සකුරා රේන්ජ් ට මොකද වුණේ…? – අජිත් මුතුකුමාරණ සියල්ල හෙළිකරයි…

සකුරා රේන්ඡ් කිව්වාම කවුද නොදන්නේ. ඒ වගේමයි අජිත් මුතුකුමාරණ කියන නමත්… කණ්‌ඩායම් සංගීතයේ බොහෝ අත්දැකීම් තියෙන අජිත් එක එක කාලයට එක එක විදියෙ ගීතවලින් රසික සිත්වලට කතා කළා.

පහුගිය දවසක ලැබුණු ආරංචියක්‌ ගැන අහන්න මීවිත අපි අජිත්ට කතා කළා. ඔහු කිව්වෙත් ඒක ඇත්ත කියලා. නමුත් තාවකාලිකව කියලත් කිව්වා. අපි අහපු

දේත් අජිත් කිව්ව දේත් අපි ඔයාලට කියන්නම්.

මොකක්‌ද මේ සකුරා රේන්ඡ් සංගීත කණ්‌ඩායමේ අවුල?

ඇත්තටම සකුරා රේන්ඡ් සංගීත කණ්‌ඩායම ඇතුලෙ ලොකු අවුලක්‌ නෑ. සංගීත කණ්‌ඩායමක සාමාන්‍යයෙන් ඇතිවෙන දෙයක්‌ තමයි වුණේ.

නමුත් ඔබ කණ්‌ඩායමේ සියලු සාමාජිකයන් ඉවත් කළා?

sakura3

ඔව්. මට ඔවුන් ඉවත් කරන්න සිද්ධ වුණා.

කවදද මේ සිද්ධිය වුණේ?

පසුගිය 23 වැනිදා අපි නුවර ප්‍රසංගයකට සහභාහි වෙලා ආවා. පසුවදා 24 වැනිදා උදේ ඔවුන්ව කණ්‌ඩායමෙන් ඉවත් කළා.

මොකක්‌ද සිද්ධ වුණේ?

මෙහෙමයි… කෙටියෙන්ම කිව්වොත් මෙතන සිද්ධ වුණේ කළමනාකාරිත්වය නායකත්වයට අවනත නොවීම. ඒ වගේම එයාල යෝජනාවක්‌ ගෙනාව අජිත්, සුජීවා, රෝසි කියන තුන්දෙනා නැතුව එයාලට බෑන්ඩ් එක ගෙනියන්න දෙන්න කියලා. එතනින් එහාට එයාලට ලැබෙන පඩිය ගැන ප්‍රශ්නයක්‌ මතු කළා. මුදල් අරගෙන සමහර ප්‍රසංගවලට සහභාගි වුණේ නෑ. ඒ වගේම කලට වේලාවට පුහුණුවීම්වලට ආවේ නෑ. මේ සියල්ල සැලසුම් සහගතව සියලු දෙනාම එකතු වෙලා කළ දේවල්.

sakure4

ඔවුන් ඔබේ නායකත්වය පිළිගන්න කැමති වුණෙත් නෑ?

නෑ… නෑ… නායකත්වය පිළිගන්න කැමතියි. නමුත් එයාලට ඕන වුණේ වෙනම ගමනක්‌ යන්න.

ඔබටයි කේ. සුජීවාටයි වේදිකාවට නගින්න දුන්නේ නෑ කියන්නේ ඇයි?

කලාකරුවන්ට වෙනම තක්‌සේරුවක්‌ තියෙනවා. මම නායකයා වුණත් මටත් වෙනම තැනක්‌ තියෙනවා. කේ. සුජීවාටත් එහෙමයි. ඒ නිසා අපි වේදිකාවට ගොඩ වුණාම එයාලට වැඩ පෙන්වන්න බෑ කියල තමයි කිව්වේ.

ඔවුන්ට යම් කෙනෙකුගෙන් අනුබලයක්‌ ලැබුණද?

අනුබලයක්‌ ලැබුණද කියල නම් කියන්න බෑ. එක එක්‌කෙනා එක එක දේවල් කරන්න ගත්තා.

සංගීත කණ්‌ඩායමේ කළමනාකරු මේ ගැන දැනගෙන හිටියද?

ඔව්. එයා දැනගෙන හිටියා. එයා ආවේ ගියේ කෑවේ බිව්වේ එයාලත් එක්‌ක. මගේ ආයතනය. මගේ කළමනාකරු. නමුත් මං පත් කළේ වැරදි කෙනෙක්‌ කියල මට දැන් හිතෙනවා.

ටික කාලෙක ඉඳන් කණ්‌ඩායම ඇතුළෙන් ඔබට කැපිල්ලක්‌ ආවා කියන්නේ?

එහෙම ලොකු කාලයක්‌ වුණේ නෑ. ඒ අය එකිනෙකා අඳුනගන්නත් කාලයක්‌ ගියා. මේ කවුරුත් ජනප්‍රිය මට්‌ටමේ හිටපු අය නෙමෙයි. කණ්‌ඩායමට සම්බන්ධ වෙලා අවුරුද්දක්‌ ඇතුළත ක්‌වේට්‌ රටේ ප්‍රසංගයකට එක්‌කගෙන ගියා. ලෝකය පෙන්නුවා. එයින් පස්‌සේ එයාලට මුල අමතක වුණා.

කේ. සුජීවා සංගීත කණ්‌ඩායමේ කටයුතුවලට මැදිහත් වුණාද?

සුජීවා කිසිම දේකට මැදිහත් වෙලත් නැහැ, මැදිහත් වෙන්නෙත් නැහැ.

ඇය වේදිකාවේ හැසිරෙන විදිහ ගැන සාමාජිකයන්ගේ කැමැත්තක්‌ තිබුණේ නෑ?

සුජීවා කියන්නේ සෑම අතින්ම දක්‍ෂ කලාකාරිනියක්‌. භාෂා ගණනාවකින් ගීත ගායනා කිරීමේ හැකියාවක්‌ ඇය සතුයි. ඒ වගේ දක්‍ෂතා තියෙන අය ලංකාවටම ඉන්නේ තුන්දෙනයි. ඇයගේ සම්බන්ධ වීම ගැන කණ්‌ඩායමක්‌ හැටියට සතුටු වෙන්න ඕනෑ. නමුත් පැහැදිලිවම ඔවුන් ළඟ තිබුණේ කුහකත්වය. නැතිව ඇයගේ හැසිරීම ගැන නෙමෙයි.

අජිත් මුතුකුමාරණට ලොකු පාඩුවක්‌ සිද්ධ වුණා?

නෑ… කොහෙත්ම නෑ… මේ තත්ත්වයට එන්න මම ගොඩක්‌ දුක්‌වින්ඳ. ගිටාරය ඔලුවට තියාගෙන මාතර ටවුමෙ නිදාගත්තා. නමුත් අද සංගීත කණ්‌ඩායම කියන්නේ මගේ ව්‍යාපාරවලින් එකක්‌ විතරයි. මෙතනින් සංගීත කණ්‌ඩායම නවත්තල දැම්මත් මට කිසිම පාඩුවක්‌ නැහැ. නමුත් මම සංගීතයට ගොඩක්‌ ආදරෙයි.

සාමාජිකයන් සියලු දෙනාම කණ්‌ඩායමෙන් ඉවත් කළා. නීතිමය පැත්තෙන් ඔබට ගැටලුවක්‌ මතු වන්නේ නැද්ද?

අවස්‌ථාවේ හැටියට සිදුකළයුතු දේ තමයි මම කළේ. නීතිමය පැත්තෙන් ගැටලුවක්‌ මතුවුණත් මම ඒ දේ කරනවා.

ඉදිරියට බාරගත්ත ප්‍රසංගවලට මොකද වෙන්නේ?

ඉදිරියට මම කිසිම ප්‍රසංගයක්‌ බාර අරගෙන නැහැ.

මොකක්‌ද දැන් සකුරා රේන්ඡ් අලුත්ම තත්ත්වය?

ඇත්තටම මේ වෙනකොට ලංකාවේ ප්‍රසිද්ධම සංගීත කණ්‌ඩායම් හතරක්‌ මගෙත් එක්‌ක සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම මාත් එක්‌ක ඒ ගැන සාකච්ඡා කළා. නමුත් සදාචාරාත්මක ප්‍රශ්නයක මත අතරමංවෙලා ඉන්නේ. කොහොම වුණත් තව දවස්‌ කිහිපයක්‌ ඇතුළත අවසන් තීරණයක්‌ ගන්නවා.

මහේෂ් එදිරිසිංහ

ඡායාරූප – සුජාතා ජයරත්න