බිහිසුණු පාතාලය මෙහෙයවන ත්‍රිකුණාමලයේ කාන්තාවට සහය යහ පාලනේද ?

ත්‍රිකුණාමලයේ මිනිසුන් තැතිගෙනය. සිවිල් නීතියක් ඇතැයි විශ්වාස කරන රටක ජීවත්වන මිනිසුන් තැති නොගත යුතු තරමට තැති ගෙනය. අකාලයේ වෙඩි පහරකට ලක්ව මිය නොයෑම සඳහා ඔවුන් ගෙවිය යුතුව ඇති මිල කියැවෙන්නේ මිලියන ගණනින්ය.

පොලිසියට, බුද්ධි අංශවලට, රටේ ආරක්ෂක නියාමනයන්ට උඩින් සිට ක්‍රියාත්මක වී ඇති කප්පම් ගැනීම්, මිනීමැරීම් සහිත මේ සෝමාලියානු මොඩල අපරාධ රැල්ලේ ආසන්නම සිදුවීම වාර්තා වන්නේ පසුගිය සිකුරාදාය. ඒ තරුණයකු පැහැරගෙන කප්පම් ගැනීමේ සිද්ධියක් සමඟය.

ත්‍රිකුණාමලයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් වර්ෂ 2008 ඔක්තෝබර් මස වෙඩි තබා ඝාතනය කළේය. ඩබ්ලියු.ජී.පී ප්‍රසන්න නමැති මෙම ව්‍යාපාරිකයා ත්‍රිකුණාමලයේ ඩබ්ලියු.ජී.පී සමූහ ව්‍යාපාරයේ හිමිකරුව සිටියේය. මාළු තොග වෙළෙදාම, මත්පැන් අලෙවිසල් දෙකක් හා අවන්හලක් පවත්වාගෙන යෑම ඇතුළු ව්‍යාපාර කිහිපයක නිරතව සිටි ප්‍රසන්න ත්‍රිකුණාමලයේ මිනිසුන් හැඳින් වූයේ චූටි මුදලාලි නමින්ය. චූටි මුදලාලි වෙඩි තබා ඝාතනය කළ මිනීමරුවන් අදටත් හඳුනාගෙන නැත.

චූටි මුදලාලි මරා දැමෙන විට ඔහුගේ එකම දරුවා පාසල් වියේය. ඔහු ඩබ්ලියු.ජී. චතුර දිල්රංගය. චූටි මුදලාලිගේ බිරිය මේ දරුවාවත් හදා වඩා ගෙන ව්‍යාපාර ටික කරගෙන ගියේය. සිය පියා මරා දමන විට 13 වැනි වියෙහි පසුවූ චතුර දැන් 23 හැවිරිදිය. පසුගිය වසර කීපයක සිට ඔහුත් මේ ව්‍යාපාර පරිපාලනය කිරීමේ කටයුත්තට එක් වී සිටියේය.චතුර විවාහ වීමට බලාපොරොත්තුව සිටියේ ප්‍රදේශයේම තරුණියක් සමඟය.

ඇයගේ නිවෙස ත්‍රිකුණාමලය නුවර පාරේ අභයපුර මංසන්ධිය අසලය. පසුගිය සිකුරාදා ඇයගේ නිවෙසට ගොස් පැමිණෙන චතුර නැවත ගෙදර ආවේ නැත. සිය පුතු අපේක්ෂාවෙන් තැතිගෙන සිටි මවට එදින මධ්‍යම රාත්‍රිය වනවිට දුරකතන පණිවුඩයක් ලැබිණි.

“පුතා අපි ළඟ ඉන්නවා. කලබල කරන්න එපා.” අනතුරුව එන කතා ගණනාවකි. පියාගේ මරණය ගැන සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබා ගන්නට චතුර රැගෙන යන බව කතාවකි. අනතුරුව එන අතුරු සංවාදය. අවසානයේදී දරුවා නොමරා බේරා එවන්නට කියැවෙන මිලකි. අවසානයේදී පුරා දින 03 ක් තිස්සේ කළ කේවල් කිරීම්වලින් අනතුරුව පසුගිය සඳුදා (5) තරුණයා නුවරපාරේ මිරිස්වත්තේ දී අතහැර කප්පම්කරුවෝ කප්පම් රැගෙන යති. පොලිසිය අනුමාන කරන ආකාරයට ලබාගෙන ඇති කප්පම ලක්ෂ දෙසීය පනහකි.

කරන ලද පරීක්ෂණවලින් අනතුරුව තරුණයාගේ පැදගෙන ගිය පල්සර් වර්ගයේ බයිසිකලය පාල් කැලෑබද පෙදෙසක වන රොදක තිබී සොයා ගෙන තිබිණි. මේ පිරිස චතුරගේ මව සමඟ කළ සංවාදයන්හි දුරකතන කුලුනු වාර්තාව අනුව ඔවුන් මේ ගනුදෙනුව කරන කාලය පුරාම තැනින් තැන සැඟවෙමින් සිටි ආකාරය පෙනුණි. මිහින්තලය, බකමූණ, දඹුල්ල ආශ්‍රිත දුරකතන කුලුනුවලින් සමහර ඇමතුම් ආවරණය කර තිබූ අයුරින් ඒ බව තහවුරු විය.

මිරිස්වත්තේදී සොයාගත් චතුරගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සියලු විස්තර සහිතව උත්තරයක් ලබා ගෙන තිබිණි. පසුගිය අඟහරුවාදා ඔහුව සිය මවට භාරකරනු ලැබීය.මේ සිදුවීම රටට හෙළි වීමත් සමඟ ජීවිත බේරා ගැනීම සඳහා කප්පම් දුන් පුද්ගලයන් ගණනාවක් රහසින් ස්වකීය කතා කියන්නට වූහ. මින් පෙර ත්‍රිකුණාමල නගරයේ කවුරුත් දන්නා කුඩු අමිල නමැති කුඩු ජාවාරම්කාරයා පැහැර ගැනුණි.

කියැවුණේ ජීවිතය බේරා ගන්නට ඔහුත් ලක්ෂ ගණනින් කප්පම් ගෙවූ වගය. කලක් අතුරුදන්ව සිටි අමිල පොලිසියට එන්නේ කටඋත්තරයක් දී තමන් පැහැරගෙන නොගිය බව කියන්නටය. තවත් අයකුගෙන් කප්පම් අරගෙන තිබුණේ දුරකතන ඇමතුම් දී ගෙන්වා ගෙනය. අවනීතිය අබියස දශක තුනකට අධික කාලයක් පීඩාවට පත්වූ ත්‍රිකුණාමලයේ මිනිසුන්ගේ අත්දැකීම් වෙනස්ය. ඔවුහු මේ සෙල්ලමේ බිහිසුණුකම දන්නේය. කිසිවෙක් මුවින් වචනයක් පිටකරන්නට බිය වූයේ ඒ නිසාය.

පොලිසියටත් ඇස් ඇරුණේ මේ පසුබිමේදීය. ත්‍රිකුණාමලය මුල් කරගෙන දියත්වී ඇති මේ පාතාල බලය කේන්ද්‍රගතව ඇත්තේ කාන්තාවක් වටාය. පොලිසියට ලැබෙන තොරතුරු අනුව මේ කාන්තාව කලක් ත්‍රිකුණාමලයේ මාළු වෙළෙඳපොළේ බලය සියතට ගෙන සිටි කපිල නමැත්තාගේ බිරියය.
එල්.ටී.ටී.ඊ.ය ත්‍රිකුණාමලය නගරය බිය වද්දාගෙන කප්පම් ගනිමින් මිනී මරමින් සිටියදී ඊට යම් අභියෝගයක් කළ නීත්‍යනුකූල නොවන මැර කණ්ඩායම් අතර කපිලගේ කණ්ඩායමත් විය. එල්.ටී.ටී.ඊ නියෝග නොසලකා ත්‍රිකුණාමලයේ වෙසක් තොරණ ඉදිකරනු ලැබුවේ කපිලගේ කණ්ඩායම මුල් වීමෙනි.

මේ නිසා මේ පිරිසට යම් බලයක් ත්‍රිකුණාමලයේ සුළුතරය වූ සිංහල ජනතාව අතරද විය. එහෙත් ඔහුගේ අවකල් හැසිරීම ප්‍රමාණයට වඩා වැඩි වී තිබිණි. කප්පම් ගැනීම්, පහරදීම් හා සමහර මිනීමැරීම්වල කෙළවරක කපිල සිටියේය. ඔහුගේ බලපෑම්වලින් බේරීම සඳහා අතමිට ඇති ව්‍යාපාරිකයෝ තමන්ගේම ආරක්ෂකකණ්ඩායම් හදාගත්හ.

මරා දමන ලද ඩබ්ලියු.ජී.පී ව්‍යාපාරයේ අධිපති චූටි මුදලාලිත් එවැනි කණ්ඩායමක් නඩත්තු කළ අයෙකි. කපිල හා චූටි මුදලාලි අතර එළිපිට ගැටුමක් විය. කපිල ජීවත්ව සිටි කාලයේ අවස්ථා කීපයක චූටි මුදලාලිගේ හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළේය. චූටි මුදලාලිගේ ආරක්ෂකයන්ව සිටියේත් පාතාල මැරයන්ය.

අයිස් මංජු නමැති ප්‍රකට එල්.ටී.ටී.ඊ මැරයා කපිලගේ නිර්මාණයක් බවට තතු දන්නවුන්ගේ හඳුනා ගැනීමක්ව තිබිණි. මාළු වෙළෙඳසලේ අයිස් කඩමින් සිටි මංජුට යම් සිදුවීමක් මුල් කොට පහරදී දණ ගස්වා තැබීමත්, එහි පළිය ගැනීම සඳහා ඔහු එල්.ටී.ටී.ඊ ය හා එක්වීමත් පිළිබඳව ත්‍රිකුණාමලය වැසියෝ කතා කරති. අයිස් මංජු කොපමණ ශූර චරිතයක් වී එල්.ටී.ටී.ඊ ය වෙනුවෙන් කටයුතු කළාද යන්න හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ කොඳු නාරටිය සවිමත් කළ කර්නල් මීඩින් ඝාතනයෙන් පැහැදිලි විය. අවසානයේදී කපිල වෙඩි කා මිය ගියේය.

කපිල මරා දමනු ලැබුවේ අයිස් මංජු විසින් යැයි කියැවිණි.කපිල මරා දැමූ පසු ඔහුගේ අනීතික ව්‍යාපෘති පවත්වාගෙන ගියේ ඔහුගේ බිරිය වන ඉනෝකා නමැත්තියක් බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඇයගේ මෙහෙය වීමෙන් කප්පම් ගැනීම් මාලාවක් ත්‍රිකුණාමලය නගරය තුළ සිදුවන ආකාරය මිනිස්සු රහසේ කතා කරමින් උන්හ. තරුණයා පැහැර ගැනීම සිදුවන්නේ ඒ අතරය.

මේ පැහැර ගැනීම පිටුපස හබරණ රංජි නමැති පාතාල මැරයෙක් හා කපිලගේ බිරිය යැයි කියනා පාතාල කල්ලි නායිකාව සිටින බවට පොලිසියට තොරතුරු ලැබෙමින් තිබේ. පැහැර ගැනීම සිදුවූ දිනයේ හා ඉන් පසු දින දෙක තුළ විවිධ අවස්ථාවලදී මේ තැනැත්තිය පැමිණ ඇති බවට වූ ආරංචි ඔස්සේ පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි. පොලිස් අවධානය යොමු වීමත් සමඟම දැන් ඇය සැඟව ගොස්ය. එහෙත් ඇයගේ කණ්ඩායම තවමත් ත්‍රිකුණාමලේ ක්‍රියාත්මකය.

යුද්ධය අවසන් වී අවුරුදු ගණනකි. එහෙත් තවමත් සිවිල් ජන ජීවිතයේ නිස්කාංසුව විඳින්නට නොහැකි වූ පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් මේ රටේ පුරවැසියන්ය. ඔවුන් වෙනුවෙන් රටේ වගකීම ඉටුවිය යුතුව තිබේ.