මාත් එක්‌ක සතුටින් වචනයක්‌ හරි කතා කරන්න හිටිය තාත්තට වෙච්ච දේ දරාගන්න බෑ

මෑත යුගයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ හොදම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙන ධනංජය ද සිල්වාගේ පියා පසුගිය දින ඝාතනයට ලක්විය. සිය පියාගේ හදිසි අභාවය නිසා ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයද අවලංගු කරමින් ශ්‍රී ලංකාවට පැමිණියා.

සිය පියාගේ අභාවයෙන් දැඩි ලෙස ශෝකයට පත්ව සිටින ධනංජය මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ “මගේ රත්තරං තාත්තා දැන් නැතිවෙලා ඉවරයි. ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් එයා මගෙන් බලාපොරොත්තු වුණු දේ මං ඉදිරියටත් කරගෙන යනවා. මාත් එක්‌ක සතුටින් වචනයක්‌ හරි කතා කරන්න හිටිය මගේ තාත්තට වෙච්ච දේ මට දරාගන්න බැහැ” යනුවෙනි.

සිදුවීම පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන ධනංජය

“වෙච්ච දේවල් දැන් හැමෝම දන්නවා. පොලිසියේ පරීක්‍ෂණ සිදුකරගෙන යනවා. අපේ ගෙදර තත්ත්වය නම් දුක්‌බරයි. මොකද තාත්තා තමයි ගෙදර හැමදේම කළේ. එයා තමයි මුල ඉඳන්ම මගේ පස්‌සෙන් හිටියේ. එයා අපේ ඉගෙනීමට වුනත් වැඩිය ෆුෂ්  කරන්න ගියේ නැහැ. මට ක්‍රිකට්‌ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් නිසා තාත්තා ඒ පැත්තෙන් තමයි ගොඩක්‌ම හිතුවේ. මාත් එක්‌ක තාත්තා හැම වෙලාවෙම සතුටින් කතා කළේ. එයා මම ක්‍රීඩාකරන මැච් පවා බලන්න ආවා. හැම තාත්තා කෙනෙක්‌ වගේම මගේ තාත්තත් බොහොම සංතෝෂයෙන් හිටියා. තාත්තා බලාපොරොත්තුවුණු දේ ක්‍රිකට්‌වලින් මං කළා. තාත්තා බලාපොරොත්තු වුණු දේ මං ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ඉදිරියටම කරගෙන යන්නයි බලාපොරොත්තව. මේ වගේ අවාසනාවන්ත දේවල් ඉදිරියටත් නොවෙන්න පාලකයින් වග බලා ගන්නවා නම් හොඳයි. මගේ රත්තරං තාත්තා නැතිවීම මට ගොඩක්‌ දුකයි.” යනුවෙන්ද කියා තිබුනා.

මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුලු ප්‍රභූවරුන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ද අවමංගල්‍යයට පැමිණ ධනංජයගේ ශෝකය තුනී කිරීමට උත්සාහ කරනුද දැකගත හැකි වුනා.