ඉස්සර කලාකාරයෝ මාව වටකරගෙන හිටියා, සෙත්කවි කියන්නත් කට්ටියක් හිටියා

පසුගිය දිනවල කතාබහට ලක්වු රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ දියණියගේ විවාහ මංගල්‍යය පැවතුනේ පසුගිය 4 වෙනි බදාදා  රාත්‍රි කාලයේ කිංස්‌බරි හෝටලයේය. මෙම විවාහ උත්සවයට ප්‍රභූවරුන් ඇතුලු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගීව සිටි අතර විවාහයට පෙර සිදුවූ අපූරු සිදුවීමක් වාර්තා වෙනවා.

මෙම මංගල උත්සවයට සති දෙකකට පමණ පෙර ශ්‍රියන්ත මෙන්ඩිස්‌ විශේෂ කාරණාවක්‌ සඳහා දෙහිවල නගරාධිපති අපේක්‌ෂක ධනසිරි අමරතුංගට කතාකර එක්‌ ඉල්ලීමක්‌ කළේය.

ධනසිරි එනවද මාත් එක්‌ක පොඩි ගමනක්‌ ගිහින් එන්න…

මොකක්‌ද කෙරෙන්න ඕන… ඕන දේ විතරක්‌ කියන්නකො… ධනසිරි ඇසුවේය.

මගේ දෙවැනි දුවගේ මංගල උත්සවය ජනවාරි 4 වැනිදා කිංස්‌බරි එකේ තියෙනවා. මට ඒකට කොහොමහරි මහින්ද රාජපක්‌ෂ මහත්තයව ගෙන්න ගන්ඩ ඕන. එනවද මාත් එක්‌ක යන්න ආරාධනා කරන්න...

ඒ අනුව ශ්‍රියන්ත හිටපු ජනාධිපතිවරයාගේ විඡේරාම මාවතේ නිවසට ගියේ ධනසිරිත් සමඟය. එහිදී ශ්‍රියන්තට ලොකු පිළිගැනීමක්‌ ලැබිණි. ශ්‍රියන්ත ආරාධනාව මහින්ද රාජපක්‌ෂ හිටපු ජනපතිවරයාට භාර දුන්නා පමණි. ඔහු එවෙලේ හරි අපූරු කතාවක්‌ කීවේය…

ශ්‍රියන්ත මට විශේෂ කෙනෙක්‌. ශ්‍රියන්තගේ වැඩකට නෑවිල්ලම බෑ… මම ජනාධිපති හැටියට හිටපු කාලෙ මාව හම්බවෙන්න හරියට කලාකාරයෝ ආවා…. ඒගොල්ල මාව වටකරගෙන හිටියා. මෙතැන නටන්න සින්දු කියන්න රඟපාන්න කලාකාරයෝ වැහි වැහැලා හිටියා. තව කට්‌ටියක්‌ සෙත් කවි කියන්නත් ඇවිත් හිටියා. අන්තිමේ බලය නැති වුණා විතරයි… ඒ මිනිස්‌සු කොහේ ගියාද කියල හොයාගන්න බැරි වුණා. ඒ වුණාට ශ්‍රියන්තයි කුසුම් රේණුයි මට මතකයි අපිත් එක්‌ක දිගටම හිටියා… ශ්‍රියන්ත උත්සවය රෑට ගන්න එක හොඳයි… මටත් කලින් බාර ගත්තු උත්සව ගණනාවක්‌ කොළඹින් පිට තියෙනවා. එහෙම තැනක ඉඳලා තමයි මේකට එන්න වෙන්නේ අනිවාර්යෙන්ම මම ධනසිරිත් එක්‌ක ඇවිල්ලා ඉන්නම්… ඕන දෙයක්‌ කියන්න….

ඒ අනුව එදා හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ කිංස්‌බරි හෝටලයේ මඟුල් ගෙදරට ගියේ ධනසිරි අමරතුංග සමඟ එකම වාහනයේය.

හිටපු ජනාධිපතිවරයා මඟුල් ගෙදරට යන විට එහි ශාලාව කලාකරුවන්ගෙන් පිරී තිබුණේය.. ඩලස්‌, ගම්මම්පිල, ජීවන්, ධනසිරි හා මහින්ද හැරුණු විට උත්සවයේ වෙනත් දේශපාලඥයෝ කිසිවෙක්‌ හිටියේ නැති තරම්ය. ගිය වේලාවේ පටන් මඟුල් ගෙදර සිටි තරුණ තරුණියන් හිටපු ජනාධිපතිවරයාව වටකරගෙන සෙල්පි ගහන්නට පටන් ගත් නිසා වෙනත් කෙනකුට ඔහු හා කතා කරන්නටත් නොහැකි විය. දවසම සෙල්පි වලින් ගැලවී පැමිණ ඔහුට වෙන්කර තිබූ මේසයේ ඉදගත්තත් මේසේ ළඟට ද පැමිණ සමහරු හිටගෙන සෙල්පි ගහන්නට පටන් ගත් අයද සිටි බව සදහන්.