හදවත් රෝග වලින් මිදීමට බොහෝ දෙනෙක් නොදත් මඟක්

මිනිසාගේ හොඳම මිතුරා කවරෙක්ද? යනුවෙන් නැගෙන පැනයට ලොව පුරා බොහෝ දෙනෙකු දෙන එක්තරා පොදු පිළිතුරක් ඇත. එනම් ‘සුනඛයා‘ යන්නය. මිනිස් සුනඛ මිතුරු දම මිනිසා ශිෂ්ටාචාර ගත වීමටත් පෙර සිට අද දක්වා අඛණ්ඩව පැවැත එන බව ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වී තිබේ.

ඒ මිනිසා අනාදිමත් කාලයක සිට සුනඛයන් තම ඇසුරට ගන්නා ලදුව ඔවුන් වෙතින් තම දිවි පෙවතට ලබා ගත හැකි වු පිටිවහල නිසාය. මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ සුනඛයා මිනිසා සොයා පැමිණීමක් මිස මිනිසා සුනඛයා සොයා යෑමක් ඓතිහාසිකව සිදුවී නොමැති බවය. නමුත් සුනඛයාගේ ඒ පැමිණීමෙන් එදා මෙදා තුර මිනිසුන් හට හිමිවූ ප්‍රතිලාභ බොහොමයකි.

ඉන් මුල් තැන ගන්නේ ආරක්ෂාවය. ඊට අමතරව සුනඛයන් වෙතින් මිනිසුන් හට අත්වන ප්‍රතිලාභ රැසක් තිබේ. මේ අතර සුනඛයන් ඇතිදැඩි කිරීම මිනිසුන්ගේ හෘද සෞඛ්‍යයට යහපත් ලෙස බලපාන පුවතක් ඔබ මින් පෙර අසා තිබෙනවාද?

ඇමරිකානු හෘද සංගමය (American Heart Assocition) විසින් කරන ලද විද්‍යාත්මක ප්‍රකාශයක් මගින් පැවසෙන පරිදි මිනිසාගේ හෘද සෞඛ්‍ය නඟා සිටුවීම සේම ආයු කාලය වැඩි කිරීමට සුනඛයන්ගෙන් අප නොසිතන විස්මිත මෙහෙයක් ඉටුවෙයි.

මෙම විද්‍යාත්මක ප්‍රකාශන පුද්ගල මති මතාන්තර මත පමණක් ගොඩ නැගෙන්නක් නොවේ. විවිධ විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඒකරාශී කිරීමෙන් ඇති කර ගන්නා පොදු සම්මුතියක් මත සකස් කෙරෙන මෙම ප්‍රකාශ අතිශයෙන් වගකීම් සහගතය. ඒවා ලොව පුරා පොදු පිළිගැනීමට ලක් වනුයේ එබැවිනි. එම වාර්තා වල සඳහන් වන ආකාරයට සුනඛයන් ඇති කිරීම මුලික වශයෙන් මිනිසුන්ගේ හෘද සෞඛ්‍යය කෙරෙහි බලපාන ආකාර තුනකි.

හෘදයාබාධ වලට බලපාන අවදානම් සාධක අවම කිරීම සුනඛයන් වෙතින් මිනිසුන් වෙත හිමි කෙරෙන ස්වභාවික ප්‍රතිලාභයකි. විශේෂයෙන් රුධිර පීඩනය සහ ස්ථුලතාවය අවම කිරීම තුළින් ඒ සඳහා ලබා ගන්නා ඖෂධ ප්‍රමාණය අඩුවීම එම සුනඛයා මුල් කොට සිදු කරන ඇවිදීම ආදී ශාරීරික ක්‍රියාකාරකම් නිසා හෙලන දහඩිය ප්‍රමාණය වැඩිවීම සහ එම සත්වයා හා සම්බන්ධ වී සිදු කරන නිසා එම ක්‍රියාකාරකම් කෙරෙහි මිනිසා තුළ ඇති මැලිබව දුරුවීම හා එමගින් කායික මානසික යහපැවැත්ම කෙරෙහි සුභවාදී බලපෑමක් ඇති වන ආකාරය ඇමරිකානු හෘද සංගමය සිය වාර්තාවල සඳහන් කොට ඇත.

එමෙන්ම මානසික ආතතිය පාලනය වීම ශරීරයට අහිතකර හැගීම් හා ආවේග පාලනය කිරීම නිසා ශරීරයට

අහිතකර ජෛව රසායනික ක්‍රියාකාරීත්වයන් අවම වීම සුනඛයන් ඇති කරන්නවුන් තුළ අඩුවෙන් දක්නට ඇති බව එම විද්‍යාත්මක ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නමුත් මේ සම්බන්ධයෙන් අපගේ නූතන ජන සමාජය දැනුවත්ව නොමැත.

මෙහිදී අප අතීත ජන සමාජයේ පැවැති ඉතා උතුම් සිරිතක් පිළිබඳ මගේ සිහියට නැගේ. අතීත ගැමියා තම බත්

පත බෙදා ගත්තේ ඉන් කොටසක් නිවසේ ඇති දැඩි කරන සුනඛයාටද දීමේ අරමුණෙනි. එනිසා ඔහු තම කුස පුරවා ගැනීම වුව සිදු කළේ ද කිසියම් සදාචාරාත්මක පදනමක් ඔස්සේය. එම සිතුවිලි පාලනය ඔහුගේ ජීවන යහපැවැත්ම කෙරෙහි සුභවාදී බලපෑමක් එල්ල කිරීමට සමත් විය.

නොයෙසේ නම් එමගින් ඔහු තුළ ඔහු ආහාර පාලනයක් නිරායාසයෙන් සිදුවූ අතර එය තරබාරුව පිටු දකින කදිම උපාය මාර්ගයක් විය. වර්තමානයේ දී සුනඛයන් ඇති කරන්නවුන් බොහෝ විට තමන වෙත ලැබෙන ආහාර වලින් කොටසක් සුනඛයාට ලබා දීම නිසා ස්ථුල භාවය පාලන කර ගැනීමට ඔවුනට හැකිව තිබේ.

එය සුනඛයන් කෙරෙන් මිනිසාගේ ශාරීරික යහ පැවැත්ම කෙරෙහි හිමිවන මාහැගි වරප්‍රසාදයකි. ඒ කෙසේ හෝ සුනඛයන් ඇති කරන අතරේ අධික තෙල් ලුනු සීනි භාවිතය දුම් පානය ආදී හෘද රෝග කෙරෙහි බලපාන සෙසු අවදානම් සාධක පිටු දැකීමේන් හෘද රෝග වලින් වැලකී දිගු කලක් ජීවත් වීමේ වාසනාව ඔබ සතු වනු ඇත.

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ නිවසේ ඇතිදැඩිකර ගැනීම සඳහා සුනඛ පැටවෙකු තෝරා ගැනීමේදී ‘වෙළඳපොළ‘ වෙත නොගොස් නිවසකින් මහමඟට ඇද දමන ලද සුනඛ පැටවෙකු තෝරා ගැනීම ඔබේ හදවතේ උතුම් මිනිස් කම රෝපණය කරවන්නක් බවය. එසේ අසරණ ලෙස මහමඟ සිට ගෙනවුත් ඔබ හදා වඩා ගන්නා සුනඛ පැටවා කෙමෙන් නීරෝගීමත්ව ලොකු මහත් වන අතරේ ඔහු මුළු ලෝකයටත් වඩා ඔබට ආදරය කරනු ඇත.

ඒ ආදරය මිනිසුන් වෙතින් ඔබට ලබා ගත හැකි නම් ඒ ඉතා කලාතුරකිනි.

රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවන ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ විසිනි.