මේ කියන දේවල් අද ඉන්න කවුරුත් දන්නේ නැහැ

මීට සති දෙකකට පමණ පෙර මෙලොව හැර ගිය හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ 1956 වසරේදී නිර්මාණය වූ “රේඛාව“ චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් එවකට 29 වැනි වියේ පසු වූ අයිරාංගනී මීදෙණිය (විවාහයෙන් පසු සේරසිංහ) නම් නිළිය සඳහාද වෙන් වුණා. ඒ චිත්‍රපටයෙන් ලැබූ සාර්ථකත්වය නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපට රැසකටම රංගන දායකත්වය ලබාදීමේ භාග්‍යයද ඇයට හිමි වුණා. කෙසේ වෙතත් මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග තමන්ගේ ඇසුර “රේඛාව“ චිත්‍රපටයේ ආරම්භයටත් වඩා ඈතට දිව යන බවයි ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය මෙම සංවාදයේදී හෙළි කළේ.
ලෙස්ටර්ව ඔබ මුලින් හඳුනාගත්තේ කොහොමද? 
අපි මුලින්ම දැන හඳුනාගන්නා කා‍ලේ ලෙස්ටර් මහත්තයා මාධ්‍යවේදියෙක් විදිහටයි සේවය කළේ. ඔහුගේ පවු‍ලේ අය මාත් එක්ක එකතුයි. ඒ කා‍ලේ අපි විවිධ දේවල් ගැන කතා බහ කළාට චිත්‍රපට ගැන නම් වචනයක්වත් කතා කරලා තිබුණේ නැහැ.
බොහෝ දෙනා දන්න විදිහට ලෙස්ටර්ගේ රේඛාව චිත්‍රපටයේ තමයි ඔබ මුලින්ම රඟපාන්නේ?”
ඔව්. හැබැයි ඊට කලින් ලෙස්ටර් මහත්තයාගේ වාර්තා චිත්‍රපටයක කෙටි රඟපෑමක් කරන්න අවස්ථාව ලැබුණා. “Be Safe or Be sorry” කියන ඒ කෙටි චිත්‍රපටය මාර්ග ආරක්ෂාව ගැන දැනුවත් කරන්න හදපු එකක්.
රේඛාව චිත්‍රපටයේ රඟපෑමට ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද? 
රේඛාව ලෙස්ටර් මහත්තයගේ වගේම මගේත් කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටය. මම ඒ කා‍ලේ ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලයි රඟපෑවේ. රේඛාව චිත්‍රපටයේ රඟපාන්න ලෙස්ටර් මහත්තයා මට ආරාධනා කළාම මුලින්ම මම බය වුණා. මොකද ඉංග්‍රීසි නාට්‍යවල රඟපාන මට දිග සිංහල වාක්‍ය මතක තියා ගන්න අමාරු වෙයි කියලයි මම හිතුවේ. මම ඒ ගැන ලෙස්ටර් මහත්තයාට කිව්වාම ඔහු කිව්වා බයවෙන්න එපා මම උදව් කරන්නම් කියලා. එදා බයෙන් බයෙන් හරි  ඒ චිත්‍රපටයේ රඟපාන්න ලැබිම මගේ වාසනාවක්.
කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙනල්ලා ලෙස්ටර් එදා රේඛාවෙන් කරපු පෙරළිය ගැන ඔබේ මතකය මොන වගේද? 
ඒක කොහොම අමතක වෙන්නද? මෙච්චර ලස්සන රටක් තියෙද්දී කාමර අස්සේ රිංගලා මොනවාද මේ කරන්නේ කියලා කියමිනුයි ලෙස්ටර් මහත්තයා ඒ විදිහේ පෙරළියක් කළේ. ඔහුට ඕනෑ වුණේ නළු නිළියන්ට ගමේ ඇඳුම් අන්දවලා ගැමි විදිහටම “රේඛාව” රූගත කරන්නයි. හැබැයි ඒක දකුණු ඉන්දීය ආභාෂයට හදපු චිත්‍රපටවලට හුරු වෙලා හිටපු ඒ කා‍ලේ මිනිස්සු රේඛාව නරඹලා මේකත් චිත්‍රපටයක්ද කියලා අහපු අවස්ථාත් තිබුණා.
ලෙස්ටර් මහත්තයා “රේඛාව“ට පස්සේ හදපු “සංදේශය” චිත්‍රපටයටත් ඔබේ දායකත්වය ලබා ගන්නවා? 
ඔව්. ලෙස්ටර් මහත්තයාගේ අනෙක් හැම චිත්‍රපටයේදීම වගේ මට ලැබුණේ අම්මාගේ චරිතය වුණාට “සංදේශය” චිත්‍රපටයේදී විතරක් ලෙස්ටර් මහත්තයා ඒක වෙනස් කළා. සංදේශයේදී මට ලැබුණේ බිත්තර වෙළෙන්දියකගේ චරිතයක්. ඒකෙ දර්ශනයක් තියෙනවා මාව අත් දෙක ගැට ගහලා ගඟට තල්ලු කරන. ඒ දර්ශනය රඟපාන්න ගිහින් තව ඩිංගෙන් මම වතුරේ ගිලෙනවා.
රංගන ශිල්පිනියක් විදිහට ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන අධ්‍යක්ෂවරයා තුළින් ඔබ දැකපු විශේෂත්වය මොකක්ද? 
ලෙස්ටර් මහත්තයා කතා කරන්නේ බොහොම හෙමින් වෙන අධ්‍යක්ෂවරු වගේ ‍නෙවෙයි. දර්ශන තලයේදී කාටවත් බණින්නේ නැහැ. හැබැයි එක දවසක් නම් ඔහුට තරහ ගියා ඒත් ඒ තරහා කාටවත් පෙන්නුවේ නැහැ.
මොකක්ද ඔය කියන සිදුවීම? 
“අවරගිර චිත්‍රපටයේ මගේ පුතා විදිහට රගපෑවේ කමල් අද්දරආරච්චි. ඒකෙ දර්ශනයක් තියෙනවා පුතා මවට වඳින. කමල් ඉතින් විහිළුකාරයානේ. රියසල් කරද්දී කමල් යන්තම් මගේ කකුල් දෙක අල්ලලා මගේ සාරියේ බිම ගෑවෙන කොටස චුට්ටක් උස්සලා එබිකම් කළා. කමල් කරපු ඒ වැඩේට ලෙස්ටර් මහත්තයා ඇරෙන්න හැමෝම හිනාවුණා. ලෙස්ටර් මහත්තයා කමල්ට කිව්වා. “කමල් රියසල් එකත් ෂූට් කරන වෙලාව වගේම වැදගත්. ඒ නිසා ඒ වෙලාවට විහිළු කරන්න එපා කියලා”.
අවුරුදු 50කටත් වැඩි කාලයක් තමන් සමග දුක සැප බෙදා ගත් ආදරණීය සැමියාගේ වියෝවෙන් සුමිත්‍රා පීරිස් මහත්මිය අද තනිවෙලා. ඔබේ මිතුරියක වන ඇය වෙනුවෙන් ඔබට අද මොනවද කියන්න තියෙන්නේ? 
මෙච්චර කාලයක් එකට ජීවත්වෙච්ච සැමියා වියෝවීමේ දුක කොයි වගේද අමුතුවෙන් තේරුම් කරන්න ඕනෑ නැහැ. ඒත් සංසාරේ හැටි මේක තමයි කියලා හිතාගෙන ඉදිරිකාලය ගත කරන එක තමයි දැන් සුමිත්‍රාට කරන්න තියෙන්නේ.
කිෂාන් කනංකෙ 
ඡායාරූපය – තුෂාර සංජීව