කාන්තාරයක්ව තිබූ පොළවේ, අතින් පැල සිටුවා අක්කර 1360 ක වනාන්තරයක් හැදූ මිනිසා

ජාදව් මොලායි පායෙං ඉන්දියාවේ ජීවත් වූ වැඩි අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි මිනිසෙකි. ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ බ‍්‍රහ්මපුත‍්‍ර නම් විශාල ගං ඉවුරේ පිහිටි කුඩා ගමක ඔහු ජීවත් විය. 1979 වර්ෂයේ එක් දිනක ඔහුගේ සිතුවිලි කිසිදා නොසිතූ අරමුණක් වෙනුවෙන් නාභිගත වූයේ එම ප‍්‍රදේශය විනාශ කරමින් ගලා ගිය විශාල ගං වතුර නිසාවෙනි.

ඔහු ජීවත්ව සිට ගමට යාබදව ගං ඉවුරේ තිබුණේ අක්කර ගණනක් විශාල වැලි තලාවකි. ගං වතුරෙන් පසුව වියළී ගිය වැලි තලාවට ගිය ජාදව්ට දකින්නට ලැබුණේ සර්පයින් විශාල ප‍්‍රමාණයක් එහි මිය ගොස් තිබුණු දර්ශනයකි.

මෙයින් ඉමහත් කම්පාවට පත්වූ ඔහු මරණ වලට හේතුව සොයා බැලීය. ගංවතුර නිසා වැලිතලාවට ආ සර්පයින් පසුව එහි දැඩි හිරු රශ්මිය දරාගත නොහැකිව විජලනයට පත්වී මියගොස් ඇති බව ඔහුට සොයාගන්නට හැකිවිය.

ගැටලූවට විසදුම මෙම වැලි තලාව මත ගස් සිටුවීමයි. වහාම ඔහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළේ ඉන් පසුවයි. වන සංරක්ෂණ නිලධාරීන් පැවසූයේ නිසරු වැලි තලාවේ වන වගා කළ නොහැකි බවත් එහි වැවිය හැක්කේ උණ බම්බු පමණක් බවත්ය. ගැටළුවට ඔවුන්ගෙන් විසදුමක් නොලැබුණි.

ඉන් පසු එවකට 16 හැවිරිදි දරුවෙකු වූ ජාදෙව් තීරණය කළේ මෙහි වන රෝපනය තමන් විසින් තනිව හෝ සිදුකළ යුතු බවයි. නිළධාරීන් පැවසූ ආකාරයට උණ බම්බු මොටෙයියන් කිහිපයක් වැලි තලාවේ සිටුවා දිනපතා ජලය දමමින් කුඩා උණ පදුරක් ඔහු අතින් මුලින්ම නිර්මාණය විය.

මිනිසුන් උගතුන් යැයි මනින පාසල් අධ්‍යාපනය ඔහු තුළ නොතිබුණත් ඇතැම් උගතුන්ට කිසිදා හිමිකර ගත නොහැකි සොබා දහමේ අධ්‍යාපනයෙන් ඔහු පෝෂණය වී සිටියේය.

ජෛව විවිධත්වය සම්බන්ධයෙන් මහා ප්‍රාඥායෙකු වූ ඔහු එම දැනුම ලබා ගත්තේ සොබා දහම සමග ඒකාබද්ධ වීමෙනි. පස සරු කිරීමට ගමෙන් එකතු කරගත් රතු කූඹින් ගෙනවිත් දැමූයේ මේ දැනුම උපයෝගී කරගනිමිනි.

වැලිතලාව තුළ තිබූ සරු පස් එකතු කිරීම කූඹින් අතින් සිදුවිය. එම පෝෂණය ලබා ගනිමින් ඔහු වගා කළ කුඩා පැල රූස්ස ගස් බවට ටිකෙන් ටික පත්විය. මෙසේ වසර 30ක කාලයක් නොකඩවා ඔහු තම වනාන්තරයේ වැඩෙහි යෙදුණේය.

 

දිනෙන් දින විශාලවූ වනාන්තරය විවිධ වෘක්ෂ වර්ග දහසකට අධික ජෛව විවිධත්වයකට හිමිකම් කියන මහා වනාන්තරයක් බවට පත්විය. ඔබ පුදුමයට පත්වන කරුණ නම් මේ වන විට එම වනාන්තරය අක්කර 1360ක විශාලත්වයෙන් යුතු මහා ඝන කැළෑවක් වීමයි. එය තනි මිනිසෙකුගේ නිර්මානයක් වීම ඊටත් වඩා පුදුම උපදවන කරුණකි.

ලොව පුරා මිනිසුන් පුදුමයට පත් කළ මොලායි වනාන්තරය බිහිවුණේ මේ ආකාරයෙන් තනි මිනිසෙකුගේ දැතෙනි. මෙම වනාන්තරයට මොලායි රක්ෂිතය ලෙස නම් තැබුණේ ජාදව් මොලායි පායෙං තම මුළු ජීවිතයම කැප කර නිර්මාණය කළ මේ සුවිශාල වනාන්තරය වෙනුවෙන් ඔහුට කරන උපහාරයක් ලෙසිනි.

එහෙත් දැන් මෙහි සින්නක්කර හිමිකරුවා ජාදව් නොවේ. මේ මහ වන ලැහැබ තුළ ගිජු ළිහිණියන්, විවිධ කුරුළු වර්ග, වදුරන්, රිලවුන්, සාවුන්, මුවන්, වළසුන් පමණක් නොව දුර්ලභ රාජකීය බෙංගාල කොටින් පවා අයිතිකරුවන් වී ජීවත්වේ. ජාදව් මෙම නව හිමිකරුවන්ට තමාගේ මුළු ජීවිතයම කැප කළ නිර්මාණය කළ සම්පත නොමිලේම පවරා දී ඇත්තේ ඉතාමත් සතුටිනි.

ජාදව් පවසන ආකාරයට ඔහු ඉතාමත් අකමැති හිමිකරුවන් පිරිසක්ද මේ වනයට අයිතිවාසිකම් කීමට උත්සාහ දරා ඇත. ඒ අවට ගම් වල වාසය කරන ගස් කපා ලී ඉරන කැළෑ පාළුවන් හා සතුන් දඩයම් කරන මස් වැද්දන්ය. ඔවුන් ගහ කොළ විනාශ කිරීමටත් සතුන් දඩයම් කිරීමටත් පටන්ගෙන ඇත.

මෙය ඉවසාගත නොහැකි වූ ජාදව් අවට ගම්වලට ගොස් මෙසේ තමන් විසින් මහත් කැපවීමෙන් ඉදිකළ වනාන්තරය විනාශ නොකරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු දැන් එම තත්වය පාලනය වී ඇති බව ඔහු පවසයි.

අදටත් ඔහු වනාන්තරය අද්දර කුඩා පැළක තම බිරිද සමග මීකරි හා එළකිරි විකුණා ලැබෙන ආදායමෙන් තම සරල දිවි පෙවෙත ගෙවමින් සිටියි. ජාදව් ගේ මෙම විශ්මකර්ම නිර්මාණය දුටු ඉන්දියානු රජය එම වනාන්තරය තවත් අක්කර 1200කින් පමණ වැඩි කිරීමට මේ වන විට කටයුතු යොදා ඇත.

ආසියාතික ජනතාව ඈත අතීතයේ සිටිම සොබා දහමට ප‍්‍රිය කළ සෙබා දහමත් සමඟ බද්ධ වූ ජන කොට්ඨාශයකි. අප අයත් වන්නේද මේ ජන කොට්ඨාශයටමය. මීට දශක කිහිපයකට පෙර 80% ක් ව පැවති මෙරට වනාන්තරය අද වන විට 20%කට පමණ සීඝ‍්‍රයෙන් අඩුව ඇත්තේ අප සැම සෙබා දහමින් ඈත් වීම නිසාවෙනි.

ශතවර්ශ ගණනාවක සිට මෙරටට පැමිණි සොබා දහම විනාශ කරන, සොබා දහම සමඟ සමග බද්ධ නොවූ විවිධ ජාතීන් විසින් පිටරටින් එන හැම දෙයක්ම උසස් යැයි පිළිගන්නා අපේ ජාතියේ ඔළුගෙඩි විනාශ කොට ඇත. සිංහරාජ වනයේ කැළෑ පාළුවන් විනාශ කරන තුරු, දුම්බර කඳුවැඩිය විනාශකාරීන් ගිනිතබන තුරු, විල්පත්තුව විවිධ මිනිසුන් තම වාස භූමිය කරගන්නා තුරුත් අප නිහඬව බලා සිටිනේනේ ඒ නිසාවෙනි.

නුදුරු අනාගතයේදීම වසර 30කට පෙර ජාදව් දුටු වැලි තලාව ලාංකික මිනිසුන් හට දැකගැනීමට හැකිවනු නොඅනුමානය. එසේ වීමට ප‍්‍රථම ලාංකික පුරවැසියන් අතරද ජාදව් වැනි මිනිසුන් උපදීවායි අප ප‍්‍රාර්ථනා කරමු.

– උපුටා ගැනීමකි