සුනඛයන්ට බියෙන් තනිව පාසල් යාමට නොහැකි වූ ගීතිකා ටීචර්

ගීතිකාට මුල්ම ගුරුපත්වීම ලැබුණේ රජරට දුෂ්කර ගම්මානයක පිහිටි කුඩා පාසලකටය. ඇය නතරවී සිටියේ ඊට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගමේ ප්‍රභූ නිවසකය. එම නිවසේ සිට පාසල දක්වා වැටී තිබුණේ ගුරුපාරකි. පාළු වැව් පිටියක්, ප්‍රජා ශාලාවක්, කුඩා කඩ දෙකතුනක් සහ පැරණි විහාරස්ථානයක් ඇය පාසලට යන මඟ දෙපස තිබිණ.

දිනපතා පෙරවරු 7.00 ට පමණ නිවසින් පිටත් වන ගීතිකාට එම පාසල වෙත පියනැගීම අතිශය දුෂ්කර කටයුත්තක් විය. එනම් එම වැව්පිටියේත්, ප්‍රජාශාලාව අද්දරත්, කඩමණ්ඩිය ඉදිරිපිටත්, විශේෂයෙන් පැරණි විහාරස්ථානය ඉදිරියේත් සුනඛයන් රංචු පිටින් දක්නට ලැබීමය.

සාමාන්‍යයෙන් ගමනක් බිමනක් යන විට මහ මඟ දී සුනඛයෙකු දක්නට ලැබුණහොත් තමන් අසලින් ගමන්ගන්නාට මුවා වී ඒ ගමන යාම ගීතිකාගේ පුරුද්දකි. එහෙත් උදේ පාසල් යන විට මඟ තොට කිසිවෙකු නොවීම නිසා ඇයට එම සුනඛයන් අතරින් යාමට සිදුවනුයේ තනිවමය. එසේ යාමේ දී තම සිරුර වෙව්ලීම, දහඩිය දැමීම, ශ්වසනය අපහසුවීම ආදී අපහසුතා රැසක් ඇයට දැනේ. එනිසා ගීතිකා බොහෝවිට කරනුයේ පාසල් යන ගමනේ දී අතරමඟ නතරවී පාරේ යන පාපැදියක් හෝ මෝටර් සයිකලයක් නතරකරවා එයට නැගීමය. එසේ නොමැති වුවහොත් එම ප්‍රදේශයේ පාසල් යන කුඩා දරුවෙකු හෝ දැරියක කැඳවාගෙන ඇයට මුවා වී පාසල් යාමය. කෙසේ හෝ ගුරුවරුන් කිහිප දෙනෙකුට සීමා වූ ‍එම පාසලේ සිසුන් හා ගුරුවරුන් අතර‍ සේම ඔවුන්ගේ දෙමාපියන් අතරද ගීතිකා ගුරුතුමියගේ මෙම ‘සුනඛ භීතිකාව’ ප්‍රසිද්ධ විය.

මෙහිදී මෙම භිතිකාවට මුල් වූ සිද්ධියක් ද ඇගේ මතකයේ රැඳී තිබිණ. එනම් ඇය කුඩා කාලයේ අද්දර නිවසකට යමින් සිටියදී පිටිපසින් පැමිණි සුනඛයෙකු ඇගේ නිතඹ ප්‍රදේශය සපා කෑමය. ඉන් එම ප්‍රදේශය තුවාල වූ ආකාරයත්, රුධිරය වැගිරුණු ආකාරයත්, පසුව රෝහලකට ගොස් එම තුවාලයට මැහුම් දමා ප්‍රතිකාර කිරීමට සිදුවූ ආකාරයත් ජල භීතිකා එන්නත විදීන්නට සිදුවූ ආකාරයත් ඇයට හොඳින් මතකය.

ඇගේ මෙම සුනඛයන් පිළිබඳ භීතිය එම සිදුවීමත් සමඟ සම්බන්ධ බව ගීතිකාට හොඳින් මතකය. කෙසේ හෝ මෙය තමන්ගේ එදිනෙදා කටයුතු වලට බාධාවක් සේම මෙය මුල්කරගෙන සමාජ කතිකාවක් පැණනැගී ඇති බවත් වටහාගත් ගීතිකා පාසල් නිවාඩුවකට ගමට පැමිණි මොහොතේ මෙම තත්ත්වය මනෝවෛද්‍යවරයෙකු හමුවේ පවසා සිටියාය.

එවිට ඇයගෙන් ඒ පිළිබඳව කරුණු විමසා සිටි මනෝවෛද්‍යවරයා මෙය සුනඛ භීතිකාව (Cynophobia) ලෙසින් හඳුනාගත්තාය. සාංකාත්මක මානසික අර්බුද (Anxiety Disorder) ගනයට අයත් වන මෙවන් භීතිකා සාමාන්‍ය ව්‍යවහාරයේ දී පුහුබිය යනුවෙන් හඳුනාගත හැකි බව වෛද්‍යවරයා ගීතිකාට පහදා දුන්නේය. සුනඛයන්ගෙන් මිනිසුන්ට යම් අන්තරාවක් ඇතිවිය හැකි බව ඇත්තකි. නමුත් එම අන්තරායන් සිදුවීමේ සම්භාවිතාවක් තිබේ. එමෙන්ම සුනඛ සපා කෑම් වලින් වැලකීම සඳහා වන උපායමාර්ගද මිනිසුන් සතුව ඇත. එහෙත් මෙහිදී ගීතිකාගේ සිත තුළ පවතිනුයේ සෑම සුනඛයෙකුම, සෑම විටකම, සෑම ‍මිනිසෙකුම සපා කන්නේය යන පමණ ඉක්මවන භීතියකි. මෙවන් පුහු බිය තුළ සැඟවුණු යම් සත්‍යතාවයක් තිබිය හැක. නමුත් ඒ සත්‍යතාව ඇතැම්විට සියයට දශම එකක්වීමට පුළුවන.

ගිඟුරුම් සහිත වැසි ඇති වන මොහොතක එළි පහලියේ ගමන් කිරීම අකුණු සැර වලට ලක්වීමට හේතුවකි. එසේ නමුත් යන්තම් අහස කළු කළ මොහොතක පවා අකුණුසැර වලට බියෙන් නිවස තුළ සැඟවී සිටීමද එවන් පුහුබිය තත්ත්වයකි. එය හැඳින්වෙනුයේ Astraphobia යනුවෙනි.

මෙහිදී ගීතිකා මුහුණ දුන් සුනඛ සපා කෑම මතකයේ තැන්පත්ව තිබියදී දකින සෑම සුනඛයෙකු කෙරෙහිම ඇතිවන පොදු බිය මෙම භීතිකා ගණයට අයත්වන අතර සුන‍ඛයෙකු දකින සෑම විටකම එකී මුල් සිදුවීම හෙවත් සුනඛයා සපා කෑම තරයේ සිත තුළ කිදා බැස ඒ තුළින් භීතියක් ජනිත වීම පශ්චාත් ක්‍ෂතික ආතති ආබාධය (Posttraumatic Stressdisorder) යනුවෙන් හැඳින්වේ. කෙසේ හෝ ඒ සම්බන්ධයෙන් ඇය තුළ පැන නැගී ඇති කාන්සාත්මක තත්ත්වයට ඖෂධ ප්‍රතිකාර සහ ඇගේ එම භීතිකාව දුරලීම පිණිස ඥාණක චර්යාත්මක ප්‍රතිකාර (CognitiveBehavioral therapy) නියම කළ වෛද්‍යවරයා සුනඛයන් සම්බන්ධයෙන් තමන්ගේ ඇගේ සිත තුළ තිබෙන වැරදි ආකල්ප දුරලන ලෙස උපදෙස් ලබා දුන්නේය.

ගීතිකා යළි එම භීතියෙන් අත්මිදුනේ ඉන්පසුවය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ‍වෛද්‍ය රූමි රූබන් අනාවරණය කරයි.

සටහන – දමයන්ති ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *