තිලංග සුමතිපාල ධූරයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර තිබෙන බව පුවත් ආරංචි මාර්ග පවසනවා.

සිය දේශපාලන රාජකාරි හේතුවෙන් මෙම තීරණයට ඔහු එළඹ ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත එම තීරණයට ඔහුට ඉහළ පෙළේ දේශපාලන බලපෑම්ද හේතු ඇති බව ද වාර්තා වනවා.

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇතුළු විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වුණා.

එහිදී වත්මන් සභාපතිවරයාට සම්බන්ධ ව්‍යාපාර ජාලය පිළිබඳව කතිකාවක් මතු වී තිබූ අතර ඒවා සමඟ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව තිලංග සුමතිපාල මහතා පවසා තිබුණා.

එහෙත් විවිධ පාර්ශව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අසාර්ථක වීම් හා ඔහුගේ ව්‍යපාරික සම්බන්ධතා ගෙනහැර දක්වමින් අදහස් දැක්වීම හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළද ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුණා.

එහිදී ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරුන් අතරම ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර මෙම සියලු තත්ත්ව සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවත්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇතැයි සඳහන් වනවා.

එහි දිගුවක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා එම ධූරයෙන් ඉල්ලා අස් වී උපසභාපති ධූරයක වැඩ බාරගැනීම දැක්විය හැකි බවයි පුවත් ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් තිංලග සුමතිපාල මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනුයේ දේශපාලනික කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉවත් වීම පිළිබඳව සලකා බලමින් ඇති බවයි.

ඒ අනුව මෙම වසරේ මැයි මාසය වන තුරු සභාපතිත්වය දැරීමට ඔහු සිය එකඟත්වය පළ කර තිබෙනවා.

සිය සමීප හිතවතුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී සභාපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇති අතර ඇතැම් විට බංග්ලාදේශ සංචාරයේදී චන්දික හතුරුසිංහගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දක්ෂතා ඉවහල් කරගනිමින් අදාළ තීරණය යළි සලකා බැලීමට ඉඩ ඇති බවද සඳහන්.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායමට අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගැනීම තවත් කල් ගියහොත් සිය ධූරයෙන් ඉවත් වීම අනිවාර්ය වනු ඇති බවටයි තිලංග සුමතිපාල මහතා පවසා තිබෙන්නේ.

දැනට පවතින වාතාවරණයට අනුව මෙම වසරේ මැයි මාසයේ 26 වැනිදාට ආසන්න දිනකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතයි.

මීළඟට සභාපති ධූරයට පත්වීමට මොහාන් ද සිල්වා මහතා සූදානම්ව සිටින බව පැවසෙන අතර ඔහු කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, උපසභාපති ඇතුළු තනතුරු රැසක් හොබවා පළපුරුදු නිලධාරියෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *