අසම්මත පෙමක පැටලුනු දිස්නා, චමින්දගේ අතින් අවසන් ගමන් යයි

යෞවනය බොහෝ සුන්දරය. ඒ සුන්දරතාවය සමහර විටෙක තරුණ ජීවිත විනාශ කරන බව පිළිගත යුතුය.
යෞවනයේ දී දුටු පමණින් ඇති කර ගන්නා බැදීම් අවිනිශ්චිතය. ඒ එවැනි බැඳීම් සඳහා වැඩි වශයෙන්ම බලපාන්නේ රාගය නිසාය.
රාගය බියකරුය. එය හැම විටම අත්කර දෙනුයේ විනාශයකි.
මේ කියන්න යන්නේ ද එවන් අපුරු ආදර අන්දරයක් නිසා සිදුවු විනාශයක් පිළිබද කතාවකි.
භද්‍රයෞවනයේ දි ඇති වු අසම්මත නුසුදුසු ආදරයක් මේ විනාශයට මුල වී තිබිණි.
අධිකාරි මුද්යන්සේලාගේ දිස්නා සෝබනී උපත ලබා ඇත්තේ නිකවැරටියට නුදුරු ගම්මානයකය.
ඇගේ මාපියන් ගොවිතැන් කරමින් සිය දරුවන් පෝෂණය කළේය. සෝබනී බාල වියේ පටන් ටිකක් දඩබ්බරය.
කවුරුන් කුමක් කීවත් ඇය ඊට අවනත වන්නේ නැත. එහෙත් ඇය ඉගෙනීමෙහි දස්කම් පෑවාය.
මේ නිසා ඇය ට කවුරුත් ආදරේ කළහ. ඉගෙනීමට දක්ෂ නිසා ඇය ට හොදට උගන්නවනු පිණිස ඇගේ මාපියන් ඇය පඬුුවස්නුවර පැත්තේ පාසලකට යැවීමට කටයුතු කළේය.
ඒපැත්තේම ගමකින් එම පාසලට අකුරු කිරීමට පැමිණි දිනේශ් මධුසංඛ සිසුවා සෝබනී සමග ආදරයෙන් වෙළි ඇත.
දිනේශ් පාසල් පෙම්වතෙකු වුවත් ඉගෙනීමෙහි දස්සයකු නොවීය. එහෙත් එය සෝබනීට ප්‍රශ්නයක් ගෙන දුන්නේ නැත.
උසස් පෙළෙන් පසු සෝබනී උත්සහ කළේ විද්‍යා පීඨයකට යන්නටය. ඇය ඒ විශ්වාසයෙන් සිටින අතර දිනේශ් යුද හමුදාවට සම්බන්ධවීමට හිතා ගත්තේය.
යුධ හමුදාවට බැඳුන පසු ටික කලකින් දිනේශ් සෝබනීව විවාහ කර ගෙන පවුල් ජීවිතයක් ගත කිරිමට සිහින මැව්වේය.
එහෙත් හමුදා සේවයට එක්වි ටික කලක් ගතවෙද්දී දිනේශ්ට හමුදා සේවය එපා විය. ඒ නිසා ඔහු කර ඇත්තේ යුද හමුදා සේවයෙන් පලා විත් ගෙදර නතරවි කීයක් හරි උපයා ගන්නා රස්සාවක් කිරීමය.
ඊට හේතුව වුයේ ඉතා ඉක්මනින් සෝබනීගේ උණුසුම උරම කර ගැනිමට ඔහුට අවශ්‍ය වීමය.
හරි හමන් රස්සාවක් නොතිබුණත් එන දෙයකට මුහුණ දීමේ අරමුණින් දිනේශ් අන්තිමේ දි රස්සාවක් වෙනුවට සෝබනී සිය ගෙදරට ගෙන ආවේය.
සෝබනී ගෙදර ගෙන ආ පසු ඇය ජීවත් කළ යුතු විය. මේ නිසා ඔහු ඒ සඳහා අපූරු රස්සාවක් සොයා ‍ගත්තේය. ඔහු ඊට මිතුරෙකුව ද සම්බන්ධ කර ගෙන ඇත. මේ අපුරු මිතුරන් දෙදෙනා කාගේ හරි යතුරු පැදියක් ඉල්ලා ගෙන මුහුණ ආවරණ සහිත ආරක්ෂක හිස් වැසුම් ද දමා ගෙන ගොස් මහ මඟ තනිපංගලමේ යන කාන්තාවන්ගේ කර පැළදි රන් දම්වැල් කඩා ගෙන පලා ගියහ.
මෙම රස්සාව දිගු කාලයක් කළ නොහැකි වු අතර දිනේශ් මධුසංඛ හා ඔහුගේ මිතුරා අන්තිමේ දි නතර වුයේ බන්ධනාගාරයේය.
ළාබාල වයසේ පසුවු සෝබනීට මේ නිසා අනේක වු දුක් කන්දරාවකට මුහුණ දීමට සිදුවු අතර සැළසුමකින් තොරව ආරම්භ කළ ඔවුනගේ පවුල් ජීවිතය ඉන් අනතුරුව කටු අකුල් පිරි මාවතක් විය.
සිය සැමියා ද නොමැතිව ජීවත්වීම අසීරු කාර්යයක් වු නිසා ඇය ඊළගට තෝරා ගත්තේ ඇගළුම් රැකියාවයි.
ඇගළුම් සේවිකාවක වශයෙන් රස්සාව කළ ඇය ඉඩ කඩ ලද මොහොතේ දී ස්වාමි පුරුෂයාගේ දුක සැප විමසීමට බන්ධනාගාරය වෙත ද ගියාය.
මෙසේ ගිය එක් අවස්ථාවක දි ඇයට තවත් එක් අපුරු චරිතයක් හමු විය. ඒ එම පුද්ගලයා විසින් දෙනු ලැබු දුරකතන අංකයක් නිසාය.
පසුව ඇය එම අංකයට ඇමතුමක් දුන් අතර එම අංකය හිමි තැනැත්තාද තම ස්වාමි පුරුෂයා මෙන්ම බන්ධනාගාරයේ සිටින රැඳවියකු බව ඇය දැන ගත්තාය.
මෙම අළුත් චරිතය මාදම්පේ ඉරට්ටකුලමේ පදිංචිකරුවකු වන චමින්දක ගුණවර්ධනය. ඔහු සිර ගත වි සිට ඇත්තේ සිදු කරණ ලද අපරාධ චෝදනාවන් නිසාය.
බන්ධනාගාරයේ ගත කළ ඔහු ඒ වන විටත් තනිකඩ ජිවිතයක් ගත කරමින් සිටි අතර සෝබනී දුටු මුල් දිනයේ දීම ඔහු ඇයගේ විශාල වෙනසක් දැක තිබිණ.
ඒ අනුව ඇය කෙරෙහි ලෙන්ගතු කමක් ඔහු හදවත තුළ ලියලමින් මතු වී ඇත.මේ නිසාම ඔහු ඕනෑ දෙයක් යයි සිතා සිය දුරකතන අංකය ලබා දී තිබිණි.
ටික දිනක් ගත වන විට මෙම දෙදෙනා පෙම්බස් දෙඩිම ද ආරම්භ කර ඇති අතර චමින්ද නිතර නිතර කියා ඇත්තේ තමා ළඟදීම නිදහස ලබා ගෙදර එන බවත් කිසියම් තීරණයක් ගන්නා බවත්ය.
බන්ධනාගාරයේ සිටි ස්වකීය සැමියාට වඩා චමින්දක‍ තුළ විශාල වෙනසක් ඇති බව සෝබනීට තේරුණාය. ඔහු නිතර ඇයට දන්වා ඇත්තේ දුක දරා ගෙන සිටින ලෙසටය.
චමින්දක බන්ධනාගාර ගත වී ඇත්තේ ද අධික ලෙසින් මත්කුඩු ඉරිමට පුරුදුවිම නිසා සිදු කළ යම් යම් අපරාධ චෝදනා මතය.
ඔහු මේ සියලු තොරතුරු සෝබනිට දන්වා තිබු අතර ඒ අනුව ඇය හා පවුල් ජිවිතයක් ගත කිරිමට තමා සුදානම් බවත් ඇය එසේ තමා හා පැමිණියහොත් තමා සියළු දුසිරිත් වලින් බැහැරව යහපත් මිනිසෙකුව ඇය රැක බලා ගන්නා බවට පොරොන්දු වි ඇත.
එම පොරොන්දුව මත චමින්දක බන්ධනාගාරයේ සිට පැමිණි පසු මත් ද්‍රව්‍ය භාවිතයෙන් හා මත් පැන් භාවිතයෙන් ඉවත් වු අතර යහපත් මනුස්සයෙක ලෙස ජීවත් වීමට කටයුතු කර ඇත.
ගෙදර පැමිණ ටික දිනකින් චමින්දක සෝබනිට තමන් හා ජීවත් වීමට එන ලෙසට ආරාධනා කර තිබිණ.
ඇය එක් වරටම එය පිළිගෙන නැති අතර තමා මේ වන විට යහපත් මිනිසෙකු බවට පත්වි ඇති බවත් ඇය තම සෙවනට නොඑන්නේ නම් තමා යළි මත්කුඩු වලට යොමු වන බවත් ඔහු ඇයට දන්වා ඇත.
මෙම කතාව නිසා වික්ෂිප්ත භාවයට පත් සෝබනී තම නිත්‍යාණුකුල පුරුෂයා අමතක කර චමින්දකගේ සෙවනට පැමිණියාය.
මේ නිසා පස්වනක් ප්‍රීතියට පත් ඔහු ඇය ඉතා ආදරයෙන් පිළිගෙන ඇත. ඇගේ පැමිණීමත් සමග සෝබනී චමින්දගේ බිරිද වුවාය.
ටික දිනක් ගත වන විට මෙම ගෙදරට ද යම් යම් ගැටළු ඇතුළු විය.
චමින්දක ට හරි හමන් රස්සාවක් නැතිව පවුලක් නඩත්තු කිරීම දුෂ්කර කාර්යයක් විය.
මාස දෙක තුනක් ගත වද්දී සෝබනී තුළ කිසියම් වෙනසක් ඇති බව චමින්දකට වැටහිණි. ඇය ඉල්ලන දේවල ගෙනැවිත් දීමට තමාට නොහැකි නිසා ඇය කලකිරිමෙන් සිටිනවා යයි සිතු ඔහු ගෙදර දොරේ වැඩ කරමින් ඇගේ සිත සතුටු කරන්නට උත්සාහ කරන්නට විය.
එහෙත් අවශ්‍ය දේවල් නොලැබෙද්දී ඇය ටිකක් දඩබ්බර වුවාය. දිනෙන් දින මේ තත්ත්වය බරපතල වු අතර මේ නිසා ඔහු ඇයට අමානුෂික ලෙසින් පහර දීමට ද පටන් ගත්තේය.
මෙම යුවල විසු නිවෙසට ජල සැපයුමක් නොතිබුණ අතර ඔවුන් දිය නෑමට යනුයේ අසල්වැසි නිවසකටය.
ඒ ගෙදර පිරිමියකු සිටින නිසා චමින්ද නම් කිසිසේත් සෝබනී එම නිවෙසට දිය නෑම පිණිස යාම ගැන කැමැත්තක් දැක්වුයේ නැත.
මේ නිසා ද මෙම යුවළ අතර නිතර ආරාවුල් ඇතිවිණි. චමින්දක නිතර පසු වුයේ ඇය කෙරෙහි ඇති වූ සැකයෙනි.
සෝබනී චමින්දකගේ සෙවනට පැමිණ මාස හයක් ගත වෙද්දී දෙදෙනාගේ පවුල් කෑම දෙදරා යන්නට විණ.
මේ නිසා චමින්දක සමඟ පැමිණියාට වඩා ගෙදරට වි ගාමන්ට් ගියා නම් මෙයට වඩා සතුටින් සිටින්න තිබුණු බව ඇය නිතර නිතර කීවාය.
චමින්කගේ ඇතැම් ක්‍රියා කාරකම් නිසා ඔහුගේ අයියා වන බුද්ධික ද ඔහු සහෝදර කමින් ඈත් කර දමා තිබුණි. තම මල්ලි සිදු කර ඇති දඩබ්බරකම් නිසා හිරේ ලැග නිදහස් වි ගෙදර ආ බවත් දැන සිටි ඔහු රස්සාවක් නැතිව සිටිය දි ගැනියෙකුව ගෙනැවිත් පවුල් කෑම ගැනත් එතරම් පැහැදිමකින් සිට නැත.
ඒ 2012 මාර්තු මස 25 වන දින ය. බුද්ධික සේවය කළේ හලාවත ප්‍රාදේශීය සභාවේ ය . නිවාඩු ඇති දිනවලඔහු සිය ත්‍රිරෝද රථය යොදා ගෙන හයර් යමින් අමතර මුදලක් හොයා ගැනිමට ද පුරුදුව සිටියේය. මෙදින ද ඔහු මාදම්පා පොළ අසල සිය ත්‍රිවිලය තබා ගෙන කුළී ගමනක් යන්න සුදානමින් සිටි ඇත.
එදින පස්වරු පහට පමණ යතුරු පැදියකින් පැමිණි චමින්දක සිය අයියා හමුවි තම බිරිදට අසනිප බැවින් තමා සමග ගෙදර යන්න එන ලෙස ඉල්ලා ඇත.
බුද්ධික එක් වරටම ඊට එකග වි නැති නමුක් කිහිපවතාවක්ම කළ ඉල්ලීම නිසා බුද්ධික සිය මලයා සමග ඔහුගේ නිවෙසට ගොස් ඇත. ඒ වන විට මල්ලීගේ බිරිද දැඩි ලෙසින් රෝගාතුරව සිටි අතර පසුව වහාම ඔවුහු ඇයව මාදම්පේ පර්යන්ත රෝහලට ගෙන ගියහ. අනතුරුව සෝබනී හලාවත මහ රෝහලට ගෙන ගොස් ඇතත් රාත්‍රිය වන විට ඇය මිය ගොස් ඇති බව වෛද්‍යවරු පැවසුහ.
චමින්දක සිය අයියාට දන්වා ඇත්තේ දෙදෙනා අතර සුළු ගැටුමක් වු බවත් එහිදි පහරක් ගැසු නිසා ඇය රෝගී වු බවත්ය . ඇගේ මෘත ශරීරය කපා පශ්චාත් මරණ පරික්ෂණ ය සිදු කළ හලාවත රෝහගේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය වි‍ශේෂඥ ඩි.කේ. විජේවර්ධන මහතා ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාව අනුව මිය ගිය කාන්තාවගේ කුසෙහි දින දෙක තුනක සිට කිසිදු ආහාරයක් නොතිබු බවත් ඇගේ සිරුර පුරා තැණින් තැන අතින් පයින් හා ලී පතුරකින් සිදු කළ පහර දීම් නිසා ඇති වු තුවාල 110 ක් තිබු බවත් අනාවරණය විය.
විත්තිකරු මරණකාරිය හා ආරාවුලක් ඇති කර ගෙන දින දෙක තුනක කාලයක් ඇය නිවාස අඩස්සියේ තබා ගෙන ඇයට කෘරත්වයෙන් සලකමින් අතින් පයින් ලි පතුරෙන් පහර දි ඇති බවත් ඇය අසාධ්‍යය තත්ත්වයට පත්වු පසු රෝහල් ගත කළ පසු ඇගේ මරණය සිදුව ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දී තිබිණි.
අවසානයේ ඇගේ මරණය සමිබන්ධයෙන් අත්අඩංගුවට ගත් විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.
පසුව ඇප මත මුදා හැරිය ඔහු වෙනත් විවාහයක් කර ගෙන ඇත. එම විවායෙන් ඔහුට පිය පදවිය ද උරුම විය.
මෙම මිණිමැරුම් නඩුව විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා විත්තිකරු මිනිමැරීමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුට මරණ දණ්ඩනය හිමි කළේය .
එම දඩුවම නියම කිරිමට ප්‍රථම තම නිවරද්‍යතාවට කරුණු කීමට අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් මෙම මරණය සිදු නොකළ බවය.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනි සිටි අතර විත්තිකරු වෙනුවෙන් නිතිඥ රුවන් චමින්ද ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.