මඤ්ඤොක්කා අගුණ වෙන්නේ මෙහෙමයි

මඤ්ඤොක්කා යනු, අද වන විට සුලබව දක්නට ලැබෙන ආහාරයකි. ‍ගමේ පොළේ වගේ ම,සුපිරි වෙළෙඳසැල්වලත් මෙය කිසිදු අපහසුවක් නැතිව මිලදී ගැනීමට හැකි ය. ඒ වුණත්, මඤ්ඤොක්කා ආහාරයට ගැනීමට බොහෝ දෙනා බියක් දක්වති. එයට හේතුව, මේවා ආහාරයට ගැනීමෙන් සමහරවිට විස වීම සිදුවන බවට පවතින බිය නිසා ය.මඤ්ඤොක්කාවල විස අන්තර්ගත වන්නේ,බැඳුණු අණු හා නොබැඳුණු අණු වශයෙනි.බැඳුණු අණුවල ඇත්තේ ලිනමරින් නම් සංයෝගය ය. එම සංයෝගය ජලය සමඟ විච්ජේදනය වී, HCN නමැති ඉතා විස සහිත සංයෝගය සෑදේ.අපගේ ශරීරයේ ස්වභාවයෙන් ම තිබෙන එන්සයිම තුනක් මඟින් HCN විස අඩු අණු බවට පත් කර, මුත්‍රා මාර්ගයෙන් ශරීරයෙන් පිට කරයි.

මඤ්ඤොක්කා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකින් තැම්බීමේදී,විස HCN ලිනමරින්වලින් නිකුත්ව, විච්ජේදනය වී පිටව යයි. එහෙත්,සෙල්සියස් අංශක 60ට වැඩි උෂ්ණත්වයේ දී මෙය අක්‍රීය වී, ලිනමරේස් එන්සයිමය(Linermarase) CN මඤ්ඤොක්කා අලවල හෝ කොළවල ඉතිරි වේ. මේ නිසා,මඤ්ඤොක්කා ආහාරයට ගත් විට විස වේ.මඤ්ඤොක්කා විස වීම,ඉතා උග්‍ර විස වීම හා කාලීන විස වීම යනුවෙන් කොටස් දෙකකි. කාලීන විස වීම සිදු වන්නේ කාලාන්තරයක් තිස්සේ ය.මේ මඟින් ගලගණ්ඩය සහ ස්නායු රෝග වැලඳේ.

එම නිසා, මඤ්ඤොක්කා සම්පුර්ණයෙන් විස හැරීමට තුන් වරක් තම්බා,දිය හැරීම කළ යුතු ය. එය කරන්නේමෙසේ ය. පළමුව කට ලොකු මුට්ටියකට මඤ්ඤොක්කා සහ වතුර දමා,සෙල්සියස් අංශක 60ට අඩු උෂ්ණත්වයකදී තම්බා,ළිපෙන් ඉවත් කර,වතුර පෙරා ගත යුතු ය. නැවත පෙර පරිදි ම ජලයේ දමා සෙල්සියස් අංශක 60ට අඩුවෙන් රත්කර, වතුර පෙරා හැරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු වේ. අවසානයේදී, නැවතත් ජලය දමා අවශ්‍ය තරමට තම්බා ගත යුතු ය. ඉන් අනතුරුව ආහාරයට ගැනීම කළ හැකි ය. මේ ක්‍රමය නිසා මඤ්ඤොක්කාවල විස සම්පුර්ණයෙන් ම ඉවත් වේ.

මඤ්ඤොක්කාවල සයනසිඩ් අඩංගු හෙයින්,’ලිතියම්’ නමැති ඖෂධය භාවිත කරන රෝගීන්ට මඤ්ඤොක්කා ආහාරයට ගැනීම අහිතකර ය. එසේ ම, ඉඟුරුවල අන්තර්ගත ජින්ජරික් ඇසිටික් සමඟ මඤ්ඤොක්කාවල අන්තර්ගත සිරුරට අහිතකර විස රසායනික ප්‍රතික්‍රියා කරන හෙයින්, ඉඟුරු තේ හෝ ඉඟුරු දමා සකසා ගත් ආහාර අනුභව කර,මඤ්ඤොක්කා ආහාරයට ගැනීම නුසුදුසු ය.

මානසික රෝග සඳහා ඖෂධ භාවිත කරන රෝගීන්ට සහ තයිරොයිඩ් වැලඳී ඇති රෝගීන්ට, මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සුදුසු නැත.

මඤ්ඤේක්කාවල අන්තර්ගත සයිනයිඩ් සමඟ,තයිරොක්සින් ප්‍රතික්‍රියා කිරීම එයට හේතුව ය. එලෙස ආහාරයට ගැනීමෙන් එම රෝගීන්ට, වායු ගෙඩි සුව නොවීමට පුළුවන.

 

උපදෙස් – පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආහාර හා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

මදාරා මුදලිගේ