මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද උදෑසන ඉවත් කරයි

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කර තිබේ.
ඊයේ (07) රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශය සඳහා පොලිස් ඇදිරි නීතිය පැනවීමට පියවර ගත් අතර ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය එළඹි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය තවදුරටත් යොදවා අති බවත් පොලීසිය පවසන්නේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රීයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.
ඊයේ රාත්‍රී මැණික්හින්න ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුනු 07 දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රීයාත්මක කරන බවය.
එලෙස අත්අඩංගුවට ගත් 07 දෙනාගෙන් සිව් දෙනෙකු මැණික්හින්න ප්‍රදේශයෙන් බැහැර ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා පැවසීය.