණු සෑම ක්ෂේත්‍රයක ම මෙම ලක්ෂණය තිබෙනවා.

දියුණුවට බලපෑ අනෙක් කරුණ ජපානය සෑම භාණ්ඩයක් ම නිෂ්පාදනය කරද්දී අඩු වියදමකින් උසස් ම ගුණාත්මක බව ලබා දෙන්නට උත්සාහ කළා. අපේ නව නිර්මාණ බොහෝමයක ඉලකක්ය වුණෙත් එයයි.

අපේ රටේ වැඩකරන තැන්වල බොහෝ අදහස් ක්‍රමවේද දියුණුවෙලා තිබෙන්නේ පහළ සිට ඉහළට. එයින් ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම ධුරාවලියක පහළ ම සිටින පුද්ගලයාටත් තමන් කරන කාර්යයේ බරපතලකම වගකීම ගැන අවබෝධයක් ඇති වෙනවා. ඔවුනුත් මේ ක්‍රියාවලියේ කොටස්කරුවන් කියන අදහස ඔවුන්ට තිබෙනවා.

අධ්‍යාපනයේදි වේවා, නිෂ්පාදන ක්‍රියාවලියේදි වේවා වාණිජ ප්‍රතිපත්ති හෝ ඕනැම ක්ෂේත්‍රයක ගැටලු නිසි ලෙස හඳුනා ගැනීමේ ඒවා වාර්තා කිරිමේ සහ ඊට අදාළ නිසි විද්වත් විසදුම් ප්‍රකාශයකට පත් කිරීමේ හොඳ යාන්ත්‍රනයක් ජපානයට තිබුණා. මේ නිසා ඉතා ඉක්මනින් ඕනෑ ගැටලුවකට සම්පූර්ණ විසඳුම ලබා ගන්නට පුළුවන් වුණා. එයත් රටේ තිබුණු හොඳ ලක්ෂණයක්.

ජපානය අද ලබා ඇති විශාල දියුණුව තුළ ඔවුන් බටහිර පන්නයේ ජාතියක් බවට පත්වෙලා ද? එවුන්ගේ සංස්කාතිමකය වටිනාකම් හැල්ලුවට ලක් වෙලා ද?

පිටින් බලන කෙනකුට එවැනි දෙයක් පෙනෙන්ට පුළුවන්. ජපාන ජාතිකයන් අඳින පළඳින විදිහට ඔවුන් කටයුතු කරන විදිහට ඔවුන් බටහිරකරණය වෙලා කියල. නමුත් මම නම් විශ්වාස කරන්නේ ඔවුන් අදටත් තමන්ගේ සංස්කාතිය එහි වටිනාකම් නිසි ලෙස ආරක්සාකරගෙන ජපාන සම්ප්‍රදායයන් රකිනවා කියලයි.

ඔබ ශ්‍රී ලංකාවට මෙවර එන්නේ කී වැනි වතාවට ද?

සිව්වැනි වරට.

ඔබ ශ්‍රී ලංකාවේ අනාගතය ගැන දකින්නේ කොහොමද?

ඇත්තටම මගේ පෞද්ගලික අදහස නම් ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම අනුව බැලුවා ම එය මීට වඩා බොහෝ දියුණු රටක්ව විය යුතුව තිබුණා. නමුත් රට අභ්‍යන්තර යුද්ධයකටත් වැදිවෙලා තිබුණු හින්ද වෙන්නැති එවැනි දියුණුවක් දකින්න නැත්තේ. මම දැනට වැඩිපුර සාගරය ආශ්‍රිත මුහුදු රළ මඟින් බලශක්තිය ලබා ගැනීම වැනි ව්‍යාපෘතිවල යෙදෙන නිසා පේනවා ශ්‍රී ලංකාව ආශ්‍රිත සාගරයේ විශාල ආර්ථික අවස්ථා තිබෙනවා. ධීවර, බලශක්ති ආදී විවිධ ක්ෂේත්‍ර. එහිදී අපට අලුත් අවස්ථාවනුත් පාදා ගන්න පුළුවන්. විශේෂයෙන් අපයන මත්ස්‍ය කර්මාන්තයට ගැළපෙන නිෂ්පාදන මේ සාගරය ආශ්‍රිතව කළ හැකියි. මේ වනවිට පේරාදෙනිය ඉංජිනේරු පීඨය මුහුදු රල මඟින් විදුලිය නිපදවීමේ ඉතා නව්‍ය වූ පර්යේෂණයකට අත ගසා තිබෙනවා. එවැනි පර්යේෂණ තවදුරටත් රටේ සිදුවිය යුතුයි.

අනෙක් මම හිතන්නේ ශ්‍රී ලංකාව ගන්න මෙහිදී ජපානයෙන් ඉගෙන ගන්න ඒන ලොකුම දේ තමන්ගේ රටේ සංවර්ධන මාවත තමන්ට ගැළපෙන විදිහට තමන්ට අනන්‍ය වූ ආකාරයට සකස් කර ගැනිමයි. රටට තිබෙන අවස්ථාවලින් , සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් එන විදිහට මේ සැලසුම් සිදු කර ගත යුතුයි.

විශේෂ ස්තූතිය – පේරාදෙණිය
ඉංජිනේරු පීඨයේ යන්ත්‍රික ඉංජිනේරු අංශ ප්‍රධානී ආචාර්ය ප්‍රසන්න ගුණවර්ධනට

සාකච්ඡා කළේ
චාමින්ද වාරියගොඩ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *