මුළු කොළඹම විනාශ කරන්න ගෙනා බෝම්බ ලොරිය කොටු කරගත් විශ්මිත මෙහෙයුම

කනගරත්නම් ජීවරත්නම් නැමැති “ශුද්ධ දේශපාලන සිරකරුවා” පසුගිය ඔක්තෝම්බර් 26දා නි‍දොස් වී නිදහස් වුණේය. මේ “ශුද්ධ දේශපාලන සිරකරුවා” ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්වන්නේ මරාගෙන මැරෙන කොටියෙක් ලෙසය. ඒ වර්ෂ 2007 ජූලි 01දාය. මේ ඔහු සම්බන්ධ අතීත කතාවට අදාළ සිදුවීම් පෙළය.

අවුරුද්ද 2006 ය. රට මහා ගින්නකය. උතුර මෙන්ම නැඟෙනහිරත් මරණයේ රුදුරු සෙවණැලි තුළය. එක දිගට එල්ලවන එල්.ටී.ටී.ඊ. ප්‍රහාර නැඟෙනහිර නාවික බලය ව්‍යසනයට ලක් කරමින් සිටියේය.

නාවික සෙබළුන්ට ක්‍රියාන්විත රාජකාරියටත් වඩා බිහිසුණු අත්දැකීමක් වූයේ නිවාඩු ලබා ගමේ යෑමය. නිවාඩු ලැබූ නාවික හමුදා සෙබළු සහිතව කොළඹ එන රථ එක දිගටම එල්.ටී.ටී.ඊ සන්නද්ධ බුද්ධි ජාලයේ නිශ්චිත පහසු ඉලක්ක බවට පත්වෙමින් තිබිණි.

හමුදාවක් ලෙස නැඟෙනහිරදී නාවික හමුදාව අසරණ වී සිටි ප්‍රමාණය අතිශය දුක්ඛිත විය. අවසානයේ නිවාඩු යන නාවික සෙබළු ගොඩබිමින් කොළඹ ගෙන යෑම නැවැත්වීමට හමුදා ප්‍රධානීහු තීන්දු කළහ. ඔවුන් නැවෙන් ගාල්ලට ගෙනගොස් එතැනින් බස් රථවල කොළඹ ගෙන්වන්නට නාවික හමුදාවට සිදුවිය.

නාවික හමුදාව ඒ මොහොතේ මුහුණ දී සිටියේ හමුදාවක් ලෙස ස්වකීය ආත්ම ගෞරවය ආරක්ෂා කරගැනීම පිළිබඳ ගැටලුවකටය. අඩුම තරමින් තමන්ගේ සෙබළුන් සුරක්ෂිතව නිවාඩු යැවීම සඳහා වූ සහතිකය ලබා දිය නොහැකි තරම් ගොඩබිම් මාර්ගය අනාරක්ෂිතව තිබිණි.

එල්.ටී.ටී.ඊ සන්නද්ධ බුද්ධි ජාලය භූමියේ මෙහෙයුම් සියතට ගෙන සිටියහ. තමන් වෙත විවර නොවූ බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාන්විතයක සංකීර්ණ ස්වරූපය හඳුනා ගැනීම සඳහා රට වෙනුවෙන් කළ යුතු බුද්ධි මෙහෙයුමක අවශ්‍යතාව පැනනැඟී තිබිණි.

මේ වටපිටාවේදී නැඟෙනහිර නාවික බුද්ධි අංශයට නව මාණ්ඩලික බුද්ධි නිලධාරිවරයකු පත්වී ආවේය. ඔහු 2001 වසරේ නැඟෙනහිර එල්.ටී.ටී.ඊ කාඩරයන් වික්ෂිප්ත කළ මරාගෙන මැරෙන ප්‍රහාර බඳු ප්‍රහාර එල්ල කළ කුඩා කණ්ඩායම් මෙහෙයුම් භාරව කටයුතු කළ නිලධාරීන් කිහිප දෙනාගෙන් කෙනෙකි. නම සුමිත් රණසිංහය.

වර්ෂ 2001 මැයි මස 21 වැනිදා සුමිත් රණසිංහ මෙහෙයවූ කුඩා කණ්ඩායම එල්.ටී.ටී.ඊ බල ප්‍රදේශය තුළ දැවැන්ත ක්‍රියාන්විතයක නිරත විය. එම ප්‍රහාරයේදී එල්.ටී.ටී.ඊ කාඩරයන් 14 දෙනෙක් මිය ගියහ. ඔවුන්ගේ ආයුධද රැගෙන මෙම කණ්ඩායම කඳවුරට පැමිණියහ. සාර්ථක මෙහෙයුමකින් අනතුරුව මේ පිරිසට නිවාඩු ලැබිණි.

2001 මැයි මස 23 වැනිදා කණ්ඩායම නිවාඩු ගියහ. මෙහෙයුම පිළිබඳ එල්.ටී.ටී.ඊ.ය හිටියේ බලවත් වෛරයෙනි. ඒ වනවිට මේ පිරිස නිවාඩු යන වගට වූ බුද්ධි තොරතුර එල්.ටී.ටී.ඊ. ය වෙත ලැබී තිබිණි. නාවික හමුදා කණ්ඩායම සහිත රථයට එල්.ටී.ටී.ඊ. සන්නද්ධ බුද්ධි කාඩරයෝ කන්තලේ 98 කණුව අසලදී ක්ලේමෝ ප්‍රහාරයක් එල්ල කළහ.

නිවාඩු ගිය කණ්ඩායමේ 17 දෙනාගෙන් 14 දෙනෙක් එතැනම මිය ගියහ. සුමිත් රණසිංහ මියගියා සේ විය. මස් වැදැල්ලක් සේ රෝහල් ගත කළ ඔහු යන්තම් ජීවිතය බේරා ගත්තේය. එහෙත් ඔහුගේ ඇස් පෙනීම දුර්වල විය. කන් ඇසීම අඩුවිය.

සුමිත් සිටියේ කායිකව සියයට හැටක ආබාධිත තත්ත්වයකය. එහෙත් ඔහුගේ බුද්ධි පෞරුෂය සම්බන්ධව නාවික හමුදාව විශ්වාස කර තිබිණි. නාවික හමුදාව අතිශය බිහිසුණු අර්බුදයකට මුහුණ දී සිටි මොහොතක සුමිත් රණසිංහ මාණ්ඩලික බුද්ධි නිලධාරි ලෙස ත්‍රිකුණාමලයට පැමිණියේය.

මේ වනවිට එල්.ටී.ටී.ඊ.යේ අභ්‍යන්තර දෙදරා යෑම ආරම්භ වී තිබිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැඟෙනහිර නායක කරුණා අම්මාන් උතුරේ නාකයත්වයෙන් බිඳී ගියේය. කරුණා පාර්ශ්වය හා වන්නි පාර්ශ්වය අතර ගැටුම අවි ගැටුමක් තෙක් දිග හැරිණි.

වන්නි පාර්ශ්වය බලය අත් කරගත්තේය. අවසානයේ කරුණා සමඟ සිටි නැඟෙනහිර එල්.ටී.ටී.ඊ නායකයන් උපක්‍රමශීලීව වන්නියට කැඳවා එළිපිටම ඝාතනය කරනු ලැබීය.

මේ අවසරය හමුදා බුද්ධි අංශ විසින් සියුම් ලෙස හසුරුවමින් සිටියේය. නැඟෙනහිර නාවික හමුදා බුද්ධි ඒකකයේ ක්ෂේත්‍ර මෙහෙයුම් භාරව සිටි මාණ්ඩලික බුද්ධි නිලධාරි සුමිත් රණසිංහ යටතේ සිදුවූ මෙම බුද්ධි මෙහෙයුම් කෙතරම් විපුලත්වයට පත්වී ද යත් එල්.ටී.ටී.ඊ.

සංවිධානයේ පුරාජේරුව වූ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ බුද්ධි ජාලය විකල් වෙමින් තිබුණේය. නාවික බුද්ධි ඔත්තුකරුවෝ පොට්ටු අම්මාන්ගේ දෙවැනියා වූ කපිල් අම්මාන් හතර අතේ යැවූහ. ප්‍රහාර එල්ල කිරීම සඳහා වන්නියෙන් නැඟෙනහිරට එවන සන්නද්ධ බුද්ධි කාඩරයන් එකෙක් නෑර නාවික බුද්ධි ජාලයට කොටු වූයේ ළදරුවන් සේය.

කොටුවූ සන්නද්ධ බුද්ධි සාමාජිකයන් මනෝ ශෝධනයට ලක් කර ස්වකීය බුද්ධි ඒජන්තයන් කරගැනීමේ විශිෂ්ට හැකියාව සුමිත් රණසිංහ තුළ තිබිණි. මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා හමුදා කණ්ඩායම් විනාශ කිරීම සඳහා සන්නද්ධව පැමිණුණු එල්.ටී.ටී.ඊ. කාඩරයෝ අවසානයේ නැවතුණේ නාවික හමුදා බුද්ධි අංශයේ කොටස් වීමෙනි.

ඔවුන් හරහා වන්නි මෙහෙයුම් මූලස්ථානය නොමඟ යවමින් අනාගත එල්.ටී.ටී.ඊ සැලසුම් සියතට ගැනීමට නාවික බුද්ධි අංශය කටයුතු කළේය. නැඟෙනහිර අමු සොහොනක් කිරීමට ගෙනැවිත් තිබූ ක්ලෝමෝ බෝම්බ, ගිනි අවි, ඇතුළු අවි ආයුධ තොග වශයෙන් නාවික හමුදාව අතට පත්විය. නැඟෙනහිර එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් මුළුමනින්ම ඇනහිටියේය.

මේ එල්.ටී.ටී.ඊ පිරිස් යුද්ධයෙන් අනතුරුව පුනරුත්ථාපිත මිනිසුන් සේ සමාජගත වූහ. යුද්ධය පවතිද්දී නාවික බුද්ධි අංශ අධීක්ෂණය යටතේම ඔවුන් අතර සිදුවූ විවාහයන් පිළිබඳ අසන්නට ලැබිණි. රටේ රැඳී සිටීමට අකැමැති වූ බොහෝ දෙනෙක් විදේශ රැකියාවලට යොමු කළේය.

මේ මෙහෙයුම්හි විපුලත්වය කියන පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හමුවූ අත්දැකීම් ඇත්තෙමි. නැඟෙනහිරදී සිදුවූ මේ බුද්ධි ක්‍රියාන්විතය බිහිසුණු යුද්ධයක් පවතින වකවානුවක දියත් වූ ලෝකයේ ඕනෑම විශිෂ්ට බුද්ධි මෙහෙයුමකට නොදෙවැනි එකකි.

මේ මෙහෙයුම් අතර නාවික බුද්ධි අංශය කම්පනයට පත්කරන බුද්ධි තොරතුරක් ලැබිණි. එම තොරතුරෙන් කියැවුණේ කොළඹ පුපුරුවා හැරීම සඳහා බෝම්බ ලොරි දෙකක් වන්නියෙන් එවා ඇති බවත් එම ලොරි දෙක දැනට නැඟෙනහිර ප්‍රදේශයේ ස්ථානගතව තිබෙන බවත්ය.

ලොරි ඇවිත් තිබුණේ 2002 සාම කාලයේය. ඒ – 9 පාර දිගේය. මින් එක් බෝම්බ ලොරියක් කිසිම තොරතුරක් නැතිව අතුරුදන්ය. මේ බෝම්බ ලොරියට සිදුවූ දේ සොයාගත නොහැකි වුවහොත් කොළඹ කුඩු පට්ටම් වීමට නියමිතය.

මේ ගැන සෙවිල්ලේ ඉන්නා අවස්ථාවක පුද්ගලයෙක් පිළිබ¼ද තොරතුරක් ලැබිණි. ඒ ත්‍රිකුණාමලය පඩික්කන් මුහුදු තීරයේ මාළු වාඩි ආශ්‍රිතව සිය වාහනය ගාල්කර ජීවත්වන අධිශීතකරණයක් සහිත ලොරි රියදුරකු ගැනය.

මේ තැනැත්තා බොහෝ විට කාලය ගතකරමින් සිටියේ මාළු වාඩිවලය. දවසකට මාළු කිලෝ හතළිහක් හෝ පනහක් එක් තැනකින් තවත් තැනකට තොග වශයෙන් අලෙවි කර ලබා ගන්නා මුදල හැරෙන්නට ඔහුට වෙන ආදායම් මාර්ගයක්ද ඇති බව නොපෙනිණි. එහෙත් ඔහු හැමදාම මත් පැන් සාද පැවැත්වූවේය. ලැබෙන අවස්ථාවල ඉහළ පෙළේ හෝටල්වලින් ආහාර පාන ගන්නා අයුරු පෙනුණේය. නිරීක්ෂණය වූ වැදගත්ම කාරණාව වූයේ ඔහු කාන්තා ඇසුර සඳහා කළ නිර්ලෝභී වියදමය.

මේ සැක කටයුතු නිරීක්ෂණයත් සමඟ මාණ්ඩලික බුද්ධි නිලධාරී සුමිත් රණසිංහ මේ පුද්ගලයාගේ තොරතුරුත් ඔහු පදවන අධි ශීතකරණය සහිත ලොරියේ හිමිකරුගේ තොරතුරුත් පසුපස ලුහුබැඳ යන්නට සිය ඔත්තුකරුවන් මෙහෙයවීය. ලොරියේ සඳහන්ව තිබුණේ නො.71, අන්පවේලිපුරම්, ත්‍රිකුණාමලය යන ලිපිනය ය.

“පවර් ඔෆ් ජීසස්” ලෙස නම් කර තිබූ මෙම අධිශීතකරණ ලොරියේ හිමිකරු ගැන තොරතුරු මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනිණි. නිවෙස සෑහෙන කලක සිට වසා දමාය. වටපිටාවෙන් සෝදිසි කරන විට වාහනයේ හිමිකරු ලංකාවේත් නැත. ඔහු වාහනයත් ඔහුගේ වත්කම් ප්‍රමාණයත් හැර දමා ඉන්දියාවට ගොස්ය.

වාහනය පැදවූ තැනැත්තා පේදුරු තුඩුවේය. නම කනගරත්නම් ජීවරත්නම්ය. ඔහුගේ හැසිරීම පිළිබඳ සෑහෙන කාලයක් අවධානයෙන් සිටි නාවික බුද්ධි නිලධාරීහු එක් අවස්ථාවක ඔහුව උපක්‍රමශීලීව කොටුකර ගත්හ. බුද්ධි නිලධාරීන් හරහාම මත්පැන් සාදයක් සංවිධානය කෙරිණි. අධික ලෙස බීමත් වීමෙන් පසු ඔහු තමන්ගේ ඉලක්කයක් පිළිබඳ යම් ඉඟියක් ලබා දිණි. බීමත්ව ඇදවැටුණු පසු කඳවුර වෙත රැගෙන ගිය කනගරත්නම් පසුදා සවස් යාමයේ ප්‍රශ්න කිරීමට ලක් කෙරිණි.

ඔහු ඉතා පහසුවෙන් තමන්ගේ මෙහෙයුමේ තොරතුරු නාවික බුද්ධි අංශය වෙත ලබා දුන්නේය. ඔහු පඩික්කම් වෙරළේ ගාල් කර තිබුණේ අධි ශීතකරණ සහිත මාළු ප්‍රවාහන ලොරියක් නොව, අධි බල බෝම්බ ලොරියකි. මේ ලොරිය පදවාගෙන කනගරත්නම් අවස්ථා කීපයක්ම කොළඹ පැමිණ තිබුණේය. ඒ ත්‍රිකුණාමලයේ සිට මාළු පටවාගෙන කොළඹ මාළු කඩේටය.

ලොරියේ පුපුරන ද්‍රව්‍ය තැන්පත් කර තිබුණේ අතිවිශේෂ ස්කෑනර් යන්ත්‍රයකට මිස සාමාන්‍ය පරීක්ෂණයකදී හසුනොවන සූක්ෂ්ම ආකාරයට බැවින් මේ එක් ගමනකදීවත් පුංචි හෝ සැකයක් මේ ලොරිය පිළිබඳව ආරක්ෂක අංශ වෙත ඇති වී තිබුණේ නැත.

ඒ සමඟම කනගරත්නම් ඔහුට ලබා දී ඇති ඉලක්කය කීවේය. එය ගත්තා නම් රටම ඉවරය. ඉලක්කය කොළඹදී ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් රැස්වන ආරක්ෂක මණ්ඩල රැස්වීමක්ය. බෝම්බ ලොරිය පුපුරා යන ස්විචය සම්බන්ධ කර තිබුණේ වාහනයේ වයිෆරයටය.

කනගරත්නම් රැකවල් පිට රඳවා තැබූ බුද්ධි නිලධාරීහු පඩික්කන් වෙරළ තීරයට ගියහ. මුලින්ම මඟ දෙපස පිරිස් ඉවත් කෙරිණි. අනතුරුව පුපුරා ගියහොත් තමන්ගේ රෝම කූපයක දෙයක් සොයා ගත නොහැකි තරම් වන බිහිසුණු බෝම්බ ලොරියට බුද්ධි සාමාජිකයෝ දෙදෙනෙක් ගොඩවූහ. ලොරිය පණ ගන්වා ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ජනශූන්‍ය කලාපය වන වෙඩි පිටියට රැගෙන ගියහ.

අනතුරුව මෙහි සැබෑ ලෙසම බෝම්බ සවි කර ඇත්දැයි සොයා ගැනීමට කළ කිසිම බාහිර නිරීක්ෂණයකින් ඒ බවට වන කිසිම සාධකයක් සොයාගත නොහැකි විය.

ලොරියේ ෆ්‍රීසරය සහිත කොටසේ යකඩ බිත්තියට යකඩ ඉන්නක් යොදා එහි තහඩුව විවර කිරීමට ඔවුන් කටයුතු කළේ ඉන් අනතුරුවය. ඒ බිහිසුණු දැකුම දුටුවේ එවිටය. අධිශීතකරණය සහිත පසුපස කොටසේ බිත්තියම ආවරණය වන ආකාරයට අධි බලැති පුපුරන ද්‍රව්‍ය තැන්පත්කරය.

සියලු තොරතුරු නිශ්චිතය. අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා නාවික හමුදාව හරහා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාර දුන්නේය. පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ වාර්තාව නිකුත් වන්නේ ඉන් අනතුරුවය.

ලොරියේ තැන්පත් කර තිබුණේ සී- 4 ලෙස හැඳින්වෙන අධිබල පුපුරන ද්‍රව්‍යය ප්‍රමාණයක්ය. එහි මුළු බර කිලෝ 1080 ක් බව වාර්තා වුණේය. ලංකාවේදී පුපුරුවා හැරීමට සැලසුම් කළ විශාලම බෝම්බ ලොරිය මෙය බව තහවුරු විණි. මෙම බෝම්බ ලොරියේ විනාශකාරී බලය ගැන පැහැදිලි කළ විශේෂඥ වාර්තාවට අනුව එය පුපුරා ගියේනම් වර්ග කිලෝමීටරයක ප්‍රමාණය මුළුමනින්ම සුන්වන බව දක්වා තිබිණි.

කනගරත්නම් ජීවරත්නම් අධිකරණයට ඉදිරිපත් කරන්නේ මේ සියලු සාක්ෂි සමඟය. එහෙත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ පුපුරන ද්‍රව්‍ය සාම්පලය ඉදිරිපත් කර තිබූ ආකාරයේ තාක්ෂණික වැරැද්දක් හේතුවෙන් කනගරත්නම් ජීවරත්නම් නම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කොටි සැකකරුවා මුලින්ම දේශපාලන සැකකරුවකු විය. පසුව නි‍දොස් වී නිදහස් විය.

දෛවය පුදුමාකාරය. මේ මොහොත වනවිට එම බෝම්බ ලොරිය සහිත ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගැනීම ඇතුළු නාවික හමුදාවේ විශිෂ්ටම බුද්ධි ක්‍රියාන්විතය කළ කපිතාන් සුමිත් රණසිංහ ඇපත් නැතිව හිරේය. අත්අඩංගුවට ගැනීමට එල්ලවන චෝදනාව 11 දෙනෙක් පැහැරගෙන ගොස් කප්පම් ගෙන අතුරුදන් කිරීමය. අධිකරණයේ නඩුව ඇසෙමින් ඇත්තේය.

මේ වනවිට ඔහු පුද්ගලයන් පැහැර ගැනීමේ චෝදනාවෙන් නිදහස්ය. කප්පම් ගැනීමේ චෝදනාවෙන් නිදහස්ය. මේ අතර රහස් පොලිසිය මේ නඩුව ඉදිරියට ගෙනයන්නට සැරසෙන ආකාරය පිළිබඳ වන අතාර්කික ස්වරූපය සම්බන්ධව නීතිවේදීන් පිරිසක් නෛතික සාධක පදනම් කරගෙන අධිකරණයට ලිඛිත කරුණු දැක්වීමක් කර තිබෙන්නේය.

නීතිය නවන්නට හැකි බව කීවේ රටේ පොලිස්පතිය. එහෙත් එය ඕනෑවට වඩා නවන්නට යෑම බිහිසුණුය. එවිට කැඩී යන්නේ නීතිය නොව පිහිටක් නැති අසරණ මිනිසුන් පිරිසක් සහිත රටක එකම සමාජ අපේක්ෂාව වන ගරු අධිකරණය පිළිබඳ විශ්වාසය ය. ගෞරවය ය. එම ගෞරවය හා විශ්වාසය බිඳුණු මොහොත මේ රටේ මිනිසුන්ට සියල්ල අහිමිවන මොහොතය.

(පුවත්පත් ඇසුරිණි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *