බැඳුම්කර වංචාවේ මහ මොළකරු රනිල්

බැඳුම්කර වංචාවේ මහා මොළකරු රනිල් වික්‍රමසිංහ මහතා බව ජනතා විමුක්ති  පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩි.ලාල් කාන්ත මහතා  පවසයි.

ඒ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ ආණ්ඩුව ඉස්සෙල්ලාම කළ යුත්තේ මොකක්ද? ආපු ගමන් තමන් හොරකම් නොකර සිටීම. ජන වරම ඒක. දෙක හොරකම් කරපු අයට දඬුවම් කිරීම සහ අය කර ගැනීම. ආපු ගමන් මොකද කළේ කෙලියා මහ බැංකුවට. පෙබරවාරි මාසේ වෙනකොට දුන්නා වැඩේ. ඒකෙ පාඩුව කතා කරලා නිම කරන්න බැහැ. හිතන්න ඇති ගම්වල පොඩි පොඩි ගේමක් දෙනවට වඩා හොදයි කට්ටියම සෙට් වෙලා ජාතික මට්ටමෙන් හොඳ ගේමක් ගහන්න. ඒවා ලේසි නෑ අල්ලන්න. මේකේ මහ මොළකරයා කවුද? අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා.”

“එයා පිටරටින් ගෙන්නල්ලා දාගත්ත කවුද අර්ජුන් මහේන්ද්‍රන්. මහ බැංකුව කාගේ යටතේද තියෙන්නේ? අගමැති යටතේ. වෙනදා කා යටතේද තිබුණේ? මුදල් ඇමැති යටතේ. ගත්තා ආයතනය තමන් අතට. මේක අපි මතු කරන්න ගත්තට පස්සේ මේක ශේප් කර කර බේර බේර ගියා. මේකෙන් බේරෙන්න බැහැ. මොකද මිනිස්සු දන්නවා හොරකමක් වෙලා තියෙනවා. මේවා භාරකාරීත්වය තිබුණේ කා යටතේද? දැන් කියවිලා තියෙන නම් මොනවද? මේක තනි වැඩක් නෙවෙයි සාමූහික වැඩක්. එක පැත්තකින් ව්‍යාපාරිකයන් ඕනේ. තව පැත්තකින් නිලධාරීන් ඕනේ. තව පැත්තකින් දේශපාලඥයන් ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ මුලික කර ගත්ත පොදු ජනතාවත් සම්බන්ධ වෙච්ච ඇත්ත ජනතාවගේ නඩුවක් මේ රටේ බිහි වෙනකන් ඕවට මොකක්වත් වෙන්නේ නැහැ. අපි ආපු දවසට තමයි ජනතාවගෙන් කොල්ල කාපුවා ඔක්කොම අය කර ගන්නෙත්, ඒවා කරපු අය හිරේ යන්නෙත් එදාට විතරයි. ඒ නිසා තමයි අපිට ලෝක වාර්තාවක් ඇවිල්ලා තියෙන්නේ. ලෝකයේ තියෙන දුෂිතම රටවල් හතරෙන් එකක්. පෙරදිග ලෝකයේ මුතු ඇටය නෙවෙයි. දැන් වෙන ඇටයක නමක් දාන්න වෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.