ඇමැතිගෙ ඇස්‌ වසා ගේම් ගැසූ ක්‍රිකට්‌ ලොක්‌කන්ට වැඩ වරදියි

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා සහභාගි වීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යැමට ගුවන් තොටුපළට ගියද ඇමැතිවරයාගේ නියෝගයෙන් ඔවුන්ට ආපසු නිවෙස්‌ බලා යැමට ඊයේ (05 දා) අලුයම සිදුවිය.

මෙරට ක්‍රීඩා නීතිය අනූව සියලුම ජාතික කණ්‌ඩායම්වලට ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව කිසිදු සංචාරයකට සහභාගිවීමට නොහැකිය. එම නීතිය දැන දැනත් වත්මන් ක්‍රිකට්‌ ප්‍රධානීන් ඉතිහාසයේ ප්‍රථම වරට ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව කණ්‌ඩායමක්‌ ඉන්දියාවට යෑවීමට තීරණය කිරීමෙන් ක්‍රීඩකයන්ට මෙම අවස්‌ථාවට මුහුණ දීමට සිදුවිය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ”ඒක නේන්නම් මම දන්නෙත් නැතිව කණ්‌ඩායම නම් කරලා යවන්න හදලා. පස්‌සෙ මම ඒක නැවැත්තුවා. මේ පිළිබඳව මම ක්‍රිකට්‌ ආයතනයේ නිලධාරීන්ව කැඳවලා සාකච්ඡා කළා. මේ ගමන නිසා සිදුවුණ පාඩුව මේකට වගකියන්න ඕන නිලධාරීන්ගේ අතින් ගෙවන්න කියල මම දැනුම් දුන්නා. තරගාවලියට යන කණ්‌ඩායම කවුද කියල බලල මම දැන් අනුමැතිය ලබාදුන්නා” යනුවෙන් පැවසීය.

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල්ට ස්‌ථානය අහිමිවීම සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන්  විමසන ලදුව, ‘චන්දිමාල් දැන් ලකුණු අතර ඉන්නවා. නමුත් ඔහුට එක පාරටම එක්‌දින කණ්‌ඩායමට ගේන්නෙ නැතිව පස්‌සෙ අවස්‌ථාව දෙන්න ඕන. මොකද චන්දිමාල්ගේ ප්‍රහාරාත්මක වේගයේ ප්‍රශ්නයක්‌ තියෙනවා කියල තියෙනවා. අසේල ගුණරත්න, කුසල් පෙරේරා වගේ අයත් දැන් කණ්‌ඩායමට ඉන්නවා. තිසර පෙරේරාත් ඉන්න නිසා චන්දිමාල්ට ස්‌ථාන නැහැ. මේ තරගාවලියෙන් පස්‌සෙ බලමු.’ යනුවෙන් ඇමැතිවරයා පිළිතුරු සැපයීය.

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලියට ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 16 දෙනෙකු නම් කර තිබේ. ඒ අතරින් මේ වන විට ටෙස්‌ට්‌ තරගාවලියට ක්‍රීඩකයන් හත් දෙනෙකු සහභාගි වෙමින් සිටියි. නායක තිසර පෙරේරා ඇතුළු නව දෙනකු ඊයේ මෙසේ ගුවන් තොටුපොළේ සිට නැවතත් නිවෙස්‌ බලා පිටත්ව ගොස්‌ ඇත. අදාළ නව දෙනා අතරට ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, අසේල ගුණරත්න, කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, චතුරංග ද සිල්වා සහ සචිත් පතිරණ ඇතුළත්ව සිටි බව වාර්තා වේ. ශ්‍රී ලංකා පිල අද (6දා) ඉන්දියාව බලා පිටත් වීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *