විජය නන්දසිරි මියගොස් වසරක් පිරුණු තැන දේවිකා මිහිරානි කියූ කතාව

විජය නන්දසිරිගේ ආදරණීය බිරිඳ විදියට ඔහු වෙනුවෙන් ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට ඔබ අදහස් කළේ ඇයි ? 
විජය නැතිවුණත් දවසකට සිය දහස් වාරයක් මට ඔහුගේ රුව පෙනෙනවා. ඔහු මා ළඟින් ඉන්නවා වගේ දැනෙනවා. ඔය අතරේ තමයි විජය වෙනුවෙන් ප්‍රතිමාවක් හදන්න ඕනේ කියන අදහස මගේ මනසේ ගොඩනැඟුනේ. ඒ අදහස සැබෑවක් කරන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්න කොට විජයට දැඩි ලෙස ආදරය කළ රසිකයෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඔහුත් සමග එකතු වෙලා පසුගිය හය වැනිදා අපි ඒ ප්‍රතිමාව හදන්න මුල්ගල තිබ්බා. ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ විජය හිටපු නිවසට අඩි දහයක් විතර දුරින් තමයි අපි මේ ප්‍රතිමාව හදන්නේ. ඒ ප්‍රතිමාව අඩි දහයක විතර ප්‍රමාණයකට තමයි නිර්මාණය වෙන්නේ. විජය වගේ කෙනෙක්ව මිනිස්සුන්ට මතක් වෙන්න ප්‍රතිමාවක් නෙළීම හොඳයි කියලා මම අදටත් විශ්වාස කරනවා. අපට මාස තුන හතරකින් ඒ ප්‍රතිමාව හදලා ඉවර කරගන්න පුළුවන් වේවි.
ප්‍රතිමාවක් හදමු කියන අදහස කිව්වම දුවයි පුතයි මොකද කිව්වේ? 
ඒ දෙන්නටම මම ඒ යෝජනාව ඉදිරිපත් කළාම පුදුම විදියට සතුටු වුණා. “අම්මේ අපි තාත්තාගේ කලා ජීවිතේ මතක සටහන් කවදාවත් නැතිවෙන්න දෙන්නේ නැහැ” කියලා එයාලා කිව්වා. පුංචි කා‍ලේ ඉඳලම විජේගේ මුළු ජීවිතේම කලාව කියන එක අපේ දරුවෝ දෙන්නා හොඳින් අවබෝධ කරගෙනයි හිටියේ.
ප්‍රතිමාවක් කියන්නේ කෙනෙකුව අපට නිතරම මතක් කරවන සිහිවටනයක්. නමුත් ඔහු විසින් කළ නිර්මාණ අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් නැද්ද? 
විජයගේ සියලුම නිර්මාණ සංරක්ෂණය කරන්න මගේත්, දරුවන්ගේත් ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා. වේදිකා නාට්‍ය සංරක්ෂණ වැඩපිළිවෙල නම් ළඟදීම මට හැකි පමණින් ආරම්භ කරනවා. අනිත් නිර්මාණත් හැකි උපරිමෙන් අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කරන්න පියවර ගන්නවා.
ජීවත්ව සිටි කාලයේ ඔබේ සැමියාට ලැබුණු ඇගයීම ගැන සෑහීමකට පත් වෙනවාද?
විජය ඇගයීමට ලක් වුණේ ජනතාවගෙන් පමණයි. අපේ මේ ශ්‍රී ලංකාවේ පිදිය යුත්තන් පුදන්න හරි මැලිකමක් තියෙනවා. මේක මම කාටත් ‍පොදුවේ කියන්නේ. මම හිතනවා අගය කළ යුතු තැන්වලදී විජය නිසි ඇගයුමකට ලක්වුණේ නැහැ කියලා.
විජය නැතුව මෙවර සමරපු සිංහල අලුත් අවුරුද්දේ ඔබට පාළුව තනිකම තදින්ම දැනෙන්න ඇති නේද? 
ඒ ගැන මතක් වෙනකොටත් ඇස්වලට කඳුළු එනවා. ඒ පාළුව තනිකම විජයගේ වියෝවෙන් පස්සේ මට නිතර නිතර දැනෙන දෙයක්. ඒක කියාගන්න මට වචන නැහැ. අපි පණ වගේ ආදරේ කළ, විශේෂයෙන් අපිට පණ වගේ ආදර කළ කෙනෙක් නැති වුණාම ඒ හිස් තැන කාටවත් පුරවන්න බැහැනේ. විජය ඉන්න කා‍ලේ අපිට හැමදාම අවුරුදු. මොකද ඒ තරමටම අපේ ගෙදර එයාගේ හිනාවෙන් පිරිලයි තිබුණේ. මේ අවුරුද්දේ අපි අවුරුදු සැමරුවේ නැහැ. ඒත් පුතා කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර ටික ඉටුකළා.  විජය මට මැරුණු කෙනෙක් නමෛයි. එයා මගේ හදවතේ හැමදාම ජීවත් වෙනවා. විජය රජෙක් වගේ ජීවත් වෙලා රජෙක් වගේ රඟපාලා රජෙක් වගේ නැතිවුණේ…. (කඳුළු සලයි)
විජයට ආදරය කළ සුවහසක් රසික ජනතාවට ඔබ දෙන පණිවුඩය කුමක්ද? 
විජයට පුදුමාකාර රසික පිරිසක් හිටියා. විජය මැරුණට පස්සේ ඔහුගේ දේහයත් එක්ක සෙල්ෆි ගහන්න රසිකයෝ ‍පොර කෑවා. මම හිතන විදිහට මින් පෙර ලෝකේ එවැනි දෙයක් සිදුවෙලා නැතුව ඇති.  ඔහුට පුදුමාකාර ආදරයක් රසිකයන්ගෙන් ලැබුණේ. ඉතිං ඒ රසික ආදරයට මමත් හිස නමා ආචාර කරනවා. බිරිඳ විදිහට නමෛයි ඔහුගේ රසිකාවියක් විදිහට. මං මේ කියන්නේ මනුෂ්‍යත්වයෙන් ඉහළින් සිටින හැම නිර්මාණයකට උපරිම සාධාරණයක් ඉටුකළ ඒ නිහතමානී කලාකරුවාගේ හිදැස පුරවන්න කාටවත් බැරිවේවි. ඔහුට ආදරය කරන ආදරණීය රසිකයන්ට මම කියන්නේ ඔහුගේ නිර්මාණ අපිට අනාගතය වෙනුවෙන් රැක ගන්න පුළුවන් නම් ඔහුට කරන්න පුළුවන් විශාල ගෞරවය තමයි ඒක.
සමන්මලී නැලිගම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *