සුපිරි ධාවක ආනන්ද වෙඩිසිංහගේ මරණයට හේතුව එළියට (VIDEO)

සුපිරි යතුරු පැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ පසුගිය වසරේ අප්‍රේල් මස 24 වනදා නුවරඑළියේ පැවති යතුරුපැදි ධාවන තරඟයක් අතරතුර සිදුවූ අවාසනාවන්ත අනතුරකින් ජීවිතක්ෂයට පත් වූවා.

කෙසේ වෙතත් ආනන්ද වෙඩිසිංහට මරු කැඳවූ යතුරුපැදි තරග අනතුර පිළිබඳ සිදු කරනු ලැබූ පරික්ෂණයේ වාර්තාව මේ වනවිට නිකුත් වී තිබෙනවා.

එම වාර්තාවට අනුව ආනන්ද වෙඩිසිංහ සහ සුරාජ් පෙරේරා අතර තරගයේ පෙරමුණ ගැනීමට පැවැති තියුණු තරගයේදී වේගය පාලනය කරගැනීමට අසමත්වීමෙන් මේ අනතුර සිදුවී ඇති බවටයි නිගමනය වී ඇත්තේ.

ක්‍රීඩා අමාත්‍ය උපදේශක මිල්ටන් අමරසිංහ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එච්.එම්.බී.පී. හේරත් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් මේ පරික්ෂණය සිදුකෙරුනා.

තරඟයට ඉදිරිපත්වූ තරගකරුවන් සියළුම දෙනා වසර ගණනක අත්දැකීම් හා පළපුරුද්ද ඇති අය වන බවත්, තරගය සඳහා වෛද්‍ය සහතික ඉදිරිපත්කර ඇති බලපත්‍රලාභීන් වන බවත් පරික්ෂණ මණ්ඩලයේ නිගමන අතර වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් එහි සඳහන් වන්නේ මාර්ග ධාවන තරගයකදී අනතුරු සිදුවීමේ ප්‍රවණතාවන් වැඩි අතර තරගකරුවන් මෙම තත්ත්වය අවබෝධ කොට ගෙන තරග සහභාගීත්වය සඳහා වන වේග සීමාවන් අදාළ අවදානම් ස්ථානයන්හි දී පාලනය කරගැනීම පෞද්ගලිකවම ඔවුන් සතු වගකීමක් බැවින් මෙම තරගකරුවන් දෙදෙනාම මෙම අනතුර සිදු වීම පිළිබඳ වගකීම භාර ගත යුතු බවයි.

කෙසේ වෙතත් මෙරටින් බිහිවූ සුපිරි ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු ක්ෂේත්‍රයේ සිටින බොහෝ පිරිස් චෝදනා කරන්නේ නිසි ආරක්ෂිත පියවර අනුගමනය නොකර ප්‍රමිතියකින් තොරව මෙම තරග පවත්වන සංවිධායකවරුන් මෙයට වගකිවයුතු බවටයි.

මසකට අධික කාලයක් කෝමා තත්ත්වයෙන් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ ජීවන ගමනෙන් සමුගත්තා.

මෙවන් සුපිරි තරුවක් ලක් මාතාවට අහිමි කිරීමට බලපෑවේ මෝටර් ධාවන ක්‍රීඩා ඉසවු හා නොබිඳිය හැකි සබඳතාවක් පවතින බිහිසුණු භාවය පමණක් ද?

නැතහොත් වලක්වා ගැනීමට හැකියාව ඇති කරුණු පිලිබඳ නොදුටු දෑසින් සිටීමද?

නිසි ප්‍රමිතියකින් තොර මෝටර් ධාවන ඉසවු සංවිධානය කරන්නවුන්ගේ වැරදි සඳහා මෙරට ක්‍රීඩකයෙකු තම ජීවිතයෙන් වන්දි ගෙවූ පළමු අවස්ථාව මෙය නොවේ.

නමුත් එම ලයිස්තුවේ අන්තිමයා ආනන්ද වෙඩිසිංහ බවට පත් කිරීමට හෝ මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩකයන්ගේ අනාගතයද වඩාත් පැහැබර වනු ඇති.