දුගියෙකුව ඉපිද මහැදුරකු වූ දිරිය මිනිසකුගේ කතාව…

ඒ මේ සිද්ධියයි. කතාවටයි මුල පිරෙන්නේ. දැන් අවුරුදු තිහකට විතර ඉස්‌සර ඒ කාලේ මම නුවරඑළිය පළාතේ සේවය කරපු විදුහල්පතිවරයෙක්‌. උසස්‌ පෙළ පන්තිවල විභාග උත්තර පත්‍ර බලන්න කොළඹ යන එක පුරුද්දක්‌ වගේ කළා. දැන් වගේ කිට්‌ටු නගරවල උත්තර පත්‍ර බලන ක්‍රමයක්‌ ඒ කාලේ තිබුණේ නෑ. මුළු ලංකාවේම අය කොළඹට කැඳවලා කොළඹ දී තමා උත්තර පත්‍ර බැලුවේ.

තදබදේ වැඩිකමට ඒ කාලේ කොළඹ තාවකාලික නවාතැනක්‌ හොයාගන්න එක නිකිණි හොයනවා වගේ අමාරු වැඩක්‌. පැය ගණනක්‌ ඇවිදලා පන්සලක්‌ නවතින්න හොයා ගත්තා. පන්සලේ ඉඳලයි උත්තර පත්‍ර බලන්න ගියේ. උදේ ගියාම එනකොට හැන්දෑ වෙනවා. දවල් ගිනි කාෂ්ටක අව්ව. ඇඟ පුරාම ඩහදිය නෑවිලා රස්‌නෙට. රෑට ඉන්න බැරි විදිහට මදුරු කරදරේ. ප්‍රධාන පරීක්‍ෂකවරයෙක්‌ ඉදිරිපිට අපි රවුමට ඉඳගෙන උත්තර පත්‍ර බැලුවේ. ඒ ඒ වැඩවල උත්තර පත්‍ර පරීක්‍ෂාව හරි හැටි කරනවාද බලන්න විශ්වවිද්‍යාල වල අත්දැකීම් තියෙන පළපුරුදු මහාචාර්යවරු ආලින්දවල ඇවිදිනවා.

අපි ඉන්න කාමරවලට තියෙන කාමරේ තිබුණේ වෙනත් වැඩක්‌. ඒ අය බාරව හිටපු හීන් කළු කෙට්‌ටු මහාචාර්යවරයෙක්‌ අපි ඉන්න කාමරය ළඟින් නිතර යනවා එනවා. එයා කීප සැරයක්‌ මාත් එක්‌ක කටපුරා හිනා වුණා. ඇඟපත කළු වුණත්, ඇඟ හීන්දෑරි වුණත් එයාගේ මූණ හරිම සිරියාවන්තයි. ඇඳුනුම්කමක්‌ ඇතත් නැතත් හිනාවෙනවා කියලයි මමත් මුලදී හිතුවේ. එක දවල් කෑම විවේක වෙලාවක වැඩ නවත්තලා මම කැන්ටිම පැත්තට යන්න හිතාගෙන එළියට බැස්‌සා. එතකොට අර කළු කෙට්‌ටු මහාචාර්යවරයා මං දැකලා එකවර නැවතුණා.

“සර් දඹුල්ලේ ඉගැන්නුවා නේද?”

“ඔව්” කියලා මම කිව්වා.

“සර්ගෙ නම… නේද?”

“ඔව්”

“සර්ට මාව මතකද? මම ඒ ඉස්‌කෝලේ ගියා. සර්ට මතකද?” මම එයාගේ ඉහේ ඉඳන් පාද දක්‌වා කීප සැරයක්‌ හොඳට බැලුවා.

“මට නම් මතකයක්‌ නෑ”

“මතක හිටින්ට මම ලකුණක්‌ කියන්නම්. එතකොට නම මතක්‌ වෙයි”

“සර්ට මතකද? හත අට පන්තිවල සරමක්‌ විතරක්‌ ඇඳගෙන කමිසයක්‌ නැතිව ඉස්‌කෝලේ ආපු ළමයෙක්‌. මුළු ඉස්‌කෝලේම කමිසයක්‌ නැතිව ඉස්‌කෝලේ ආවේ එයා විතරයි”

“අපොයි ඔව්. දැන් හොඳට මතකයි”

“කමිසේ නැතිව ඉස්‌කෝලේ ආවේ මම තමයි”

“සමාවෙන්න අඳුර ගන්න බැරිවුණාට… මම කැමැතියි ඔය දරුවගේ හපන්කම් අහන්න”

“මම සර්ලා මාරුවෙලා ගියහම ඒ ඉස්‌කෝලෙම උසස්‌ පෙළ විභාගය කළා.

පළවෙනි සැරේම ලකුණු අරගෙන විශ්වවිද්‍යාලෙට තේරුණා. සර්ට මතකනෙ. අපෙ තාත්තා නෑ. ඉස්‌කෝලෙට එනකොටත් ගමේ පන්සලේ නැවතිලයි ඉස්‌කෝලෙට ආවේ. සල්ලි ප්‍රශ්න හින්දා ඉස්‌කාලෙට යන එකත් ලොකු ගැටලුවක්‌ වුණා. අම්මා කුලී වැඩ කරලයි දරුවෝ ටික රැකබලා ගත්තේ…”

“මමත් විශ්වවිද්‍යාලය ළඟ පන්සලක හාමුදුරු නමක්‌ මුණගැහිලා මගේ කතාව කිව්වා. ඒ හාමුදුරුවෝ මගේ කතාව අහලා පන්සලේ නැවතිලා ග්‍රාම නිලධාරිතුමා විශ්වවිද්‍යාලයට යන්න ඕන වෙනකොට අතේ වියදමට සල්ලි දුන්නා. මට පූරුවේ කරපු පිනකටයි ඒ හාමුදුරුවෝ මුණ ගැහුණේ. විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිය පළමුවැනි සැරේම බොහොම ඉහළින් පාස්‌ වුණා. ඒ හින්දා විශ්වවිද්‍යාලයේම තාවකාලිකව උගන්වන්න ඉඩ ලැබුණ. දිගටම විශ්වවිද්‍යාලයේ උගන්වලා ඒකෙම සල්ලිවලින් පිටරට ගිහින් තව සුදුසුකම් වැඩි කරගන්න පුළුවන් වුණා. දැන් ඊටත් වඩා තවත් තනතුරක්‌ පැවරිලා. එක ශිෂ්‍ය නේවාසිකාගාරයක්‌ පාලනය කරන්නේ මං යටතේ. ඒ හින්දා ඒ ළමයින් හරි මඟට ගන්න මම නිතරම උපදෙස්‌ දෙනවා. ඒ අයට මගේ ජිවිත කතාව කියලා දෙනවා. සර්ට නවතින්න තැනක්‌ නැත්නම් මම ඉන්න තැන නේවාසිකාගාරයේ නවතින්න පුළුවන්”
“මම එයාගේ කතාව අහලා කම්පා වුණා. සමහරු ඉහළට ගියාම මුල අමතක කරනවා. අම්මා, තාත්තා, ගම රට නෑදෑයෝ අමතක කරනවා. ඉහළම පන්තියෙන් ආවා වගේ අලුත් නෑයෝ යාළුවෝ හොයා ගන්නවා. මේ දරුවා ඒ අතින් මොනතරම් අවංකද? තමන් හිටපු හැටි, ඉස්‌කෝලේ ආපු අය, විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු හැටි ඔකකාම ලැඡ්ජාවක්‌ නැතිව එළිකළා. ඒ අවංකකම හින්දා. දිළිඳුකම මිනිහෙකුගේ ජිවිතේ පරාජයට හේතුව වෙන්න හොඳ නෑ දුප්පත්කමට විරුද්ධව තමන්ගේ උත්සාහයෙන් ඉහළට ගිය මේ දරුවා රටටම දෙන්නේ වැදගත් පණිවුඩයක්‌.

“නෑ දරුවා. ඔබේ අවංකකම ගැන උත්සාහය ගැන මට හරිම සතුටුයි. දුක දිනා ගත්තු හපනෙක්‌ ඔබ. මට මේ දවස්‌වල නැවතීමේ ගැටලුවක්‌ නෑ. ඔබ නැවත හමුවීමම ලොකු පිනක්‌ කියලා හිතනවා. ඔබට තව තවත් ඉදිරියට යන්න වාසනාව තියෙනවා”

ඒ එයා මං ළඟ දණගහලා වැන්දා. මම ඒ දරුවට සුබ පතලා හිස අත ගෑවා. දවස්‌ කීපයක්‌ ගතවෙන කල්ම ඒ සිද්ධිය මගේ හිතේ හොල්මන් කළා. දැනුත් අතීතය මතක්‌ වෙනකොට මේ දරුවා මගේ හිතේ මැවී පේනවා.

එස්‌. කේ. ජයවර්ධන
– Divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *