මුහමා‍ලේදී කොටි බංකරය කඩා දිරියෙන් සටන්වැද දිවිපිදූ මේජර් ඉන්දික වලිසුන්දර

අද අප ජීවමානව සිටින්නේ ඔවුන් කල අප්‍රමාණ කැපවීම නිසාය

තම දිවි නොතකා ජීවිතය පුදදුන් වීරෝධාර රණවිරුවන්ට වීරත්වය වෙනුවෙන් පුදදෙනු ලබන ඉහළම සම්මානය වන්නේ පරම වීර විභූෂණ පදක්කමය. මීට පෙර විසි නවදෙනකු ඊට උරුමකම් කී අතර ඉකුත් 24 දා පැවති වීරවික්‍රම පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී ජනපති අතින් තවත් රණවිරුවන් තිදෙනකුට එම පදක්කම පිරිනැමිණි.  මේ කතාව ඒ අතරින් එක් විරුවකු ගැනය.

ත්‍රිකුණාමලය අත්පත් කරගෙන උතුරට ඇති නාවික සැපයුම් නවත්වා යාපනය අර්ධද්වීපයම තම අණසකට ගැනීම එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ සමස්ත සැලසුම විය.

ඒ සඳහා වූ යුද සැලසුම් ක්‍රියාවට නංවමින් මාවිල්ආරු සොරව්ව වසා දමා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාට  හමුදා මූලස්ථානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කෙටි ත්‍රස්තවාදීහු ක්‍රියාත්මක වූහ.
ඉන් පසුව කොටි නායක ප්‍රභාකරන්ගේ  යාපනය අල්ලන සටනට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කළේය.
රිවිරැස හමුදා මෙහෙයුමෙන් 1995 දී යාපනය අර්ධද්වීපය මුදා ගැනීමෙන් පසුව කොටි ත්‍රස්තයන්ගේ උතුරු ආරක්ෂක වළල්ල මුහමා‍ලේට සීමා වූයේය. එවකට ජාතික පෙරමුණ (National Front Line) ලෙස හැඳින්වූයේ මුහමා‍ලේය. මුහමා‍ලේ ඉදිරි ආරක්ෂක වළල්‍ලේ (Forward Defence Line-FDL) සෙබළුන්ගේ කැපවීම යාපනය අර්ධද්වීපයේ අරක්ෂාව රැඳී තිබුණි. ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අත්සන් කළ නෝර්වේ සටන් විරාම  ගිවිසුම ප්‍රකාරව කොටි පාලන ප්‍රදේශවල සිට යාපනයට පැමිණෙන සිවිල් වැසියන් හා වාහනද, යාපනයේ සිට වන්නිය දෙසට යන වාහනද පරීක්ෂාවට ලක්කෙරුණේ මුහමා‍ලේ පිහිටි හමුදා මුර‍පොළේදීය. මුහමා‍ලේ පඳුරු සහිත  කැලෑවලින් ද, නාගර් කොවිල් කඩොලාන සහිත ප්‍රදේශයකි.  කිලාලි කලපුව දෙසින්ද යුත් කිලෝමීටර් අටක ආරක්ෂක වළල්ලක් එමගින් ආවරණය වූයේය. 2006 අගෝස්තු වනවිට මුහමා‍ලේ ආරක්ෂාව භාරව සිටියේ මේජර් ජෙනරාල් සනත් කරුණාරත්නය. කර්නල් ශාන්ත දිසානායක මුහමා‍ලේ බළසේනාධිපති විය. කර්නල් අරුණ ජයසේකර නාගර්කෝවිල් බලසේනාධිපති වූඅතර කර්නල් රුවන් කුලතුංග  එළුතුමඩිඩුවාල්හි බළසේනාධිපති විය.  53 වන සේනාංකයට අයත් කර්නල් කමල් ගුණරත්න යටතේ වූ ගුවන් සංග්‍රාමික බළ සේනාවද හදිසි අවස්ථාවක ගුවනින් ගොඩබැස්සවීමට  දෙවන ආරක්ෂක වළල්ලට පසුපසින් ස්ථානගතව සිටියහ.

කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ඔබ්බෙන් දිගින් දිගටම එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වැඩිවෙමින් තිබෙන බව මුහමා‍ලේ 55 සේනාංක බුද්ධි නිලධාරියා වූ මේජර් ශිරාන් වැලිගම මේජර් ජෙනරාල් කරුණාරත්නට බුද්ධි තොරතුරු ලබාදුන්නේය. සතුරු ප්‍රහාරයකදී උතුරු ආරක්ෂක වළල්‍ලේ ආරක්ෂාව සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා සැලසුම් තම නිලධාරින් හා එක්වී සකස් කළ මේජර් ජෙනරාල් කරුණාරත්න ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, පතොරම්  ද්‍රව්‍ය ද මාසයකට අවශ්‍ය තරම් රැස්කර තැබුවේය.  ඒ සටනකදී පලාලිවලින් ලැබෙන ආධාර වැළකුණහොත් ඊට මුහුණ දීම  සඳහාය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මුහමා‍ලේ ආරක්ෂක වළල්‍ලේ ආරක්ෂාව වෙනුවෙන් සියලු  පහසුකම් සපාය දුන්නේ එහි  සම්පූර්ණ වගකීම ඔහු මතවූ නිසාය.

2006  අගෝස්තු  08 දා මුහමා‍ලේ පිරික්සුම් මුර‍පොළේදී වන්නියේ සිට යාපනයට යෑමට පැමිණි ලොරියක ඩීසල් ටැංකියේ සූක්ෂම ලෙස අටවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවි අටක් සොයාගැනීමත් සමග අනතුරක සේයාවක් පළවිය. ඉන් දින තුනකට පසුව කිලිනොච්චියේ සිට පැමිණි ලොරියක ඩීසල් ටැංකියේ සූක්ෂම ලෙස සඟවා තිබූ ටී. 56 අවි 16ක් හා පුපුරන ද්‍රව්‍ය මාර්ග බාධකයේ පරික්ෂාවේදී ඉංජිනේරු සෙබළුන්ට හමු විය. කොටි ත්‍රස්තයන් ප්‍රහාරයකට අර අදින බව මෙයින් තවදුරටත් පසක් විය. එදින (11) සවස 5.30ට සුපුරුදු ලෙස මුහමා‍ලේ මාර්ග බාධකය වසා දැමීමට භට පිරිස් සූදානම් වෙද්දී වන්නියේ සිට පැමිණෙන අවසන් බස් රථය මාර්ග බාධකයට පිවිසුනේ දරුණු වෙඩි වරුසාවක් හමුදා භට පිරිස්වලට එල්ල කරමිනි. කොටින්ගේ කාලතුවක්කු හා මෝටාර් වෙඩි වරුසා මැද කොටි ත්‍රස්තයෝ බුරුතු පිටින් පැමිණ මුහමා‍ලේ, නාගර්කෝවිල්, කිලාලි, එළුතුමඩ්ඩුවාල් ආරක්ෂක වළලු වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ. කලින් යොදා තිබූ ආරක්ෂක සැලසුම් උපයෝගි කරගනිමින් හමුදා භට පිරිස් දිවි හිමියෙන් සටන් කරන්නට වූහ. දරුණු වෙඩි ප්‍රහාර මධ්‍යයේ ආරක්ෂක වළල්ලම ගිනියම් වෙද්දී ඉදිරි ආරක්ෂක වළල්‍ලේ භට පිරිස් ඇතැම් ස්ථානවලින් දෙවන ආරක්ෂක වළල්ලට පසුබැස ගත්හ.

මෙම සටන ඇරඹෙද්දී මේජර් ජනරාල් සනත් කරුණාරත්න නිවාඩු ලබා ගොස් සිටියෙන් සේනාංකය තුළ සිටි සන්නාහ සන්නද්ධ බළකා බල සේනාධිපති බ්‍රිගේඩියර් මනෝ පෙරේරා, කාලතුවක්කු සම්බන්ධිකාරක නිලධාරි කර්නල් දේවින්ද පෙරේරා, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් සරත් වීරවර්ධන යන නිලධාරීහු සැලසුම් කර තිබූ ආකාරයට සටන මෙහෙයවන්නට වූහ. තමා එනතුරු කලින් සැකසූ සැලසුම් ක්‍රියාත්මක කරන්නැයි බ්‍රිගේඩියර් මනෝ පෙරේරාට උපදෙස් දුන් සේනාංකාධිපතිවරයා යාපනයට යාමට සූදානම් විය. වහාම යාපනයට ගොස් සේනාංකයට වාර්තා කරන්නැයි යුද හමුදාපතිවරයා දැන්වූ බව හමුදා බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජම්මික ලියනගේ ජෙනරාල් සනත් කරුණාරත්නට දැන්වීය.
කොටි ත්‍රස්තයන් මේ වන විට මුහමා‍ලේ මාර්ග බාධකයේ වර්ග කිලෝමීටරයක් පමණ ද කිලාලියේ තැන් කිහිපයක් අල්ලා ගෙන හමාරය. පලාලි ගුවන් තොටුපළටද කොටි කාලතුවක්කු ප්‍රහාර එල්ල කළහ.

කොටි ත්‍රස්තයන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තුවාල ලබා සිංගප්පූරුවේ ප්‍රතිකාර අවසන් වන්නට පෙර මෙරටට පැමිණ සිටි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වෛද්‍ය උපදෙස් පවා නොතකමින් හමුදා මෙහෙයුම් මූලස්ථානයේ සිට ඉදිරි සටන මෙහෙයවීය. හමුදාපතිවරයා සිංගප්පූරුවේ සිට පැමිණ ගතවූයේ සති දෙකක් පමණි.
කොටි ත්‍රස්තයන්ගේ සමස්ත සැලසුමේ පළමු අදියර වූයේ කිලෝමීටර් අටක් පමණ වූ මුහමා‍ලේ ආරක්ෂක වළල්ලට එකවර ඇතුළතින් හා පිටතින් පහරදී හමුදාව ව්‍යාකූල තත්ත්වයට පත්කර කොඩිකාමම් දක්වා හමුදා ආරක්ෂක වළල්ල කිලෝ මීටර් තුනක් දක්වා පසුබැස්සවීමය. කොඩිකාමම්හිදී අගෝස්තු 12දා උදෑසන කෑම ගෙන රාත්‍රී කාලය වන විට යාපනයට ඇතුළුවීම සමස්ත සැලසුම විය. යාපනය නගරයට කඩා වැදීමට කයිට්ස්, මන්ඩතිව් දූපත්වලින් ඇතුළුවීමට සැලසුම් වී තිබුණි. පාබල භටපිරිස් තම උපරිම වෙඩි බලය යොදා දරුණු සටන්වල නිරතවෙද්දී නිවාඩු ගොස් සිටි සේනාංකාධිපති මේජර් ජෙනරාල් කරුණාරත්න සමග කොළඹ පැමිණ සිටි කර්නල් කමල් ගුණරත්න, වින් කමාන්ඩර් රවී ජයසිංහ  (පලාලි ගුවන් මෙහෙයුම් සම්බන්ධීකරණ නිලධාරි) ඇතුළු නිලධාරීහු කාලතුවක්කු ප්‍රහාර මධ්‍යයේ ගුවනින් යාපනයට පැමිණියහ.

මේ වන විට ලුතිනන් කර්නල් ජාලිය සේනාරත්න යටතේ වූ හයවන ගජබා රෙජිමේන්තුව ගුවන් සංක්‍රමික බලසේනාව යටතේ මුහමා‍ලේ ආරක්ෂක වළල්‍ලේ භට පිරිස්වල සහායට යොදවා තිබුණි. ඉදිරි ආරක්ෂක වළල්‍ලේ සිටි හතරවන ගජබා භටපිරිස් මේ වන විට දැවැන්ත ප්‍රතිරෝධයකට මුහුණ දී සිටියහ. කොටි ත්‍රස්තයන් බංකර දහයක පමණ බලය අත්පත් කරගෙන සිටි අතර බංකර් මුදා ගැනීමට ගන්නා සෑම උත්සාහයකදීම වීරෝදාර සෙබළු මව්බිම වෙනුවෙන් දිවි දුන්හ. හමුදා විරුවන් ලෙයට ලෙය පුදා කළ සටනේදී ත්‍රස්තයන්ටද බරපතළ හානි සිදුවිය. “වලියා මට තවත් මේක අල්ලන් ඉන්න බැහැ. උඹේ කඳවුර දාල ගනින්. මෙතනින් මෙහාට ගියොත් ඉවරයි යැයි හතරවන ගජබා නිලධාරීයකු වූ කපිතාන් චින්තක ගමගේ සිය සහායට පැමිණි කපිතාන් වලිසුන්දරට දැන්වීය.

කොටි ත්‍රස්තයන් බිඳ දැමූ බංකර් පෙළ සංග්‍රාමික අතින් වැදගත් එකක් වූ අතර මෙය අල්ලාගත නොහැකි වුවහොත් සටන අසීරු වන බව අණදෙනා නිලධාරීහු දැන සිටියහ. මේ නිසා ගුවන් සංක්‍රමික බළකායක් සටනට පිවිසුණි.
මෙම භාරදූර වගකීම පැවරුණේ හයවන ගජබා රෙජිමේන්තුවේ චාලි කණ්ඩායම භාර නිලධාරි කපිතාන් ඉන්දික සමින්ද බණ්ඩාර වලිසුන්දරවය. සටන් පෙරමුණේම රාජකාරී කර දෙවතාවක් තුවාල ලැබුවද තුවාල සුවවන්නටත් පෙර සටන් බිමට පැමිණ අත්දැකීම් ඇති නිලධාරියකු වූ කපිතාන් ඉන්දික වලිසුන්දරට මෙම ප්‍රදේශය අල්ලා ගැනීම භාර විය.
“වලි ඔයාගේ ප්ලැටුන් එකක් 34 බංකරයට යවන්නැයි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජාලිය සේනාරත්න කපිතාන් වලිසුන්දරට උපදෙස් දුන්නේ එම ස්ථානය මුදා ගැනීමේ වැදගත්කම නිසාය. දෙවන ලුතිනන් ප්‍රියකුමාර (දැනට මේජර්) යටතේ වූ කණ්ඩායමක් සමග ඉදිරි සටන මෙහෙයවූ කපිතාන් වලිසුන්දර දරුණු සටනකින් පසුව කොටි ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ වූ බංකර් දහයක් යළිත් මුදා ගත්තේ තම සෙබළ කැලට සටන් පෙරමුණේම නායකත්වය දෙමිනි. එම සටනද දරුණුවට ඇවිලී ගිය අතර තම බංකර් අත් නොහැර දිවි හිමියෙන් සටන් කළ හයවන ගජබා භටපිරිස් අතරින් කපිතාන් ඩැනියල් සෝමපාලද, ආර්. පී. ජී. ප්‍රහාරයකින් දිවි පුදා තිබුණි.

බංකර් පෙළ අල්ලාගත් තම සගයන් වෙත දරුණු ප්‍රහාර මධ්‍යයේම ගිය කපිතාන් වලිසුන්දර ඔවුන්ට වතුර බෝතල් හා සිගරැට් දෙමින් ඔවුන්ගේ දිරිය වඩාලීය. ප්‍රියා (ප්‍රියකුමාර) සිගරැට් එකක් බිපන්. සෝමපාලත් මැරුණා බන්. හැබැයි කොල්ලනේ මේ කැලෑ කොළ කන සෙරෙප්පු දාගෙන එන එවුන් වගේ ‍නෙවෙයි උඹලා එයාර් මොබයිල් බ්‍රිගේඩ් එකේ. කොල්ලෝ උඹලා බය වෙන්නේ නැතිව   මුන්ට ගහපල්ලා යැයි සෙබළු දිරිමත් කරන්නටද කපිතාන් වලිසුන්දර අමතක නොකළේය.

දරුණු සටනකින් පසුව මුදාගත් බංකර්පෙළ අල්ලන්නට යළිත් කොටින්ගේ සියයක පමණ ප්‍රහාරක කණ්ඩායමක් කාලතුවක්කු හා මෝටාර් වෙඩි බලයද සමගින් එම බංකර් පෙළ වෙත කඩා පැන්නේ ද මෙය සංග්‍රාමික වශයෙන් වැදගත් තැනක් වූ නිසාය. එම සටනේදී කොටි ත්‍රස්තයන්ගේ දරුණු කාලතුවක්කු ප්‍රහාර මධ්‍යයේ හමුදා බංකර් පහක ආධිපත්‍ය යළි සතුරා සතු කරගෙන තිබුණි. හමුදා භට පිරිස් ආරක්ෂක වළල්‍ලේ සිටින නිසා හමුදා කාලතුවක්කු ප්‍රහාර සහායට ගැනීම අසීරු විය. මෙය සතුරාට වූ එක් වාසියක් විය.

ත්‍රස්තවාදීන් ඉදිරියේ දණ නැමීමට කිසිසේත්ම අකමැති වූ කපිතාන් වලිසුන්දර යළි එම බංකර් අල්ලන්නට නායකත්වය දෙන්නේ කොටින්ගේ පිරිස් බලය ගැනවත් නොසිතමින්ය. අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජාලිය සේනාරත්න අමතා ‘සර් මෙතැන ‍පොඩි දෙයක් තියෙන්නේ. අපේ අය මීටර් සියයයි පස්සට ඇවිල්ලා තියෙන්නේ. උදේ පාන්දරවෙද්දී ආටි, මෝටාර් ගහලා මෙතැන තලලා දෙන්න. මම මෙතැන ගහලා අල්ල ගන්නම්’ යැයි කපිතාන් වලිසුන්දර පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කීය.

අණදෙන නිලධාරීන්ගෙන් උපදෙස් ලැබුණේ දෙවන ලුතිනන් ප්‍රියකුමාරගේ කණ්ඩායම බංකරය අල්ලා ගන්නට යොදන ලෙසය. දෙවැනි ලුතිනන් ප්‍රියකුමාර මුහුණදුන් පළමු වැනි සටන් පෙරමුණ නිසා ‘සර් මෙයා ‍පොඩි වැඩියි මම එතැනට යන්නම් යැයි කපිතාන් වලිසුන්දර අණදෙන නිලධාරියාට දැන්වීය. වලිසුන්දර ඔයා ඉස්සර වෙන්න එපා. ප්‍රියකුමාරව යවලා බලමු යැයි අණදෙන නිලධාරියා දැන්වීය. යළිත් අහිමිව ගිය බංකර් පෙළ අල්ලන සටන කපිතාන් වලිසුන්දරගේ නායකත්වයෙන් ඇරඹෙන්නේ සතුරාට මොහොතකටවත් ඉස්සර වීමට ඉඩ නොදෙමිනි. ලුතිනන් ප්‍රියකුමාරට තනිවම සටන ගෙනයාමට නොදී ඉදිරි පෙළට ගොස් කොල්ලනේ කැලෑ කොළ කන එවුන්ට බය  නැතිව ගහපල්ලා කියමින් තම සෙබළු සමගම සතුරා සමග සටන් වදින්නට යුද අගල් දිගේ බංකරයෙන් බංකරයට යන්නට කපිතාන් වලිසුන්දර ක්‍රියා කළේය. කපිතාන් වලිසුන්දර දුන් නායකත්වය නිසා සතුරා අතට පත්වූ බංකර් පහෙන් හතරක් දරුණු සටනකින් පසුව මුදා ගත්තේ වීරෝදාර සෙබළුන්ගේ එඩිතර බව පෙන්වමිනි. අනෙක් බංකරය වු 35 වන බංකරය මුදාගැනීම සංග්‍රාමික වශයෙන් වැදගත්වූ අතර එම සටන අසීරු විය. තම සෙබළුන්ට නායකත්වය දෙමින් අත්බෝම්බ දෙකක් ගෙන කොටි ත්‍රස්තයන් සිටි බංකරය වෙත පහර දෙන ගමන්ම තමා අත වූ අවියෙන් වෙඩි වරුසාවක් නිකුත් කරමින් කපිතාන් වලිසුන්දර බංකරයට කඩා පැන්නේ රණකාමියකු ලෙසය. බංකරය තුළට කඩා වැදී බංකරය තුළ සිටි කොටි ත්‍රස්තයන් දෙදෙනකු සමග මුහුණට මුහුණ වෙඩි හුවමාරුකින් බරපතළ තුවාල ලැබුවද තම අවියෙන් අවසන් උණ්ඩයත් නිකුත් වනතුර සතුරන් දෙදෙනාට වෙඩි තබා මාතෘභූමියේ උන්නතිය වෙනුවෙන් අවසන් හුස්ම හෙළුවේ බංකරයද මුදා ගනිමිනි.

තම ජීවිතය නොතකා මව්බිම වෙනුවෙන් කළ ඒ උත්කෘෂ්ඨ අමිල මෙහෙවර වෙනුවෙන් කපිතාන් ඉන්දික වලිසුන්දර මේජර් නිලයට උසස් කර පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබුවේය.1977 සැප්තැම්බර් 03දා නිමල් බණ්ඩාර වලිසුන්දර මහතාට හා පද්මිණී කුමාරි මහත්මියට දාව උපන් ඉන්දික සමින්ද බණ්ඩාර වලිසුන්දර එම පවු‍ලේ එකම පුත්‍රයාය. ඉන්දිකගේ නැගණිය රවින්ද්‍රනි වලිසුන්දරය. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ඉගෙනුම ලබා උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්ව සරසවි වරම් ලැබුවද සරසවිය වෙනුවට රණබිමට යාමට ඉන්දික සූදානම් වන්නේ මව්පියන්ට හොර රහසේය. 1997 වන විට යුද්ධය දරුණුවට ඇවිලී ගිය කාල වකවානුවක් වුවද නොබියව හමුදාවට එක්වීමට අයදුම්පත් යැවීය. අප්පච්චි මම ආමි එකට යනවා යැයි ඉන්දික ගෙදරට කියන්නේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ ලිපිය නිවසට ලැබුණු මොහොතේදීය. තම එකම පුතා යුද්ධයට යැවීමට වලිසුන්දර මහතා මුලදී අකමැත්ත පළ කළද ‘අප්පච්චි අපි හැමදාම ජීවත්වෙනවද මම කොහේ හිටියත් මැරෙනවා. මට යන්න දෙන්න කියා ඇවිටිලි කර පියාගේ කැමැත්ත ගන්නට ඉන්දිකට හැකි විය.

දෙමාපිය අවසරය මැද යුද හමුදාවට එක්වී ගජබා රෙජිමේන්තු නිලධාරියකු ලෙස සටන් පැවති ප්‍රදේශවලම සටන් පෙරමුණේ රාජකාරි කරමින් දෙවතාවක් යුද බිමේ තුවාල ලැබුවද සටන් බිම අත්නොහැර යන්නට තරම් මොහු රටට ආදරය කළේය. සිව්වැනි ඊළම් යුද්ධයේදී අභීත විරුවෙකු ලෙස දිවි පුදන්නේ සටන් පෙරමුණේ සියල්ලන්ටම උතුරු ආරක්ෂක වළල්ල රැක ගන්නට ආශිර්වාදයක් වෙමිණි.
තිස්ස  රවීන්ද්‍ර පෙරේරා