දීපිකාගේ හිස ගසා දමන කෙනෙකුට කෝටි 100 ක්- බොලිවුඩ් සිනමාවට මොකද මේ වෙන්න යන්නෙ

බොලිවුඩ් සිනමාවේ සුරූපී නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන කෙනකුට ඉන්දියානු රුපියල් කෝටි සියයක්‌ (මෙම මුදල කෝටි 10 ක්‌ ලෙස ද සඳහන් වී ඇත.) පිරිනමන බවට කරන ලද නිවේදනයක්‌ නිසා ඉන්දියාව පමණක්‌ නොව ජගත් සිනමා ක්‌ෂේත්‍රයම ඉමහත් කැලඹීමකට පත්ව තිබේ. දීපිකාගේ හිසට මෙබඳු වන්දියක්‌ ගෙවීමට සිදුව තිබෙන්නේ ඇය විසින් පද්මාවතී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම නිසා බව ද සඳහන් වේ. ‘පද්මාවතී’ නමැති මෙම චිත්‍රපටය තවම මහජන ප්‍රදර්ශනය සඳහා අනුමත කර හෝ නැත. එහෙත් ඉන්දියාවේ හින්දු අන්තවාදී කණ්‌ඩායම් වලින් මෙම චිත්‍රපටයට බලවත් විරෝධතාවක්‌ එල්ලවීම නිසා දීපිකා පමණක්‌ නොව පද්මාවතී චිත්‍රපටයේ අධ්‍යක්‌ෂ සන්ඡේ ලීලා බන්සාලි පවා අද ජීවිත අනතුරක්‌ අභියස භීතියෙන් පසුවෙති.

‘පද්මාවතී’ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට ඉඩ නොදිය යුතු බව මෙම අන්තවාදී හින්දුහු පවසති. භාරතීය ජනතා පක්‌ෂය නියෝජනය කරන හර්යානා ප්‍රාන්ත නායක සුරා පාල් අමු, දීපිකා ඝාතනය කරන්නැයි ප්‍රසිද්ධියේම ඉල්ලා ඇති බව ද කියති. මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ භාරතීය ජනතා පක්‌ෂය හෝ කොංග්‍රස්‌ පක්‌ෂය හෝ මෙතෙක්‌ කිසිවක්‌ ප්‍රකාශ කර නොතිබීම තවත් විස්‌මිත නිහඬතාවක්‌ සේ මාධ්‍ය හඳුන්වා ඇත. ජගත් සිනමා ශිල්පීන් ලෙස කීර්තියක්‌ හිමිකර ගත් ඉන්දියාවේ අමිතාබ් බච්චන් මෙන්ම ෂාරුක්‌ ඛාන් ද තම සහෝදර නිළිය දීපිකා වෙනුවෙන් වචන මාත්‍රයක්‌ හෝ නොපවසා තිබීම ඊටත් වඩා පුදුමයකි.

පසුගිය දිනවල ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ මැතිවරණ උණුසුම ඉහළ යමින් තිබුණු මොහොතක ‘පද්මාවතී’ චිත්‍රපටය පිළිබඳ පැතිර ගිය දූෂමාන ආරංචි නිසාම මෙම වාතාවරණය ඇති වූ බව දේශපාලන අංශවල අදහස විය. එහෙත් හාස්‍යජනක කරුණ වන්නේ තවමත් මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් නොවූ කිසිවෙක්‌ හෝ නරඹා නොමැති චිත්‍රපටයක්‌ අරභයා මෙබඳු උමතු විරෝධයක්‌ ඇතිවීමය. සැබැවින්ම ‘පද්මාවතී’ගේ චරිතය දීපිකා පදුකෝන් විසින් නිරූපණය කරන ලද ආකාරය හෝ කිසිවෙක්‌ දැක නොමැත. ‘පද්මාවතී’ චිත්‍රපටයට තේමා වී ඇත්තේ මුස්‌ලිම් ජාතිකයකු සමඟ විවාහ වූ හින්දු රැජනකගේ කතා පුවතකි. දීපිකා මෙම හින්දු රැජනගේ චරිතයට පණ දී ඇත. එහෙත් ඇය විසින් නිරූපණය කරනු ලැබ ඇත්තේ කෙබඳු චරිතයක්‌දැයි නිශ්චිතව දුටු අයෙක්‌ ද නොවෙති.

1963 හා 1964 වැනි වර්ෂවල මෙම තේමාව ඇසුරින් චිත්‍රපට දෙකක්‌ම නිර්මාණය කර ප්‍රදර්ශනය කළ බව ද කියති. එහෙත් එදා මෙබඳු විරෝධතාවක්‌ පැනනැඟුණේ ද නැත. එදා ඉන්දියාවේ පාලකයා වූයේ අගමැති ජවහර්ලාල් නේරුය. අද අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනය තුළ මෙබඳු හින්දු අන්තවාදීන්ගේ නැඟිටීමක්‌ නිසා ඉන්දීය සිනමාව අනතුරක වැටී තිබේ ද යන ප්‍රශ්නය සමහරු නඟති. ‘පද්මාවතී’ චිත්‍රපටය නිසා හින්දු ජනතාවගේ සිත් රිදී තිබෙන බව උත්තර ප්‍රදේශයේ මහ ඇමැතිවරයා ප්‍රකාශ කළ බවක්‌ ද වාර්තා වේ. ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක්‌ම තවමත් ප්‍රදර්ශනය වී නොමැති මෙම චිත්‍රපටයට විරෝධය දක්‌වා තිබීම කලාවට වඩා දේශපාලන ප්‍රශ්නයක්‌ ලෙස විග්‍රහ කළ හැකිය.

පද්මාවතී චිත්‍රපටය පිළිබඳ නිර්මාණය කළ වෙළෙඳ ප්‍රචාරක පටයක හින්දු රැජනක්‌ ලෙස රඟපෑ දීපිකාගේ නර්තන ජවනිකාවක්‌ තිබුණි. පද්මාවතී රැජනිය එලෙස නර්තනයක යෙදීම හින්දු ජනයාගේ කෝපයට හේතු වූ බව කියති. හර්යානා ප්‍රාන්ත දේශපාලනඥයකු වූ සුරා පාල්, දීපිකාගේ හිසගසා දැමීමට යෝජනා කරන්නේ මෙම ජවනිකාව දැකීමෙන් දැයි වාර්තා වී නැත. එහෙත් දේශපාලනයට වඩා කලාව වෙනස්‌ හා සංවේදී දෙයක්‌ බව ඔහු තේරුම් ගෙන නැති බව නම් පැහැදිලිය. පද්මාවතී චිත්‍රපටයේ අධ්‍යක්‌ෂ සංෙ- ලීලා බන්සාලි අත්අඩංගුවට ගත යුතු බව ද සුරා පාල් පවසා ඇත. එපමණක්‌ නොව මෙම චිත්‍රපටය බෙංගාලයේ තිරගත කිරීමට ඉඩ ලබාදුනහොත් එහි මහ ඇමැතිනි මමතා බන්ජෙර්ජිගේ නාසය කපා දැමිය යුතු බව ද ඔහු කියා තිබේ. හින්දු සංවිධාන ‘පද්මාවතී’ චිත්‍රපටයට දක්‌වන මෙම විරෝධය කලාවේ නිදහසට එල්ල කරන තර්ජනය පිළිබඳ රතු එළියක්‌ වැන්න.

ඇමෙරිකාවේ හොලිවුඩ් සිනමාව සමඟ තරග වැදී සිටින ඉන්දියානු බොලිවුඩ් සිනමාව අද යුරෝපයේ පවා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ ඉන්දියානු සිනමාවේ තිබෙන චමත්කාරය, විචිත්‍රත්වය, තේමාව හා නර්තනය සමඟ මුසු වූ සංගීතය නිසාය. ඉන්දියාවේ ප්‍රබල සිනමාකරුවකු වූ දේව් ආනන්ද පවා ඔහුගේ ‘ප්‍යාර්කා තරානා’ චිත්‍රපටයට එල්ල වූ විරෝධය නිසා බෙහෙවින් කනස්‌සල්ලට පත්වී ඇත. එම චිත්‍රපටයට විරෝධය එල්ල වූයේ ද නැටුම් ජවනිකාවක්‌ සම්බන්ධයෙනි. ඉන්දියාව සිනමාවට හා ක්‍රිකට්‌ ක්‍රීඩාවට දක්‌වන අවධානය හා භක්‌තිය කෙතරම් ද යත් ඒවා නූතන ඉන්දියාවේ ආගම් බවට පත්ව තිබෙන බව ද කියති. එහෙත් ඉන්දියානු සිනමාව යනු එක්‌ නිමේෂයකින් පුපුරා යා හැකි බෝම්බයක්‌ තරමටම අනතුරුදායක අවිනිශ්චිත දෙයක්‌ බව ද සමහරු කියති.

ඉන්දියාවම උණුසුම් කළ චිත්‍රපට දෙකක්‌ ලෙස ‘ෆයර්’ (Fire) හා ‘බැන්ඩිට්‌ ක්‌වීන්’ සඳහන් කළ හැකිය. සැමියකුගේ කාර්ය බහුලත්වය නිසාම හුදෙකලා වන මධ්‍යම පාන්තික යුවතියක තේමා කරගත් ‘ෆයර්’ චිත්‍රපටය මීරා නායර්ගේ අධ්‍යක්‌ෂණයකි. මෙම චිත්‍රපටය සාර්ථකව ප්‍රදර්ශනය වෙද්දී ශිව සේනා සංවිධානය එයට විරෝධය දැක්‌වූහ. එදා භාරතීය ජනතා පක්‌ෂයේ ප්‍රවෘත්ති ඇමැතිවරයා ප්‍රකාශ කළේ රජය චිත්‍රපටය තහනම් කර නැති වුව ද ජනතාව එයට විරෝධය පා තිබෙන බවය. ඉන්දියාවේ සම්භාවනීය නිළියක වූ ශවානා ආස්‌මි මෙහි රඟපෑම ගැන ද විරෝධතා එල්ල විය.

මෙවැනිම ආන්දෝලනයක්‌ ඇති කළ චිත්‍රපටයක්‌ ලෙස ‘බැන්ඩිට්‌ ක්‌වීන්’ හැඳින්විය හැකිය. ඉන්දියාවේ කුල පීඩනය හා ඉහළ පන්තියත්, ඔවුන් නියෝජනය කරන දේශපාලනයේ නග්න විලාසයත් මෙම චිත්‍රපටය තුළින් සමාජ අවධානයට යොමු කර තිබුණි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය නිරුවතින් ළිඳක්‌ ළඟට ඇවිදගෙන ගොස්‌ වතුර අදින ජවනිකාවක්‌ අඩංගු විය. එය සත්‍ය සිදුවීමක්‌ බව මුළු ඉන්දියාවම දැන සිටියේය. මෙම ජවනිකාව නිරූපණය කළේ උගත් නිළියක්‌ වූ සීමා බිස්‌වාස්‌ ය. එම දර්ශනය යථාර්ථවාදීව දැක්‌වීමට එම නිරූපණය අත්‍යවශ්‍ය බව පෙනුණු නිසා තමන් කිසිදු පැකිළීමකින් තොරව එය නිරූපණය කළ බව සීමා බිස්‌වාස්‌ ම පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. කෙසේ වුව ද මෙය සදාචාර විරෝධී බව ඉන්දියාවේ හින්දු සංවිධානවල අදහස විය. මෙම චිත්‍රපටයට ජාත්‍යන්තරව ද විශාල ප්‍රසාදයක්‌ හිමි විය.

ඉන්දියානු සංස්‌කෘතිය තුළ අනුරාගය, කාමෝද්දීපනය වැනි කරුණු ඉතා විවෘතව පවතී. කජුරාවෝ වැනි දේවස්‌ථානවල සම්භෝගය නිරූපණය කළ විවිධ කැටයම් හා චිත්‍ර දැක්‌වේ. මේවා ජගත් රසිකයන්ගේම ගෞරවයට පාත්‍ර වූ නිර්මාණ වේ. එසේම ‘කාමසූත්‍ර’ නමැති කෘතියක්‌ ද පුරාණ ඉන්දියානු සමාජයට අයත්ව තිබේ. පසුකාලීනව මෙනමින් චිත්‍රපටයක්‌ ද නිර්මාණය විය. මේ පසුබිම තුළ ඉන්දියාව ස්‌ත්‍රීත්වය සෞන්දර්යාත්මකව අගය කළ බව පැහැදිලිව පෙනේ. ශෘංගාර රසය පිළිබඳ සංකල්පය ඉන්දියානු සාහිත්‍යයේ ද ගැබ්වූවකි. මහාකවි කාලිදාසගේ කෘති එයට සාක්‌ෂි වේ. ඉහත සඳහන් කාමසූත්‍ර ග්‍රන්ථය රචනා කළ වාත්ස්‍යාන නමැති පඬිවරයා ප්‍රකාශ කළේ තම කෘතිය සම්භෝගය විද්‍යාත්මක ඇසකින් අනාවරණය කෙරෙන ගුරු පොතක්‌ ලෙසය. ‘කාමසූත්‍ර’ චිත්‍රපටයට ‘හින්දු ටයිම්’ සඟරාව ද සිය විරෝධය පළකර තිබුණි. එහෙත් සමාජයක විවිධ අදහස්‌ තිබෙන බව අපි දනිමු. යම් චිත්‍රපටයක්‌ සභ්‍ය ද අසභ්‍ය ද යන්න කීප දෙනකුට නිගමනය කළ නොහැකි බව ඉන්දීය සිනමා විචාරකයෝ කියා සිටිති. කලාකරුවාගේ ප්‍රකාශන නිදහසට සීමාවන් නොතිබිය යුතු බව ද ඔවුහු අවධාරණය කරති. වසර දහසකට අධිකව ඉන්දියාව නග්න රූපය උසස්‌ කලාවක්‌ බව විශ්වාස කර තිබේ. ඉහත සඳහන් කළ කජුරාවෝ මෙන්ම එල්ලෝර්, කොර්නාත් හා කාලි දේවස්‌ථාන නරඹන ප්‍රබුද්ධ රසිකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද එය අමුතු දෙයක්‌ වී නැත.

ශ්‍රී ලාංකික සිනමාකරුවන්ට ද මෙබඳුම සමාජ හා දේශපාලන විරෝධතාවන්ට මුහුණදීමට සිදු වූ අවස්‌ථා තිබේ. රාජපක්‌ෂ පාලන සමයේදී උතුරේ හමුදා මෙහෙයුම් සිදු වූ වකවානුව තුළ යුද තේමාවක්‌ සහිත චිත්‍රපට කීපයකටම ප්‍රශ්න මතුවිය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්‌ෂණය කළ ‘පුරහඳ කළුවර’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආණ්‌ඩුව තහනම් කළේය. එහෙත් විතානගේ එයට අභියෝග කිරීමට අධිකරණයට ගියේය. එහිදී ඔහුට ජයග්‍රහණය පමණක්‌ නොව වන්දි මුදලක්‌ ගෙවන ලෙස ද අධිකරණය විසින් නියෝග කරන ලදී. අශෝක හඳගම, විමුක්‌ති ජයසුන්දර වැනි සිනමාකරුවන්ට ද ඇතැම් කණ්‌ඩායම් විරෝධය දැක්‌වූහ.

මෙබඳු සමාජ දේශපාලන මැදිහත්වීම් වෙනත් රටවල ද සිදුවී තිබේ. එහෙත් ඉන්දියාවෙන් වාර්තා වන ‘පද්මාවතී’ චිත්‍රපටයට නැඟුනු විරෝධය සුවිශේෂ එකක්‌ වන්නේ එම චිත්‍රපටය නැරඹීමට පෙර සිටම එබඳු විරෝධයක්‌ ඉදිරිපත් වීමයි. එය ඉතාම අස්‌වාභාවික මෙන්ම ජාතිවාදී උමතුවක්‌ ලෙස සිනමා රසිකයන් හඳුන්වා ඇත්තේ ද එනිසාය. අනෙක්‌ වැදගත්ම කරුණ වන්නේ නූතන තාක්‌ෂණය හා අන්තර්ජාලය ඔස්‌සේ අද ඕනෑම චිත්‍රපටයක්‌ ජනතාවට දැකගැනීමට ද බාධාවක්‌ නැති වීම නිසා වාරණය විහිළුවක්‌ බවට පත්වීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *