දරු මුණපුරන් එකොළොස් දෙනෙකු හමුදාවට දුන් වීර මාතාව කතා කරයි

තිස්වසරක කුරිරු යුද්ධය නිමාකර දමන්නට රණවිරුවන් කල කැප කිරීම මිළ කල නොහැකි සේවයක්.එවන් වූ රණවිරුවන් බිහිකල මවුපියන්ටද ජාතියේ ගෞරවය හිමි විය යුුතු වනවා.මේ කියන්න යන්නෙත් එවන් වූ වීර මාතාවක් ගැන. ඇය මේ රටට දායද කලේ එක රණවිරුවෙකු නොවේ.තමන්ගේ දරුවන් පස් දෙනාමත් මුණුපුරන්  හය දෙනෙකුත් මේ මාතාව හමුදා සේවයට යවා තිබෙනවා.

හඟුරන්කෙත මයිලපිටිය ගම්මානයේ පදිංචි ආර්.ඇම්. ලොකුමැණිකේ වන මෙම මාතාවගේ  එක් පුතකු රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ අතර තවත් පුතකු ආබාධිතයකු වී තිබෙනවා.හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පසුගියදා  සංවිධානය කර තිබුණු  “අස්වැන්න 2017” නම් වැඩසටහනකදී ඇයට වීර මාතා සම්මානයද ලබා දී තිබුණා.

රට වෙනුවෙන් තමන්ගේ යුතුකමද වගකීමද නොපිරිහෙලා ඉටුකල මේ මාතාව තමන්ගේ කතාව මාධ්‍යයට කිවුවෙ මේ විදියට.

“මගේ ස්වාමියා එච්.ජී. අබේසිංහ බණ්ඩා. ගොවිතැන් කරලයි අපි ජීවත් වුණේ. ස්වාමියා නැතිවෙලා දැනට අවුරුදු 15යි. මම ලොකු වෑයමක් කරලා ගැහැනු දරුවෝ 06 දෙනයි, පිරිමි දරුවෝ 05 දෙනයි හදා ගත්තා. දුවලා පුතාලා සියලුදෙනාම දැන් විවාහ වෙලයි ඉන්නේ. මගේ එක පුතෙක් පරන්තන්වල සටනේදී මළා. ඊට පස්සේ තවත් පුතෙක් ආබාධිත වෙලා ඉන්නවා. දරුවෝ පස් දෙනාම හමුදාවට එක්වෙනකොට පලයන් පුතේ කොටින්ගෙන් රට බේරාගනින් මගේ පුතාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි කියලා ඔළුව අතගාලා ආශීර්වාද කරලා පිරිත් කියලයි පිටත් කළේ.

මම හඟුරන්කෙත සී.සී. විද්‍යාලයට ගියේ අටවැන්නට විතරයි. උඩවත්තේ ජයසේකර මහත්තයා විදුහල්පති ඒ කාලේ. මගේ ජීවිතේ අමතක නොවන දේවල් අතරින් මම ලස්සන වේදිකාවකට කැඳවලා මගේ ස්වාමියා ගැනත් සිහිකරලා මගේ දරුවන් පස් දෙනෙක් යුද්දෙට යැවූ නිසා ඩියාරෝ මහත්තයා (ප්‍රාදේශීය ලේකම්තුමා) මට මේ සම්මානයක් දීම මගේ ජීවිත කාලෙටම එවැනි උත්සවයකට කවරදාකවත් සහභාගි වෙලාම නැති නිසා කවරදාකවත් අමතක වෙන්නෑ. චිත්‍රපටයක් වගේ මතකයට එනවා.
දරුවන් නිසා ලැබූ ඒ අවස්ථාවේ මගේ ඇස්වලින් කඳුළු කඩා වැටුණා. මම දැන් ඉන්නේ හරිම සතුටෙන්. දඹදිව දෙපාරක් ගියා. සෑම පෝයකටම සිල් අරගන්නවා. වැඩිහිටි සමිතියේ භාණ්ඩාගාරික ලෙසත් වැඩ කරනවා. හැම දරුවෙක්ම මට උදවු පදවු කරනවා. ලෙඩක් දුකක් නෑ. මස් මාංසවලින් නම් තොරයි.

ඒ විතරක් නෙවෙයි. දරු මුනුපුරෝ 17 දෙනෙක් ඉන්නවා. කියන්ට සතුටුයි ඉන් මුනුපුරෝ හය දෙනෙක් දැන් ඉන්නේ හමුදා සේවයේ”