අපි බැඳලා පොඩි කලයි, අත මිටත් හරි හිඟයි, දරුවෙක්ට කෝ ඉඩක්

හිතට දැනෙන්න කතා කරන්න එහෙමත් නැත්නම් හිතට දැනෙන්න දෙයක් ලියන්න හැමෝටම බැහැ.
ඒත් මේ අපි කියන්න යන්නේ ඒ වගේ හිතට දැනෙන කතාවක් ගැනයි.
අගහිඟකම් නිසාවෙන්ම ගබ්සා කිරීමට ගොස්, නැවත එම අදහසින් බැහැරව වැදූ, කුලුඳුලේ කුස පිලිසිඳ ගත් දියණියට, පසු කලෙකදී මව කියන කතාවක් හිතට දැනෙන මේ කතාව කියවලම බලන්නකෝ…

මධුසමයෙ කුමරි ලෙස
ඔබ කුසට ආව කල
චකිතයක පැටලිලා
හිටියානෙ ඔබෙ පියා
අපි බැඳල පොඩි කලයි
අත මිටත් හරි හිඟයි
දරුවෙක්ට කෝ ඉඩක්
අපි යන්නෙ රිම් එකෙන්…

තිබු නමුත් උපාධිය
සමත් වී හරි ජයට
පියා හට හරි හමන්
තිබුණ් නෑ ආදායමක්
ඔහුගෙ අදහස අනුව
ගබ්සාව කෙරුමකට
අවැසි මුදලත් අනේ
මහ ලොකුයි දෙවියනේ…

තැන තැනට ඇවිදිමින්
සුලු සුලූ රැකියා වලින්
හෙව්ව හැටි ඒ ගාණ
මතක් වෙනවානේ මට
සති දෙකක් ඇවෑමෙන්
මුදල් සෙව් පියාණන්
අඬගැහුව යන්න මට
ගබ්සාව කර ගන්න…

සුදූ මේ ටික අහන්
මේ තරම් සල්ලී ගොඩක්
හෙව්ව නම් සති දෙකෙන්
සෝදන්න මගේ කුස..
ඇයි අපිට මේ වගේ
බැරි දරුව රැක ගන්න
දිවා රෑ වෙහෙස වී
දෙමු දුවට පණ කෙන්ද..

මා එලෙස කිව්ව විට
ඇඬුණ නුඹෙ පියා හට
අඬන ඔහු වැලඳගෙන
මාත් ඇඬුවා හොඳට
ඔන්න ඔහොමයි දුවේ
අපි ලඟට ඔබ ආවෙ
කවද හරි මේ ලොවේ
නමක් තියපන් දුවේ…