පානදුරේ අරියධම්ම හිමි අපවත්වීම පිටුපස ඇති අභිරහස

පානදුරේ අරියධම්ම හිමි අපවත්වීම පිටුපස ඇති අභිරහස 

අභිරහසේම අපවත්වූ හිමිවරු 1

අපවත් වූ සේරුවාවිල මංගල මහා විහාරාධිපති සරණකිත්ති නායක හාමුදුරුවන්ගේ අපවත් වීම සේම සැකකටයුතු සහ අභිරහස්‌ ලෙස මෙයට තිස්‌ අවුරුද්දකට පෙර අපවත් වූ හිමි නමකි පානදුරේ අරියධම්ම හිමියෝ. උන්වහන්සේ මේ ලිපි පෙළෙහි මුල් කොටසෙහි සඳහන් කළාක්‌ මෙන් මෙරට බුදු දහමේ පුනරුදය සඳහා ජීවිතය කැප කළ පින්වත් භික්‍ෂුවකි. මෙරට බුදු දහම අභාවයට ගොස්‌ චීවරධාරීන් පවුල් නඩත්තු කරන තත්ත්වයක්‌ තිබූ එක්‌දහස්‌ හත්සිය ගණන්වලදී ඉපිද 1753 දී සාමනේරයන් වහන්සේ කෙනකු ලෙස තායිලන්තයට ගොස්‌ උපසම්පදාව ලබා මෙහි වැඩම කොට ලංකාවේ සංඝ සමාජය ප්‍රතිසංවිධානය කර පුබුදුවා කීර්ති ශ්‍රී රාජසිංහ රජු අතින් සංඝ රාජ පදවිය ලබා මේ රටේ අවසන් සඟ රජ ලෙස 1778 දී අපවත් වූ වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන් වහන්සේ වැනි උත්තම භික්‍ෂුවක්‌ ලෙස පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ද සලකනු ලැබේ. මාක්‌ස්‌වාදී නරි රැළ ද, යූ.එන්.පී. අලි රැළද, ශ්‍රී ල.නිප. ගෙඹි රැළද විසින් 1970 ගණන්වල සිට මාරුවෙන් මාරුවට විනාශ කරන ලද මේ රටේ ශාසනාලය 1977 වන විට හොඳටම බංකොලොත් විය. ඒ සසුන ප්‍රබෝධමත් කර, හිස්‌වූ පන්සල් බොදුනුවන්ගෙන් යළි පුරවාලීමට උන්වහන්සේගේ ගීතවත් බණ දෙසුම් සහ මධුර මනෝහර බෝධි පූජා උපයෝගී විය.

පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගේ මුල් නම ලාල් බුද්ධදාස ප්‍රනාන්දුය. ලාල් බුද්ධදාස උපන්නේ 1940 ජුනි 22 වැනිදාය. ඔහුගේ පියා ගොවියෙකි. මව සරල ගෘහණියකි. ඔහුට සොයුරෝ තිදෙනෙක්‌ සහ සොයුරියෝ තිදෙනෙක්‌ වූහ. පිළිවෙලින් නල්ලූරුවේ සිරි සීවලී විද්‍යාලයෙන්ද, පානදුරේ සිරිල් ජෑන්ස්‌ විද්‍යාලයෙන්ද, හොරණ විද්‍යාරත්න පිරිවෙනෙන්ද බුද්ධදාස දරුවා උගත්තේය. ඔහුගේ දහම් පාසල නල්ලූරුවේ සිරි විමල දහම් පාසලය.පුංචි බුද්ධදාස පන්සල් ඇසුරට මහත්සේ ලොල් වූවෙකි. තරුණ වියට පත්වූ පසු අනුරාධපුරය බලා ගිය ඔහු එම ශුද්ධ නගර සංරක්‍ෂණ මණ්‌ඩලයේ ලිපිකාරකමක්‌ ලබා ගත්තේය. විවේක හැම වෙලාවක්‌ම ඔහු ගත කළේ ජය සිරි මහ බෝ සමිඳුන් අභියස හෝ මහමෙව්නාවේ සමාධි පිළිමය ඇසුරෙහිය. ක්‍රමයෙන් ඔහු භාවනාවට පුරුදු විය. අනතුරුව ගිහිගෙයි ඇති දුෂ්කර නීරස බව අවබෝධ කර ගත්තේය. මේ අතර දිනෙක මිහින්තලේදී දොඩම්පහළ චන්ද්‍රසිරි නමැති ආරණ්‍යගත භාවනානුයෝගී භික්‍ෂුව සමඟ කතාබහ කිරීමට බුද්ධදාසට හැකි විය. ගිහිගෙය අත්හැර භාවනානුයෝගී වීමට තමා තුළ අදහසක්‌ ඇති බව උන්වහන්සේට පැවසූ බුද්ධදාස උන්වහන්සේගේ උපදෙස්‌ පරිදි 1966 දෙසැම්බර් 22 වැනිදා කලපලුවාවේ ගෝතම තපෝවනයේදී “තපෝවනයේ අත්ථකුසල යන නමින් පැවිදි විය. අත්ථකුසල සාමනේරයන්ගේ ආචාර්යෝත්පාදයාණන් වහන්සේ වූයේ කඩුවැල්ලේ වංගීස නායක තෙරණුවෝය. ස්‌වල්ප කලකට පසු අත්ථකුසල සාමනේරයෝ උපසම්පදාව ලබා පානදුරේ අරියධම්ම ලෙස සිය ශාසනික මෙහෙවර ආරම්භ කළහ.

පානදුරේ අරියධම්ම හිමියෝ මිහිරි හඬින් කවි ගැයීමට ඉමහත් හපනෙකි. ලාල් බුද්ධදාස ලෙස ගත කළ ළමා වියේදී උන්වහන්සේ ගී ගැයීමට ප්‍රකට විය. මේ ලිපියේ මුල සඳහන් කළ පරිදි 70 දශකය යනු මේ රටේ වැසියන් මහත් පීඩා විඳි යුගයකි. 1971 දී ඔවුහු සිය ජීවිතයේ මුල් වතාවට ත්‍රස්‌තවාදය යන වචනය හඳුනා ගත්හ. ඒ ජවිපෙ කැරැල්ලේදීය. ඉන් පසු එවකට පැවැති සමගි පෙරමුණු ආණ්‌ඩුව මහා සංග්‍රාමයක්‌ අරඹා සහල් සහ පාන් පරිභෝජනය සීමා කළේය. සමගි පෙරමුණු ආණ්‌ඩුව සැදී තිබුණේ මාක්‌ස්‌වාදී බලවේග දෙකක්‌ වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, වාමාංශික ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌ වීමෙනි. ආණ්‌ඩුව තුළ සිටි කොමියුනිස්‌ට්‌ බලවේග නිසා බුදු සසුන වෙනුවෙන් තම අභිමතය පරිදි වැඩ කරන්නට අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියට හැකි නොවීය.

ඉන්පසු එන්නේ 1977 න් පසු එළැඹි ඡේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික යුගයය. ඩුබායි ගොස්‌ එන අය ගෙනා අඩි තුන හතර පළල කැසට්‌, “රේඩියෝ” අතින් ගෙන බයිලා කැසට්‌ මගින් බයිලා වාදනය කරමින් රටේ තරුණ පරපුර ශ්‍රීපාද කන්ද තරණය කළ ඒ යුගය මෙරට සංස්‌කෘතියේ ලොකුම අවුල ඇති කළ හැරවුම් ලCෂ්‍යයයි. මේ තත්ත්වය සැලකිල්ලට ගත් පානදුරේ අරියධම්ම හිමියෝ අටවිසි බෝධි පූජාවක්‌ කවියට නැගූහ. එය මිහිරි හඬින් ගායනා කළහ. මේ බෝධි පූජා මුලදී පවත්වන ලද්දේ කොළඹ අවට පන්සල්වලය. ඒවාට සහභාගි වීමට මුලදී සැදැහැතියෝ විසි තිස්‌ දෙනෙක්‌ පැමිණියහ. පසුව එය දෙතුන් දහසක්‌ විය. අනුරපුරය වැනි තැනකදී මේ මිහිරි බෝධි පූජාව ශ්‍රවණය කිරීමට විසි තිස්‌ දහසක්‌ පැමිණියහ. ක්‍රමයෙන් අරියධම්ම හිමියෝ රටේ ජනමනස තුළට කාවදින්නට වූහ. ඇතැම් සැදැහැතියෝ උන්වහන්සේගේ බෝධි පූජා කවි කුඩා පොත් වශයෙන් ලක්‍ෂ ගණනින් මුද්‍රණය කර නොමිලයේ බෙදන්නට වූහ. 1978 අග භාගයේදී උන්වහන්සේ විසින් මාතලේදී පැවැත්වූ අටවිසි බෝධි පූජාවක්‌ බැතිමත්හු පනස්‌ හය දහසක්‌ සහභාගි වූහ. ඇතැම් විට කිසියම් විහාරස්‌ථානයකදී උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් එක දිගට මාසයක්‌ පුරා පැවැතිණි. එකල මේ රටේ සිටි වඩාත්ම ජනප්‍රිය බෞද්ධ භික්‍ෂුව පමණක්‌ නොව වඩාත්ම ජනප්‍රිය චරිතය වූයේද පානදුරේ අරියධම්ම භික්‍ෂූන් වහන්සේය. උන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් පිළිබඳවත් ප්‍රවෘත්ති කිසි විටෙකත් පුවත්පත්වල පළ නොකරන ලදී. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය නොකරන ලදී. එහෙත් අරියධම්ම හාමුදුරුවන් වහන්සේ බෝධි පූජා පවත්වන්නේ කොතැනද ඒ ගැන මුළු රටම දැන සිටියේය.

අරියධම්ම හාමුදුරුවන් වහන්සේ ඉතා යහපත් සෞඛ්‍යයක්‌ තිබූ අයෙකි. දවසේ පැය 24 ම වැඩ කළ උන්වහන්සේ ඇතැම් විට දෙපැයක්‌ නිදා ගත්තේ දින තුන හතරකට වරක්‌ බව කියනු ලැබේ. මේ අතර දිනක්‌ බෝධි පූජා පින්කමක්‌ සඳහා පේරාදෙණියට වැඩම කළ අරියධම්ම හිමියෝ හදිසියේම රෝගීව පේරාදෙණියේ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන ලදහ. මෙය සිදු වන්නේ 1986 අවුරුද්දේ එනම් මෙයට වසර 30 කට පෙර මැයි මාසයේ 26 වැනිදා සවසය. රෝහල් ගත කර පැයක්‌ තුළ උන්වහන්සේ අපවත් වූහ.

අපවත්වන අවස්‌ථාවේදී අරියධම්ම හිමියෝ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි සම්බෝධි විහාරයේ විහාරාධිපතින් වහන්සේය. බුදු දහමට විකල්ප නැත. එහෙත් බෞද්ධ වැසියන් උදාසීන වූ විට ඔවුන් යළි පණ ගැන්වීම සඳහා විකල්ප මාර්ග ඇත. පානදුරේ අරියධම්ම හාමුදුරුවන් වහන්සේගේ බෝධි පූජා සංකල්පය එවැනි සාර්ථක විකල්ප මාර්ගයකි. අරියධම්ම හාමුදුරුවන්ගේ හදිසි අපවත් වීම ගැන විවිධ කතන්දර තිබේ. වැඩි දෙනා උන්වහන්සේගේ අපවත් වීම ගැන සැක පහළ කරති. කිසිවකු විසින් උන්වහන්සේ ඝාතනය කරන ලද්දේය යන මතය පසුගිය අවුරුදු 30 තිස්‌සේම පවතී. මෙය ඇත්තක්‌ද?

විශේෂ ලියුම්කරුවකු විසිනි