බිම්ගත රුදුරු කොටි කදවුරක වසර පහක් දුක් වින්ඳ පොලිස් නිළධාරීයා

වසර තිහක් ශ්‍රී ලංකාව පීඩා විදි කොටි ත්‍රස්තවාදය හා බැදුනු අමිහිරි මතක ගොන්න නම් විශාලය.

1990 ජුනි මාසයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් උතුරු නැඟෙනහිර පිහිටි හමුදා කඳවුරුවලට එකවර වටකරගෙන පහර දෙන්නට විය. මාන්කුලම් පොලිසියට කොටි ත්‍රස්තවාදීන් ඇතුළු වූයේ පාන්දර 3.30ට පමණය. එහි සිටි පොලිස් නිලධාරීන් 14ක් පමණ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු විය. උප පොලිස් පරීක්ෂක සිසිර සාන්තලාල් ද ඒ අතර විය

ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකූ එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්වී වසර 5කට ආසන්න කාලයක් සිරකරුවන් ලෙස වධ කඳවුරුවල දස වධ විඳිමින් සිට පොලිස් නිළධාරීන් නිදහස ලැබූයේ මෙවන් මාර්තු මාසයකදීය. එනම් මීට වසර 23කට පෙරදීය.

වසර 28කට පසු කොටි සිරගෙයක් තුල ගෙවූ දිවිය පිළිබදව උප පොලිස් පරීක්ෂක සිසිර සාන්තලාල් සතිඅන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින් ,

“තුනුකායි කඳවුර අපි කාටවත් අමතක නොවන වධ කඳවුරක්. අඩි 15ක් ගැඹුරු වළවල් ඇතුළේ අපි හිටියේ දම්වැල් දමා වෑල්ඩින් කරලා. ඒක විශාල සිර කඳවුරක්. හැම සිරකරුවෙක්ම හිටියේ පොළොවෙන් යට”

ඔඩ්ඩුසුඩ්ඩාන් පොලිසියෙන් අල්ලාගත් පිරිසකුත් තුනුකායි කඳවුරට ගෙනත් දැම්මා. එක දවසක් රෑ බත්තලකට පැටවූ ලොරියකින් අපිව යාපනයට රැගෙන ගියා. ඒ කිලාලි කළපුව මැදින්. අලිමංකඩ කඳවුරත්, පුනරීන් කඳවුරත් අතරින් තිබූ හොර මුහුදු මාර්ගයකින් තමයි අපිව අරගෙන ගියේ. කොඩිගාමම් පොල්වත්තේ පිහිටි කළුකොටි කඳවුරකත්, චාවකච්චේරිය කඳවුරකත්, වරින් වර අප රඳවා සිටියා. හැමදාම කොටි ත්‍රස්තවාදීන්ගේ පහරදීම්වලට ලක්වුණා. පහරදීම් නිසාම අපේ කිහිප දෙනෙක්ම ඒ කඳවුර තුළදීම මිය ගියා”

කවුරු ආවත් ඔවුන් අපිව නිදහස් කළේ නෑ. අපේ මිනිස්සු මරාදාන වැඩපිළිවෙළ තුළ තමයි ඔවුන් නිතරම හිටියේ. ජෙනරාල් කොබ්බෑකඩුව මහතා මිය ගිය විට අපි හිටියේ යාපනය නල්වූර්වල ‘ටැංගෝ 4’ කඳවුරේ. ජෙනරාල් කොබ්බෑකඩුව මිය ගිය බව දැනගත් ත්‍රස්තවාදීන් අපි රඳවා සිටි තැනට ඇවිත් අහසට වෙඩි තබමින් හුඟාක් සතුටු වුණා. නමුත් ඒ සියල්ල දෙස අපි බලා හිටියේ හදවතින් හඬා වැටෙමින්. නමුත් ඔවුන් හැමෝම පිළිගත්තා දක්ෂතම අණ දෙන්නා කොබ්බෑකඩුව මහත්තයා බව.

ත්‍රස්තවාදී අත්අඩංගුවට පත් වී වසර තුනක් ගෙවුණු තැන පොලිස් නිලධාරීහු උපවාසයක් ආරම්භ කළහ. ඒ නිදහස හෝ මරණය වෙනුවෙන්. දින ගණන්, සති ගණන් ගත කළේ වතුර බීමෙන් පමණි. අත්අඩංගුවට පත් නිලධාරීන්ගේ මවුපියන්ට යාපනයට ඒමට රජය අවසර දෙන්නේ නම් සිරකරුවන් නිදහස් කරන බවට ප්‍රභාකරන් දැනුම් දුන්නේද මේ අවස්ථාවේදීය. ඒ අනුව මවුපියන් යාපනයට රැගෙන යෑමට රජය විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට භාර කළේය.

“දින කිහිපයකින් අපේ අම්මලා යාපනයට ආවා. මවුපියන්ට අපිව අඳුනන්න බැරි වුණා. සමහර අම්මලා පුතා ළඟ ඉඳිද්දී ‘මගේ පුතා නෑ’ කියලා කෑ ගහන්න ගත්තා. එය ඉතාම සංවේදී අවස්ථාවක්. නමුත් ත්‍රස්තවාදීන් අප නිදහස් කළේ නෑ. අම්මලා හිස් අතින් ආපහු ගියා. අම්මලා එද්දී අපේ කකුල්වල තිබූ දම්වැල් අයින් කළා. පසුව නැවත කකුල්වලට දම්වැල් දමා වෑල්ඩින් කරලා වළ ඇතුළට දැම්මා. ඉවසන්නම බැරි වුණේ එකට සිටි යහළුවන්ගේ මිය යෑම. මම සිටි වළ තුළම තමයි සාජන් කරුණාරත්න රඳවා හිටියේත්. ඒ වෙද්දී ඔහුගේ දුව 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා. ‘මම නිදහස් වෙලා ගිය ගමන් දුව කුරුණෑගල මලියදේව බාලිකාවට දානවා’ ඔහු හැමදාකම එහෙම කිව්වා. නමුත් දවසක් එළිය වැටෙද්දී ඔහු වළ තුළම මිය ගිහින්.

අතපත්තු කියන්නෙත් මට සිටි හොඳ යාළුවෙක්. වධ කඳවුරේදීත් අපි හිටියේ එකටමයි. දවසක් ඔහු හොඳටම නිදි. වධ කඳවුර තුළ නින්ද යනවා කියන්නේ ලොකු දෙයක්. ඒ නිසා මම ඔහු නැගිට්ටවන්න ගියේ නෑ. නමුත් ඔහු දිගින් දිගටම නිදි. ඒ ගමන මම අතපත්තුගේ උරහිසට අත තියලා කතා කළා. ඔහු මිය ගිහින්.

නිදහස පේන මානයකවත් නොතිබූ හෙයින් ඔවුන් නැවතත් උපවාසයක් ඇරැඹීය. ඒ කොටි ග්‍රහණයට නතු වී වසර 5ක් ගෙවෙනා විටදීය. එනම් 1995 මාර්තු මාසයේදීය. දින ගණනක් වතුර පමණක් පානය කර වතුර ගැනීමත් නතර කර පැය 36ක් ගත වූ විට ඔවුන් දැඩිව රෝගාතුර විය. ත්‍රස්තවාදීන් විසින් සාන්තලාල් හා සුනිල් දිසානායක යාපනය මහ රෝහලට රැගෙන යනු ලැබුවේ බලහත්කාරයෙනි. සේලයින් ලබා දුන්නේද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ දැඩි විරෝධතාව මැදිනි.

“අපි සේලයින් කටු ගලවා ඉවත් කළා. ඒ ගමන අපි දෙන්නා විතරක් නිදහස් කරන්න ත්‍රස්තවාදීන් තීරණය කළා. අපි දෙන්නා එයට විරුද්ධ වුණා. සියලු දෙනා දුක් වින්දේ එකට බවත් අපේ නිදහස හෝ මරණය සිදුවිය යුත්තේද එකට බවත් අපි ඔවුන්ට පැවැසුවා.”

ඒ අනුව පසුදින කොටි කඳවුරට පැමිණි ඇන්ටන් බාලසිංහම් හා තමිල් චෙල්වම් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් අපි නිදහස් කර රතු කුරුස සංවිධානයට බාරදීමට ක්‍රියා කළා.”

“මේ අපේ භූමිය. නැවත අපේ වැලි පාගන්න ඇවිත් උඹලා කරදර විඳින්න එපා”

“ඇන්ටන් බාලසිංහම් අවසන් වරට කිව්වේ එහෙමයි. අන්තිමට මේ මාතෘ භූමියෙන් පිටමං වෙන්න වුණේ ඔවුන්ටමයි. එදා නිදහස බලාපොරොත්තුව පුල පුලා බලා සිටියා වගේ අදත් මට එවැනි ආසාවක් තිබෙනවා. ඒ එදා මා සමඟ සිට නිදහස ලැබූ මිතුරන් නැවතත් හමුවන්න. ඔවුන් හමු වී කතා බහ කරන්න මම ආසාවෙන් බලා ඉන්නවා. මොකද අපි සියලු දෙනා දහස් වාරයක් මැරිලා ඉපදුණු අය. දැන් තමයි හැබෑවටම ජීවත් වෙන්නේ. මේ ජීවිතය මඟහැරුණු ඒ මිතුරන් එක්ක බෙදා හදා ගන්න මට ආසයි.”