අර්ජුන මහේද්‍රන් සිංගප්පූරුවේ ඉන්නවා

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසිය විසින් දැනුම් දී ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරු ශාඛාව විසින් ඒ බව නිළ වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව සැකකාර අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් මෙරටට පිටමංකරගැනීම සඳහා  අවශ්‍ය  නීතිමය පියවර ගෙන ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබේ.

වැඩිදුරටත් කරුණු දක්වමින් යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමක් විසින් එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 10ක මුදල් චෙක් පතක් එම මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු විසින් මාරු කර මන්ත්‍රීවරයාට ලබාදුන් බවට සාක්ෂි ඉදිරිපත්වී ඇති බවයි.

එමෙන්ම ඩබ්ලිව්. එම් මෙන්ඩිස් සමාගමේ නිලධාරියෙකු විසින් එම සමාගමෙන් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 10ක මුදල් චෙක් පතක් මාරු කර එම මුදලද මෙම අවස්ථාවේ දී නම් හෙළි කළ නොහැකි එක්තරා ප්‍රභූවරයෙකු වෙත ලබාදුන් බවට සාක්ෂි  ඉදිරිපත් වී ඇති බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

මුදල් බාරගත් ප්‍රභූවරයා එම අවස්ථාවේදී මෙන්ඩිස් සමාගම් භූමියේ නවතා තිබූ කළු පැහැති රථයක සිටි බවට ද තොරතුරු ලැබී ඇති බව යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අතර මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන ලබන මස 7  වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *