සමාජ ජාලා අවහිර කිරීම කට කතා පැතිරීමට මුල් වු බව මහින්ද කියයි

මහනුවර සිද්ධිය පිළිබඳ කට කතා පැතිර යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද(08) පෙරවරුවේ සිය නිල නිවසේදී විදෙස් තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
යම් පුවතක් සමාජ මාධ්‍ය තුළින් සංසරණය වීමේදී එහි හොඳ නරක හඳුනා ගැනීමේ හැකියාව මහජනතාව සතු වුවක් බවත්, එම ක්‍රමවේදය අවහිර වීම තුළින් මිනිසුන්ට එය හඳුනා ගැනීමට අවස්ථාව හිමි නොවන බව ද තමාගේ පාලන කාලයේ දී මෙවැනි සිදුවීම් නොවුන බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය දා දිගන- පල්ලෙකැලේ ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයට වගකිව යුත්තේ පොලීසිය බවට ඇතැම් අය චෝදනා කළත් එයට වගකිව යුත්තේ රජය බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.