ත්‍රිකුණාම‍ලේ පන්සල් 122ක් පිළිසකර කෙරේ

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පන්සල් එකසිය විසි දෙකක් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ එක්දහස් දෙසියක මුදලක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අරමුදලින් වැය කිරීමට කටයුතු කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවැසීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල පරිශ්‍රයේ සහ ගොමරන්කඩවල ශ්‍රී රන්‍පොකුණගම විහාරයේදී එම මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවය අමතමින් දියවඩන නිලමේවරයා මෙසේද කීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගෙන පුරා වසර දොළහක කාලයක් තුළ දහම්පාසල් සංවර්ධන කටයුතු සමාජ සංවර්ධන කටයුතු සිදු කළා. ඒ සියලු කටයුතු සිදු වූයේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් මහ අනුනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදියි. අප මුලින්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‍පොල්පිතිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයට සහ දහම් පාසල් සහ පන්සල් සඳහා ආධාර උපකාර කලා. ඉන්පසුව පසුගිය වසරේ සිට එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන විහාරස්ථාන සංවර්ධනය කරන්න කටයුතු කලා. මේ සංවර්ධන කටයුතු පුද්ගලිකත්වය මත කළ නොහැකි නිසා අප දිස්ත්‍රික්කයක් තෝරාගෙන එහි ඇති පන්සල් සංවර්ධන කටයුතු කළා. අප මුලින්ම වව්නියාව දිස්ත්‍රික්කයේ පන්සල් තිස් දෙකක් අතුරින් භික්ෂුන් වහන්සේලා වැඩසිටින පන්සල් විසි නමයක් සඳහා රුපියල් ලක්ෂ තුන්සිය දහයක් ප්‍රදානය කළා.
මේ වසරේ ශ්‍රී දළදා මාලිගාවේ අරමුදල් ප්‍රයෝජනයට ගෙන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා පවතින පන්සල් අධීක්ෂණය කර අදාළ අයත් සමග සාකච්ඡා කළා. පන්ස‍ලේ කඩිනමින්ම ආරම්භ කළ යුතු සංවර්ධන කටයුත්ත කුමක්ද? වැඩ අවසන් කරගත නොහැකිව තිබෙන ඉදිකිරීම් මොනවාද යන්න අප සොයා බැලුවා. ඒ අනුව සේරුවිල ප්‍රදේශයේ පන්සල් නමයක් සංවර්ධනය කරන්න අප තෝරාගෙන තිබෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පන්සල් 144කින් පන්සල් 122කට ආධාර කරනවා.
ඒ සඳහා රුපියල් කෝටි දොළහක් (ලක්ෂ එක්දහස් දෙසියක්) වැය කිරීමට අප ඇස්තමේන්තු කර තිබෙනවා. අද එහි ආරම්භයක් ලෙස ලක්ෂ 300ක් පරිත්‍යාග කිරීමට කටයුතු කරනවා. පන්සල්වල දායක සභාවන් ශාසනාරක්ෂක බල මණ්ඩල සහ සංඝයා වහන්සේලා එක්ව සාකච්ඡා කර ත්‍රිමාණ නිර්මාණයකට මේ පන්සල් සංවර්ධනය කටයුතු කළයුතු වනවා.
දළදා මාලිගාව සමග බොහෝ අය එක්ව කටයුතු කළත් අන්තර්ජාලය හරහා අප කිසිදු මුදලක් කිසිවෙකුගෙන්වත් ලබාගෙන නැහැ. ඉදිරියේ අප බලා‍පොරොත්තු වනවා ඒ අවස්ථාව මේ විහාරස්ථාන සමග සම්බන්ධ කිරීමට. ප්‍රාදේශීය ‍ලේකම්වරයා හරහා රාජ්‍ය මට්ටමින් ඒ සංවර්ධන කටයුතු කළ යුතුයි. එහි විනිවිද භාවයද ලොවට පෙන්විය යුතුයි. වසර දොළහක් ඇතුළත රුපියල් ලක්ෂ දොළොස් දහසක් (කොටි එකසිය විස්සක්) අප විවිධ කටයුතු සඳහා වැය කර තිබෙනවා. අප එය විනිවිද භාවයකින් සහ මනා කළමනාකරණයෙන් යුතුව සිදුකරනවා. පසුගිය කා‍ලේ මේ මහා සංඝරත්නය විවිධ තාඩන පීඩන වලට ලක්වෙමින් මේ වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කළ නිසා ඒ සඳහා ප්‍රතිඋපකාර කිරීමත් අපේ වගකීමක් සහ යුතුකමක් යැයි දිවවඩන නිලමේවරයා පැවැසීය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමල ධම්ම හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි ගෝමරන්කඩවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගල්කඩවල සුමනසාර හිමි. තවලම හල්මිල්ල වැවේ දේවානන්ද හිමි, සේරුවිල විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම හිමි ඇතුළු මහා සංඝරත්නය ඇතුළු ගිහි බෞද්ධ සැදැහැවත්හු මෙම අවස්ථාවට එක්ව සිටියහ.