රට රස්සාවට ගිය තරුණයාගේ මොළයෙන් කොටසක් සොරාගෙන වතුර පුරවා නැවත එවලා

සිය ආදරණීය බිරියටත්, දරුවාටත් පින්බර අනාගතයක් උදා කරන්නට සිතා මැලේසියා රටට ගිය තරුණයකුට අත්වූ ඉතාමත් දුක්බර කතාවක් වාර්තා වේ. ඒ අංක 307/1, යද්දෙස්සාව, අතරගල්ල, ගල්ගමුව ලිපිනයේ පදිංචිව සිටින පිටිගල මුදියන්සේලාගේ දර්ශන කුමාර දිසානායක නමැති අවුරුදු 31ක් වයසැති පුද්ගලයෙකි.

ඔහු කුඩා දැරියක් සිටින පියෙකි. සිය අනාගතය වෙනුවෙන් වැලි කතරේ දුක් විඳින්නට ගිය ඔහුගේ මේ දුක්බර කතාව අපට ඇසුණේ ඔහු ලංකාවට පැමිණ මාස කිහිපයකට පසුය. අගහිඟකම් රාශියක් මැද තම පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් සත් සමුදුරින් එපිටට ගිය ඔහු නැවත පැමිණ ඇත්තේ සර්ව සම්පූර්ණ මිනිසකු ලෙසින් නම් නොවේ. ඔහුගේ හිසේ නළලතට ඉහළින් ඇති කොටසේ යම් සැත්කමක් කර අවයව කොටස් සොරාගෙන මනස පවා විකෘති වූ පුද්ගලයකු ලෙසින් නැවතත් ලංකාවට එවා ඇති බව කියැවේ.

මේ දර්ශනගේ දුක්බර කතාවයි.

2016 වසරේ මාර්තු මාසයේ දර්ශන කුමාර මහතා මැලේසියාව බලා පිටත් වූයේ එරට නිවෙසක සේවකයකු ලෙස සේවයට එක්වීම සඳහාය.

නමුත් ඔහු විසින් ලබාගෙන තිබූ විදෙස් ගමන් බලපත්‍රයේ යම් ගැටලුවක් නිසා 2016 වසරේම ජුනි මාසයේ නැවතත් ලංකාවට පැමිණ තිබේ.

එසේ පැමිණ මෙරට දින දෙකක් ගතවීමටත් මත්තෙන් එරටින් ලැබී ඇති ටිකට්පතක් මාර්ගයෙන් දර්ශන කුමාර මහතා නැවතත් මැලේසියා රටෙහි ඔහු සේවය කළ නිවෙසටම පිටත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත් දර්ශන කුමාර මහතා ඉන් පසුව සිදුවූ සිදුවීම විස්තර කරමින් අපට කියා සිටියේ මෙවැන්නකි.

“මම දැන් ලංකාවට ඇවිත් මාස පහක් වෙනවා. මගේ මතකය මේ වෙද්දී ගොඩක් දුරට නැතිවෙලා තියෙන්නේ. ඒ නිසා මගේ බිරිය මට කියපු තොරතුරුත් එක්ක තමා මමත් ගොඩක් දේවල් දැනගත්තේ. මම දෙවැනි වතාවේ ලංකාවෙන් ගියාට පස්සෙ එහෙ රටේ මොනවද වුණේ කියලා මට මතක නෑ. නමුත් මට ඉන්පස්සේ වුණු යම් යම් සිදුවීම් මතකයි. දෙවැනි වතාවේ ගිහින් ටික දවසක් ඒ ගෙදර වෙනදා වගේ වැඩ කළා. එතැනින් පස්සේ මට මොනාද වුණේ කියලා මතක නෑ.

හැබැයි එහෙ ඉද්දී එක පාරම මම නින්දෙන් ඇහැරුණා වගේ මට දැනුණා. මම අවදිවෙලා බලද්දී මම හිටියෙ රෝහලක වීදුරු පෙට්ටියක් ඇතුළේ. මගේ ඔළුවෙන් ලොකු වේදනාවක් එනවා වගේ මට දැනුණා. සිහිය ඇවිත් ටික වෙලාවක් ගියාට පස්සේ මම වැඩකරපු ගෙදර කට්ටිය මාව බලන්න ආවා. මම ඇහුවා ඇයි මම මේ වගේ තැනක ඉන්නේ කියලා. පස්සේ ඒ අය කිව්වා මට ක්ලාන්තයක් හැදිලා බිම වැටුණා. ඊට පස්සේ රෝහල් ගත කළා කියලා. ඒත් එක්කම ඒ අය කිව්වා දැන් ඔයාට හොඳයි අපි ගෙදර යමු කියලා. ඊට පස්සේ මම ගෙදර එක්ක ගියා මට මතකයි. ඉන් පස්සේ මොනවද වුණේ කියලා මතක නෑ.

හැබැයි ඊට පස්සේ කවුදෝ මනුස්සයෙක් මාව එක්ක ආවා ඒ රටේ ගුවන්තොටුපොළට. මගේ අතේ සුදු පාට කඩදාසි රෝලක් වගේ එකක් ඔතලා පාස්පෝට් එක මගේ සාක්කුවට දාලා මගේ උරහිසට තට්ටුවක් දාලා කිව්වා අපි දැන් ලංකාවට යමු කියලා. ඊට පස්සේ මම ගුවන් යානයට නැඟ්ගා මට මතකයි. හැබැයි එතනින් පස්සේ ලංකාවෙන් බහිනකල්ම මොකුත් මට මතක නෑ. මම ලංකාවට එද්දී මට මොකුත්ම මතක තිබිලා නෑ. අඩුම තරමේ මගේ අම්මා, තාත්තා, සහෝදරයොවත් මම අඳුරගෙන නෑ. පස්සේ මෙහෙ රෝහල්වලින් කරපු සැත්කම් එක්ක තමා මේ මතකයවත් මට ලැබිලා තියෙන්නේ. ඒ රටේදී මගේ හිස් කබල වටේටම කපපු පාරවල් දැන් වුණත් දකින්න ලැබෙනවා”

මේ පිළිබඳ දර්ශන කුමාර මහතාගේ මව වූ ඒ.පී. සුසිලාවතී මහත්මිය (51) කියා සිටියේ මෙවැන්නකි.

“අද මේ තත්ත්වෙට පත්වෙලා ඉන්නේ මගේ වැඩිමහල් පුතා. එයා විවාහ වෙලා පුංචි දරුවෙක් පවා ඉන්නවා. ඉතින් මේ තත්ත්වය නිසා එයාගේ පවුල් සංස්ථාවත් අද වෙද්දී තරමක් අෑත්මෑත් වෙලා. ඒ මොනව වුණත් අපිට ඕනේ මගේ පුතාව සනීප කර ගන්න. මැලේසියා රටට පිටත් වෙලා යද්දී මෙයා හිටියෙ මිනුවන්ගොඩ එයාගෙ නෝනගෙ ගෙදර. එහෙ ඉඳන් තමා රට යන්න ගියේ.

මුල් වතාවේ ගිහින් අපිටත් සල්ලි එවලා හොඳට කතාබහ කළා. දෙවැනි වතාවෙත් ගිහින් මාසයක් විතර යනකල් අපිට කතාබහ කළා. කරදරයක් නෑ හොඳින් ඉන්නවා කියලා. පස්සේ එතැන ඉඳන් අවුරුද්දයි මාස දෙකක් විතරම ආයෙ මෙයා ගැන තොරතුරක් දැන ගන්න අපිට හැකි වුණේ නෑ. මෙයා පාවිච්චි කරපු දුරකතනය වැඩ කළත් ඒකට කවුරුත් කතා කළේ නෑ. අදටත් ඒක ඒ රටේ වැඩ කරනවා.

ඉතින් අපි දන්න කියන හැම තැනටම ගියා. දේවාල ගාණෙත් ගියා. ඒත් මෙයා ගෙදර එනකල්ම අපිට ඉන්න තැනක් සොයා ගන්න බැරි වුණා. අවුරුද්දයි මාස දෙකකට පස්සේ තමා මගේ රත්තරන් පුතා ආයේ ගෙදර ආවේ. ඒත් එයා ආවේ ගිය විදියට නම් නෙමේ. පිස්සෙක් වගේ. ඉරුණු කුණු ගෑවුණු ඇඳුමක් ඇඳගෙන. රැවුල වැවිලා කොණ්ඩෙ වැවිලා තිබුණා. ඇත්තටම අපිටත් අඳුන ගන්න බැරි වුණා මේ අපේ පුතාමද කියලා. ඒ තරම් විකෘති වෙලා. අපි කෑ ගහලා ඇඬුවා. දෙවියන්ට කිව්වා. ඒත් මෙයා වචනයක්වත් කතා කළේ නෑ. මොනවද වුණේ කියලවත් අපිට කියන්න මෙයාට මතකයක් නෑ. එහෙම ඉද්දී තමා අපි මෙයාව ලංකාවේ රෝහල්වලට අරන් ගියේ.”

දර්ශන කුමාරගේ පියා වූ පී.එම්.පී. දිසානායක මහතා (56) අප සමඟ කියා සිටියේ මෙවැන්නකි.

“අපේ පුතාට මේ වුණ විපත වගේ දෙයක් වෙන කාටවත් වෙන්න එපා කියලා තමා අපි ප්‍රාර්ථනා කරන්නෙ. හොඳට හිටිය අපේ පුතා අද මතකය නැතිවුණ කෙනෙක් වෙලා. ඒත් මෙහෙ ‍ෙදාස්තර මහත්තුරුන්ට පින්සිද්ධ වෙන්න දැන් එයාට ටික ටික මතකය එනවා. ඉතින් එදා (2017 අගෝස්තු 17) හිටි හැටියේම අපේ පුතා ගෙදර ආවා. අපි හොයලා බලද්දී මෙයා කොහොමද මේ විදිහේ තත්ත්වෙක ඉඳන් ගෙදර ආවේ කියලා.

කිසියම් පුද්ගලයෙක් එහෙ රටේ ඉඳන්ම ලංකාවට මෙයා එක්ක ඇවිත් තියෙනවා. කොළඹින් බැහැලා අඹන්පොළ දක්වා කෝච්චියේ තමා ඇවිත් තියෙන්නෙ. දුම්රිය ස්ථානයෙන් බැහැලා මෙයා පාරවල් දිගේ ඇවිද ඇවිද පාරවල් ගාණේ කඩපිල් ගාණේ නිදියලා තැන් තැන්වල ඉද්දී තමා අපේ ගමේ ඉන්න මන්ත්‍රිතුමා මෙයාව දැකලා තියෙන්නේ. ඒත් කිසිම විස්තරයක් අපේ පුතාගෙන් දැනගන්න බැරිවෙලා. ඊට පස්සේ තමා සැකයට වගේ අපේ ගෙදරට පුතාව එක්ක ආවේ. ඇත්තටම අපේ පුතාද කියලා කාටවත් අඳුර ගන්න බැරි තරම් මෙයා වෙනස් වෙලා හිටියා. බඩ ඉදිමිලා ඇඟ ඉදිමිලා තිබුණේ.

ඊට පස්සේ අපි මෙයාව තඹුත්තේගම රෝහලට අරන් ගියා. එතැනින් කිව්වා පුතාගෙ තත්ත්වය ගොඩක් බරපතළයි ඒ නිසා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට යවන්න වෙනවා කියලා. එතැනින් හැම පරීක්‍ෂණයක්ම කළා. ඊට පස්සේ තමා කිව්වේ පුතාගේ හිසෙන් නහර කොටසක් ලබාගෙන ඒ ස්ථාන කිසිම පිළිවෙළක් නැතිව ඇතුළට දාලා ඔළු කට්ට මහලා තියෙනවා කියලා. ඒ ස්ථානයේ වතුර පුරවලා එක්ස්රේ කාඩ් එකක් ඔළුවට දාලා මහලා තියනවා කියලත් කිව්වා.

ඊට පස්සේ කිව්වා දවස් දෙකක් ඇතුළතවත් ඔපරේෂන් නොකළොත් පුතාගේ ජීවිතේ අවදානම් කියලා. ඒත් ඒ වෙලාවේ ‍ෙදාස්තර මහත්වරු කිව්ව රුපියල් 50,000 හොයා ගන්න. අපිට වත්කමක් තිබුණේ නෑ. පස්සේ කොළඹ මහ රෝහලට යවලා ඒ සැත්කම කරලා දුන්නා. ‘ඉතින් මගේ පුතාගේ ජීවිතේ මේ විදියටවත් බේරුණේ අනූ නවයෙන්. දැන් එයා තරමක් සුවය ලබලා ඉන්නවා.’ ඒත් තවමත් පෙර මතකය සම්පූර්ණයෙන්ම නෑ.

පාන්දරට ටිකක් ඔළුව රිදෙනවා කියනවා. ටික ටික දේවල් මතක් වෙනවා කියනවා. ඉතින් මම ඉල්ලන්නෙ මෙයාගෙ ඉතිරි සැත්කමට රුපියල් ලක්‍ෂ තුනක් විතර යනවා කියලා ‍ෙදාස්තර මහත්වරු කියනවා. මමයි, මගේ බිරියයි දෙන්නට ඇත්තටම ඒ තරම් මුදලක් හොයා ගන්න විදියක් නෑ. අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. ඒ සැත්කමට අපිට උදවු කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ලොකු පිනක්.”

මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ලක්වූ දර්ශන කුමාර වෙනුවෙන් හැකි අයුරින් හෝ උදව්වක් උපකාරයක් කිරීමට පින් කැමැති මිනිසුන් වශයෙන් අපට හැකියාවක් තිබේ. ඒ සඳහා ඔබත් දායක වීමට කැමැති නම් 0775830753 අංකයෙන් දර්ශන කුමාරගේ පියා හෝ 0778599782 අංකය ඔස්සේ දර්ශන කුමාර හෝ සම්බන්ධ කර ගත හැකියි. 184200180064612 දරන මහජන බැංකුවේ ගල්ගමුව ශාඛාවේ ඇති දර්ශන කුමාරගේ ගිණුම් අංකය ඔස්සේ මූල්‍යමය දායකත්වය ලබාදිය හැකිය.

උපුටා ගැනීම – sinhalapuvath.lk