සුරාවයි නුරාවයි එක ලග තියපු යහ පාලන ආණ්ඩුව නිසා විනාශවෙන සමාජය

ශ්‍රී ලංකාවේ සුරාසල් විවෘතව තබන වේලාවන් සංශෝධනය කිරීමට ආණ්‌ඩුව පියවර ගෙන තිබේ. මෙම සංශෝධන ඇතුළත් සුරාබදු ආඥ පනතට අදාළ ගැසට්‌ නිවේදනයට පෙරේදා (11 දා) මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අත්සන් තබා තිබේ. මීට අමතරව වයස අවුරුදු 18 න් ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට අවසර ලබාදීමටද ආණ්‌ඩුව තීරණය කර තිබේ. 1955 වසරේ සිට වසර 60 කාලයක්‌ පොතට පමණක්‌ සීමාවී තිබූ මෙම නීතිය සංශෝධනය කිරීමත් සමඟ මත්පැන් අලෙවිසල් තුළ සේවය කිරීම සඳහා කාන්තාවන්ට පූර්ව අනුමැතියක්‌ අවශ්‍ය නොවනු ඇත.

රටේ දහසක්‌ දැවෙන ප්‍රශ්න එහෙමම තිබියදී ආණ්‌ඩුව රටේ සුරාපානය සම්බන්ධයෙන් පමණක්‌ ලිබරල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට කටයුතු කරන බව පෙනේ. පසුගිය අයවැය යෝජනා තුළින් බීර මිල අඩු කිරීමේ සිට සුරාසල් වැඩිපුර කාලයක්‌ විවෘතව තැබීම යන කාරණා සුරාපානය කරන්නන්ගේ සතුටට හේතුවිය හැකි වුවත් එමඟින් ඇති කරන සාමාජීය අර්බුදවල දිග පළල පිළිබඳව ආණ්‌ඩුවට අවබෝධයක්‌ නොමැති බව අපගේ හැඟීමයි.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව මත්පැන් පානය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ ප්‍රමාණය 10,000 සිට 15,000 ක්‌ අතර වේ. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30% සිට 35% ක්‌ අතර ප්‍රමාණයක්‌ මත්පැන් පානය කරනු ලබයි. එම ප්‍රතිශතයෙන් අඩක්‌ නියෝජනය කරන්නේ ස්‌ත්‍රීන්ය. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසන්නේ බටහිර රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ මත්පැන් භාවිත කරන පිරිස අඩු වුවත් ඔවුන් තදින් මත්පැන් පානය කරන බවය. බටහිර රටවල ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 3.5 ක්‌ වෙද්දී ශ්‍රී ලංකාවේ එම අගය තුන් ගුණයකින් ඉහළ බව වෛද්‍ය අබේකෝන් මහතා පවසයි.

සුරාබදු පනතට අදාළ සංශෝධන ගෙන එමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා දක්‌වන මතයට අනුව ශ්‍රී ලංකාවට සුරාපානය සම්බන්ධයෙන් යොදා ගත හැක්‌කේ ක්‍රමවේද දෙකකි. එම ක්‍රමවේද නම් සෞදිඅරාබිය මෙන් මුළුමනින්ම මත්පැන් පානය තහනම් කිරීම හෝ යුරෝපය මෙන් සැර අඩු සුරා පානවල (බියර්) මිල අඩුකිරීමය. ආණ්‌ඩුව බියර් පාන සඳහා මිල සූත්‍රය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාව වැනි රටකට සුදුසුම ක්‍රමවේදය එය නිසා බව මුදල් ඇමැතිවරයා පවසා තිබිණි.

ගල් අරක්‌කු හෝ පොල් අරක්‌කු හෝ විස්‌කි හෝ බ්‍රැන්ඩි හෝ බියර් හෝ මේ සෑම සුරාපානයකම අඩංගු ප්‍රධාන සංඝටකය එතනෝල්ය. 32% ක මධ්‍යසාර ප්‍රතිශතයක්‌ අඩංගු සුරාබීමකින් ශරීරයට අවශෝෂණය වන එතනෝල් ප්‍රමාණය 8% ක මධ්‍යසාර අඩංගු බියර් කෑන් 4 කින් ලැබෙනු ඇත. එම නිසා ආණ්‌ඩුව බියර් මිල අඩු කළද මත්පැන් මගින් සිරුරට සිදුවන හානිය එමගින් අඩුවන්නේ නැත. එම නිසා ආණ්‌ඩුවේ මිල සූත්‍රය සුරාපානය කිරීමෙන් සිරුරට ඇතිවන ආදීනව අවම කරන ක්‍රමවේදයක්‌ නොවන බව සුරාපානය කරන්නන් අවබෝධ කරගත යුතුය.

සුරා පානය යනු සංස්‌කෘතික ක්‍රියාවලියකි. මෙය අණ පනත් මගින් හෝ ඒවා සංශෝධනය කිරීමෙන් හෝ සුරා පානයේ ආදීනව ගැන කියෑවෙන බණ කතා කියෑවීමෙන් පමණක්‌ පාලනය කළ නොහැක. රටේ මත්පැන් භාවිත කරන පිරිස අවම කළ හැක්‌කේ තරුණ පරපුර අතර සංස්‌කෘතික ක්‍රියාකාරකම් ඉහළ දැමීමෙනි. අද ලංකාවේ තරුණයාට විනෝදවීම පිණිස මත්පැන් පමණක්‌ තෝරා ගැනීමට සිදුව ඇත්තේ රටේ සංස්‌කෘතික ක්‍රියාකාරකම් මැතිවරණවලට පමණක්‌ සීමා වී තිබෙන බැවිනි. එම නිසා රටේ සුරා පානය අවම කිරීමට ආණ්‌ඩුවට දැක්‌මක්‌ ඇත්නම් කළ යුත්තේ රටේ තරුණ පරපුර අතර සංස්‌කෘතික ඉසව් වර්ධනය කිරීමට ඉඩ සැලසීමය. යුරෝපයේ සුරා පානය අවම වී ඇත්තේ අණ පනත් මගින් පමණක්‌ නොව සංස්‌කෘතිය මගින් ඇතිකරන ලද මානව ක්‍රියාකාරකම් ඉහළ යැම තුළිනි. නීතිය මගින් විසඳාගත නොහැකි බොහෝ අර්බුද සංස්‌කෘතිය මඟින් විසඳී තිබේ. රටේ සංස්‌කෘතිය පෝෂණය කිරීමට ආණ්‌ඩුව මීට වඩා වැඩි අවධානයක්‌ යොමු කළ යුත්තේ මේ නිසාය.

සංස්‌කෘතික කාන්තාරයක්‌ බවට පත්වී ඇති ශ්‍රී ලංකාව වැනි රටක සුරාබදු නීති රීති ලිහිල් කිරීමෙන් සිදුවන්නේ රට බේබද්දන්ගේ සුරපුරයක්‌ බවට පත්වීමට පාර කැපීමය. මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ අණ්‌ඩුව ප්‍රමාදවී හෝ වටහා ගත යුතු සත්‍යය මෙයය.

රජය කාන්තාවන් බාර්වලට යවා මාතෘත්වය කෙළෙසනවා – සිසිර ජයකොඩි

කාන්තාවන්ට මත්පැන් ශාලාවල සේවය කිරීමට අවසර ලබාදීමෙන් මාතෘත්වය සහ සංස්‌කෘතිය කෙළෙසීමේ අපරාධය සිදු නොකරන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේය.

සිසිර ජයකොඩි මහතා මෙසේ ද කීවේය.

මැතිවරණයක්‌ ළං වෙද්දී ඉතිහාසයේ පැවති ආණ්‌ඩු කළේ හාල්, පොල්, සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල අඩු කිරීමයි. ඒත් මේ යහපාලන ආණ්‌ඩුව කළේ බියර් හ වයින් මිල අඩුකිරීමයි.

දැන් කාන්තාවන්ට මත්පැන් ශාලාවල වැඩකරන්නත්, කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්නත් ඉඩකඩ ලබාදී තිබෙනවා. ඊට අමතරව උදේ අටේ සිට රාත්‍රි දහය දක්‌වා මත්පැන්හල් විවෘත කරන්න අවසර ලබාදීලා.

අම්මා කොහෙද වැඩකරන්නේ කියලා පාසලේ ගුරුවරුන් දරුවාගෙන් ඇහුවාම හන්දියේ බාර් එකේ කියා උත්තර දෙන තත්ත්වයට දරුවාව පත් කරලා. මේක මාතෘත්වය කෙළෙසීමක්‌. ඉස්‌සර උදේ පාන්දර වතුර එකක්‌, කිරි එකක්‌ බීපු මිනිහාට අද උදේ අටට අරක්‌කු, බියර් බොන්න මේ ආණ්‌ඩුව පුරුදු කරනවා. නිර්වින්දනය කළ ජාතියක්‌ නිර්මාණය කරමින් මේ ආණ්‌ඩුව උත්සාහ කරන්නේ රටට ආදරය කරන මිනිසුන් නැතිකර දමන්නයි. මේ අපරාධයට එරෙහිව නැඟී සිටින ලෙස භික්‌ෂුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

මංගලගේ මත්පැන් ව්‍යාප්තියට ඕමල්පේ හිමියෝ එරෙහි වෙති..!

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට පුරා මත්පැන් ව්‍යාප්ත කිරීමට දරණ වෑයම තමන් තරයේ හෙළා දකින බවත් ඊට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළබෙන බවත් ආචාර්ය ඕමල්පේ ‍සෝභිත හිමියෝ පවසති.

උන්වහන්සේ මෙසේ ප්‍රකාශකරන ලද්දේ පසුගිය දා ඕමල්පේ ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *