ජනපතිට 2021 තෙක් ඉන්න හැකිවෙයිද?

වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධූරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධූරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත.

ජනාධිපති ධූරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අතර එය කිසිසේත් අතීතයට බලපාන නීතියක් නොවන බවද නීතිපතිවරයා අනාවරණය කරයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ධුර කාලසීමාව වසර 05 කින් අවසන් විය යුතු බව කියා සිටිමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු 07 දෙනෙක්‌ කරුණු දක්‌වා තිබේ.

ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, අලි සබ්රි, සවින්ද්‍ර ප්‍රනාන්දු, උදිත ඉහළහේවා යන මහත්වරු සහ අධිනීතිඥ විරාන් කොරයා, කල්‍යානන්ද තිරාණගම, ක්‍රිස්‌මාල් වර්ණසූරිය ඒ  07 දෙනායි.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටිමිනි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන විභාගයට මැදිහත් වී නීතිඥ මහතෙකු මගින් කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ද ගොනුකර තිබිණි.

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අතර ලංකා සමසමාජ පක්‌ෂයේ නායක ආචාර්ය තිස්‌ස විතාරණ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතාද, පැෆරල් සංවිධානය වෙනුවෙන් අධිනීතිඥ විරාන් කොරයා සහ ජනතා විමුක්‌ති පෙරමුණ වෙනුවෙන් ක්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරු කරුණු ඉදිරිපත් කළහ.

මේ අතර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පෙරේදා (10) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල මැතිවරණ ප්‍රචාරක රැ‍ළියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ ද වර්තමාන ආණ්ඩුවේ නිල කාලය 2020 දක්වාත් ජනාධිපති තුමාගේ නිල කාලය 2021 දක්වාත් පවතින බවය.

ඊයේ (11දා) එක්සත් ජාතික පක්ෂයද නීති විශාරදයකු ගෙන්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර 5ක්ද, 6ක්ද පිළිබඳව කරුණු විමසා තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසක් එම නීති විශාරදයා, ඊයේ උදෑසන අරලියගහ මන්දිරයට කැඳවා නීතිමය කරුණු විමසා ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *