ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩමේ නිධන් හාරමින් සිටි නිධන් හොරුන් කොටුවෙයි

රුපියල් කෝටි 4ක අල්ලස ඉවත දමා දළදා මාලිගාවට අයත් ඉඩමක නිදන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සමත් වෙති.

දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට නිධානයක් හෑරීම සඳහා විශාල ගලක් විදිමින් සිටි පුද්ගලයන් තුන්දෙනකු අත්අඩංගුවට ගත්හ.

ඔවුන් සමග බැකෝ යන්ත්‍රයක්, යතුරුපැදියක් හා ගල් විදින මෙවලම්, වෙඩි බෙහෙත් ආදී සියල්ල උඳුවප් පොහෝ දින රාත්‍රියේදී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

වැටලීම සඳහා පැමිණි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට මෙම සිද්ධිය අතහැර දැමීම සඳහා රුපියල් කෝටි හතරක මුදලක් ලබාදීමට එම ව්‍යාපාරිකයා ඉල්ලීමක් කිරීම විශේෂත්වයකි. ස්ථාන භාර පොලිස් නිලධාරිවරයා ඇතුළු කණ්ඩායම මුදල් ප්‍රතික්ෂේප කරමින් සියලු දෙනා අත්අඩංගුවට ගැනීම විශේෂත්වයකි.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් උඳුවප් පොහෝ දින රාත්‍රියේ පොද වර්ෂාවේ මෙම ස්ථානය වැටලීමට ලක් කළහ. පොලිස් කණ්ඩායම් එම ස්ථානය වට කරන විටත් පිරිස යාන්ත්‍රික උපකරණ යොදාගෙන විශාල ගලක අඩි 25ක පමණ ගැඹුරු විශාල වළක් හාරා ඒ මත දෝනාවක් යමින් නිදන් සොයමින් සිටි බව පොලිසිය කියයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ව්‍යාපාරිකයකු මෙන්ම බැකෝ යන්ත්‍ර අයිතිකරුවකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

ඔවුන් සතුව තිබී වෙඩි බෙහෙත් මෙන්ම ඩෙටනේටර්, දෙහි එමෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන ගල් විදින සුවිශේෂී වූ යන්ත්‍ර සූත්‍ර, බැකෝ යන්ත්‍රය, ලියාපදිංචි නොකළ අංක තහඩු නොමැති යතුරුපැදියක් ද පොලිස් භාරයට ගැනිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම ස්ථානය වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගලේවෙල පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වූහ.

ඔවුන් සඳහන් කළේ ලියාපදිංචි අංකයක් නොමැතිව වාහනයක් මෙම ස්ථානයට පැමිණ ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් පරීක්ෂා කිරීම සඳහා පැමිණි බවයි.

එහිදී පොලිස් විශේෂ බළකායේ අණදෙන නිලධාරිවරයා සඳහන් කළේ එම ස්ථානයට තම පොලිස් කණ්ඩායම පැමිණියේ ලියාපදිංචි සහිත අංක ඇති වාහනවලින් බවත් සියලු දෙනාම නිල ඇඳුමෙන් සැරසී පැමිණි බවය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ගලේවෙල පොලිසියට භාර දුන් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පවසති.

මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ හා කලාප අණදෙන නිලධාරි ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ජී. ලාල් ජයතිලක, දෙවැනි කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක අයි. රණතුංගගේ, උප පොලිස් පරීක්ෂක ඩී.එච්. ජයවර්ධන, උප පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. සිල්වා සහ පොලිස් සැරයන්වරුන් වන ජීවානන්ද (8786), චන්දන (5392), අමරසිංහ (10110), පොලිස් කොස්තාපල්වරුන් වන ලේකම්ගේ (76017), කුමාර (68236), සමරනායක (8134949), කුමාර (35341), විජේසුන්දර (80880) යන නිලධාරීහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *