සිගරට් උවදුර අපේ රට වනසන්නේ මෙහෙමයි

අද (31) ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් දිනයකි. (31) එනම් අද නවම් පුරපසලොස්වක පොහොය දිනයයි. බෞද්ධ දර්ශනයේ බෞද්ධයෙකු පිළිපැදිය යුතු ශීලයන් පහක් තිබෙනා අතර ඉන් පස්වන ශීලය වන්නේ මත්ද්‍රව්‍ය වලින් වැලකී සිටීමයි.

මත්ද්‍රව්‍ය , මත් පැන් , දුම්වැටි ආදිය වර්තමානය වන විට බෞද්ධ , අන්‍යාගමික සමස්ත ශ්‍රී ලංකාවටම ගැටලුවක් වී තිබේ. බොහො දෙනෙකුට දිවි අහිමි කරන , තවත් පිරිසකට සෞඛ්‍ය ගැටලු ඇති කරනා මත් උවදුර අප රටට කරනා හානිය සුලුපටු නොවේ. මෙම මත් උවදුරෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට සහ මත්ද්‍රව්‍ය වලින් සිදුවන හානිය අවම කිරීමට පිහිටුවා තිබෙන මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සිය අරමුණ සපුරා ගැනීමට විශාල කාර්යක් ඉටු කරනවා.

පසුගිය දින ගාල්ලකැප්පිටියාගොඩ විජිතාරාම විහාරස්‌ථානයේ දහම් පාසල් සිසුන්ගේ කල්‍යාණ මිත්‍ර සමාජ නියමුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් පැවති අතර මෙම වැඩ සටහන සදහා විශේෂ දේශනය පැවැත්වීමට තෝරාගෙන තිබුනේ  මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ උපදේශක හා ප්‍රවීණ දේශක සරත් ගමගේ ය.

එහිදි සිය දේශනය සිදු කරමින් සරත් ගමගේ කියා සිටියේ

” සිගරැට්‌ නිසා අප රටේ දිනකට 100 ක්‌ පමණ මියයනවා. ඒ අතර සිගරැට්‌ සමාගම් මගින් විවිධ ක්‍රියාකාරකම් අනුගමනය කිරීම තුළින් දිනට අලුතින් 80 ක්‌ පමණ ළමයින් මේවාට ගොදුරු කරගන්නවා. මේ සිගරැට්‌වලට ඇබ්බැහි වීම නිසා අප රටේ දිනකට රුපියල් කෝටි 62 ක්‌ විනාශ වෙනවා. ඒ විතරක්‌ නෙමෙයි මේ නිසා අප රටේ තරුණ පිරිස්‌වල තරුණකම හා සතුට විනාශ කර දමනවා ” යනුවෙනි.