“ශ්‍රීලනිපයේ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂයි” – ජෝන් සෙනවිරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව තමා මීට වසර දෙකකට පෙර ඇඹිලිපිටියේ දී පැවසු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ගොඩකවෙල මහින්ද මහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“සමහර දේශපාලන ප්‍රබලයන් ඇතුලූව විවිධ පිරිස් ඊට එරෙහිව මා විවේචනය කළා. එදා මට වැරදි ට්‍රැක් එකක යන්න වුණේ පක්‍ෂය නිසා. අද මම හරි ට්‍රැක් එකට ඇවිත් ඉන්නවා. දේශපාලන නායකයින්, පක්‍ෂ, සංවිධාන, පුද්ගලයින් ඇතුළු විශාල කණ්ඩායමක් අද ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙතැනට පැමිණීම ගැන සතුටු වෙනවා. මොකද අද රටේ බොහෝ දෙනෙක් එතුමා ගැන කතා කරනවා. විවිධ පුද්ගලයන්, සංවිධාන, දේශපාලන පක්‍ෂ, විරුද්ධ දේශපාලන පක්‍ෂ ආදී වූ හැමදෙනාම එතුමා ගැන කතා කරනවා. එතුමා ආරක්ෂක  ලේකම්වරයා විදියට විශිෂ්ට සේවාවක් අපේ රටට කළා. සියලූ හමුදාවන් ඒකරාශී කරලා ඊට නායකත්වය දීලා යුද්ධය දිනන්න නායකත්වය දීපු එක මේ රටේ කිසිම කෙනෙකුට  අමතක කරන්න පුලූවන් කියලා මම හිතන්නේ නෑ. නමුත් දේශපාලනය මුසු චරිතයක් ලෙස එතුමව හැඳින්වුයේ නෑ.

මට මතකයි මීට වසර දෙකකට ඉස්සර ඇඹිලිපිටියේ දී මේ වගේ රැස්වීමක් අමතන වෙලාවේ මම කිව්වා මම දැකපු අඩුවක් පුරවන ආකාරය. අපේ කන්දේ විහාරේ හාමුදුරුවොත් මේක පොඩ්ඩක් හැඳින්වුවා. මොකද මම වෙන ට්‍රැක් එකක නැත්නම් මාර්ගයක ගියා. දැන් ආයෙත් ඇවිල්ලා තියනවා. ඒක ඇත්ත. නමුත් මම වෙන ට්‍රැක් එකක ගියේ පක්ෂය නිසා. නැතුව පුද්ගලයෙක් හරහා ගියා නෙවෙයි. පක්ෂය තීන්දුවක් ගත්තා. පක්ෂය ගියා. මමත් ගියා. ඒක අර බෝට්ටුවේ නැගලා ඉන්න මිනිහා බෝට්ටුව යන කොට යන්නා වගේ තමයි මමත් ගියේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.