“චම්පිකගේ සිහිනය 2025 දී ජනාධිපති වීමයි”

චම්පික රණවක මහතාගේ සිහිනය 2025 දී ජනාධිපති වීම බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පැවසීය.

ඒ පුරවැසි බලය සංවිධානය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ ඊයේ  (30) පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ජනාධිපති පුටුවට එනකල් මිනිස්සු මම ජනාධිපති ක්‍රමය වෙනස් කරනවයි කිව්වට ජනාධිපති පුටුවට ආවට පස්සේ ඒ සෑම කෙනෙකුටම හිතිලා තියෙනවා නෑ මම දෙවෙනි සැරේටත් මේකට එනවයි කියන ආශාව ඇති වෙලා තියෙනවා. ඒක නිසා ඒ අයගේ අතින් මේක ඉෂ්ඨ වෙලා නැහැ. මේ වාඩි වෙන පුටුවේ යම්කිසි කොහොල්ලෑ ගුලියක් ලොකුවට ඇලිලා තිබිලා තියෙනවා. දැන් පළවෙනි වතාවට ඒ කොහොල්ලා ගුලියේ ඇලෙන ගතිය අඩු වෙලා තියෙනවා දැන් තියෙන පුටුවේ. ඒ පුටුවට කුරුමානම් අල්ලන මිනිස්සුන්ගේ අපේක්ෂාවන් ඉස්සර වගේ දැන් තියා ගන්න බැරි අවස්ථාවක් උදා වෙලා තියෙනවා පළවෙනි වතාවට. චම්පික රණවක ඇමතිවරයා කියලා තියෙනවා තමන් විරුද්ධයි කියලා මේ ජනාධිපතිවරණය වෙනස් කරනවට කියලා. චම්පික රණවක වගේ අය හිතාගෙන ඉන්නවා 2025දී මේ රටේ ජනාධිපති වෙන්න තමන්ට පුළුවන් කියලා.”