රටේ මාරුකාසි හිඟයක් තිබෙනවාද?

එහෙම නැත්නම් මගියා රවටා කොන්දොස්තර මාරු වෙනවාද?
මම ඉස්සරහ හෝල්ට් එකෙන් බහිනවා. මට ඉතුරු රුපියලක් දෙන්න තියෙනවා. කෝ මගේ රුපියල.
බසයෙන් බැසීමට සූදානම් වන මගියා එසේ පවසන්නේ කොන්දොස්තරවරයාටය.
හරි… හරි… ඉන්න මහත්තයා බහිනකොට දෙන්නම්.
බස් කොන්දොස්තරවරයා එලෙස පිළිතුරු දෙයි.
ඇයි දැන් දෙන්න බැරි, ඔය අතේ තියෙන්නේ මාරු කාසි, බහිනකොට අමතක වුණොත් දැන් දෙන්න.
බසයෙන් බැසීමට සූදානම් වන මගියා ඊට දක්වන්නේ එවැනි ප්‍රතිචාරයකි.
ඒකනේ කියන්නේ. ගෙදරින් එනකොට මාරු කාසි අරගෙන එන්න කියලා. අපි ළඟත් මාරුකාසි තියෙන්න ඕනේනේ දෙන්න. බහිනකොට ඉල්ලගන්න. එතකොට දෙන්නම් බොහෝ විට මෙවැනි සංවාද නිමවන්නේ කොන්දොස්තරවරයාගේ එවැනි පිළිතුරකිනි.
මේ දිනවල බස් මගීන් හා කොන්දොස්තරවරයන් අතර මෙබඳු කතාබහ සුලබව සිදුවේ. ඇතැම් විට බස් රථය දෙවනත් වන තරමේ ගැටුම් දක්වා මෙවැනි සිදුවීම් වර්ධනය වෙන අවස්ථාද නැතුවා නොවේ.
සමස්ත බස් ගාස්තුව පසුගිය 22දා මධ්‍යම රාත්‍රියේ සිට 12.5කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවිය. මේ අනුව රුපියල් 10ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි විය.
ගාස්තු වැඩි කළා මදිවට අපේ ඉතුරු රුපියලත් දෙන්නේ නැහැ. ඔය වගේ කීදෙනෙක්ට මේ වැඩේ කරනවා ඇත්ද මේ දිනවල බොහෝ මගීහු මෙවැනි චෝදනා එල්ල කරති.
ජනතාව නගන මේ චෝදනාවේ ඇත්ත නැත්ත පිළිබඳව අපි වගකිවයුත්තන්ගෙන් හා බස් රථ සංගම් නියෝජිතයන්ගෙන් මෙසේ විමසා සිටියෙමු.
රුපියල් 10ක්ව තිබූ අවම ගාස්තු රුපියල් 12 වීමත් රුපියල් 13 ගාස්තුව රුපියල් 15 වීමත් ගැටලුවක් ‍නෙවෙයි. මොකද රුපියල් දෙකේ කාසි අවශ්‍ය තරම් තිබෙනවා. මෙතන ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ රුපියල් 21ක්ව පැවැති හතර වෙනි ගාස්තුව රුපියල් 24 දක්වා වැඩිවීම. ඒක 25 දක්වා වැඩි වුණා නම් ඒකත් ගැටලුවක් නැහැ. රුපිය‍ලේ ප්‍රශ්නේ තමයි මෙතැන තියෙන්නේ. අපි අපේ රියැදුරුවරු කොන්දොස්තරවරු දැනුවත් කරලා තියෙන්නේ අපේ පැත්තට පාඩුව අරගෙන හරි ඉතිරි මුදල් දෙන්න කියලා. සුළු සුළු සිදුවීම් සිද්ධ වෙනවා. නමුත් ඉදිරි දිනවලදී මේ තත්ත්වය සමනයට පත් වෙයි කියලා අපි බලා‍පොරොත්තු වෙනවා.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් එසේ පැවසීය.
මගියා කොන්දොස්තරවරයාගෙන් මාරු කාසි ඉල්ලූ විට බොහෝ විට කොන්දොස්තරවරයාගෙන් ලැබෙන්නේ. මාරු කාසි නැහැ. එනකොට ගෙදරින් අරගෙන එන්න යන පිළිතුරය.
බොහෝ කොන්දොස්තරවරුන් ලබාදෙන මේ පිළිතුර පිළිබඳව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මෙලෙස අදහස් පළකළේය.
මාරු කාසි ලබානොදෙන්න ගොඩාක්ම බලපාන හේතුව තමයි අද රුපිය‍ලේ සහ රුපියල් දෙකේ කාසිවල අඩුවක් දක්නට ලැබිම ඇත්තටම මේ රුපිය‍ලේ, රුපියල් දෙකේ ප්‍රශ්නේ හින්දා තමයි අපි අවම බස් ගාස්තුව රුපියල් 15ක් කරන්න කියලා ඉල්ලුවේ. මොකද බස් ගාස්තුව රුපියල් 12 වුණා. කියලාවත් ලාභයක් අපට නැහැ.
කොන්දොස්තරගේ අතේ නිතර මාරු ගැවසෙන්නේ නැහැ. ඒත් බස් රථයක මගීන් 40ක්, 50ක් විතර ඉන්නවා. ඔය මගීන් 40ට 50ටම හරියන්න කොන්දොස්තර මාරු කාසි ගේන්න ඕනේ. මගියෙක්ට පුළුවන් නම් තමන්ගේ ගාස්තුවටම සරිලන විදිහට සල්ලි කොන්දොස්තරට දෙන්න. එතකොට හරි පහසුයි. ඒ වගේම මතක් කරලා කොන්දොස්තරත් තමන් ළඟ මාරු කාසි තියාගන්නවා නම් එතකොටත් ගැටලුවක් නැහැ. අනික බස් ප්‍රවාහන සේවාව නියාමනය කරන අධිකාරිවලින් හරි කොමිසන් සභාවලින් හරි ටිකට් කඩනවාද කියලා හරියට බලන්න ඕනේ. මේක නියාමනය කරන්න ඉන්න ආයතන හරියට ඒ වැඩේ කරනවා නම් මේ ගැටලුව ඇත්තටම මතු වෙන්නේ නැහැ.
මේ  ආකාරයට මාරු කාසි ලබානොදීමට අදාළ හේතු තවදුරටත් විමසීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නද සම්බන්ධ කරගතිමු.
ඔය ඉල්ලන තරමට දෙන්න මාරුකාසි කොන්දොස්තරලා ළඟ නැහැ. ඒනිසා මගීන්ගෙන් 12 වෙනුවට 13 ගන්නවා. 19 වෙනුවට 20ක් දෙන්න වෙනවා. මේක ඇත්තටම බරපතළ ප්‍රශ්නයක්. අවම ගාස්තුව 29කින් වැඩි වුණා. මට හිතෙන්නේ ජනතාව දැන් කබලෙන් ලිපට වැටිලයි තියෙන්නේ. මේකට 2013 අපි යෝජනා කළ ට්‍රැවල් කාඩ් එකක් හඳුන්වාදෙන්න කියලා. ඒත් ඒක ගෙනාවේ නැහැ. ට්‍රැවල් කාඩ් එක ගේනවා නම් අපිට පුළුවන් බස්ගාස්තු අඩු කරන්න.
බස්රථවලින් ඉතිරි මුදල් ලබානොදෙන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට දුරකථන අංකයක්ද විවෘත කර තිබේ. ඒ පිළිබඳවත්, මාරු කාසි ලබානොදීමට අදාළ හේතුව
පිළිබඳවත් ජාතික ගමනාගමන කොමිසමේ සභාපති මෙලෙස අදහස් දැක්වීය.
අන්තර් පළාත් නම් 1955ට කතා කරලා මගීන්ට තම පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. බස්හිමියන්, බස් රියැදුරන් වගේම බස් කොන්දොස්තරවරයෝ මාරු කාසි ළඟ තබා ගැනීම ගැන දැනගන්න ඕනේ. 1955ට අමතලා යම් පැමිණිල්ලක් ඉදිරිපත් කළාම අපි අදාළ මාර්ග අධිකාරිවලට සම්බන්ධ කරනවා.
0115559595 යන අංකය අමතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ සඳහා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
කෙසේ නමුත් 1955 අංකය අමතන හැමවිටම ඒ හා සම්බන්ධ වීම බෙහෙවින්ම අසීරු බවටද බොහෝ බස් රථ මගීන් චෝදනා නඟති.
දරාගත නොහැකි ෙදෙනික ජීවන වියදම හමුවේ බස් ගාස්තු වැඩිවීම සහ මාරු කාසි නොදීම යන කාරණා සාමාන්‍ය ජනතාව තවදුරටත් අසීරු අඩියකට ඇද දමා ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.
ඇත්තටම බස් ගාස්තු වැඩි වුණා කියලා මගියට කිසිම සහනයක් ලැබිලා නැහැ. මොකද රජය වුණත් බස් ගාස්තු වැඩිවෙනකොට බලන්නේ බස් හිමියාගේ පැත්තෙන්. ඒත් බස් එකේ ප්‍රමිතිය මගියාට බස් රථයෙන් ලැබෙන සේවාව, රියැදුරාගේ, කොන්දොස්තරගේ ආචාරශීලීබව, ඉතුරු සල්ලි නිවැරදිව ලබාදීම, කාල සටහන අනුව නිවැරදිව ධාවනය කිරීම කියන මේ කිසිම දෙයක් ගැන හොයා බලන්නේ නැහැ. හිතාමතාම තමයි මාරු සල්ලි දෙන්නේ නැත්තේ. ඒකේ වාසිය සෘජුවම ලැබෙන්නේ කොන්දොස්තරට.
බොහෝ විට බස් රථවල මාරු කාසි මගීන්ට නිවැරදිව ලබානොදීමේදී හැමගේම චෝදනාව එල්ල වන්නේ කොන්දොස්තරවරයාටය. ඇතැම් විට ඔහු සතුව සැබැවින්ම මාරු කාසි නොතිබෙන්නටද පුළුවන. තමන් සන්තකයේ මාරු කාසි තිබුණද ඒවා හිතාමතාම නොදෙන කොන්දොස්තරවරුද නැතුවා නොවේ.
මේ නිසා තමන්ගේ ගමන් වියදමට සරිලන පරිදි මාරුකාසි ගෙදරින්ම රැගෙන යනවා මිස වෙනත් විකල්පයක් මගීන්ට අද ඉතුරුව නැත.

සමන්මලී නැලීගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *