පුංචි ඡන්දය ගැන අවසන් තීරණය 23 දාට පසුව

පළාත් පාලන මැතිවරණය පිළිබඳව අවසන් තීරණයක් ජනවාරි මස 23 දාට පසුව ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ඊයේ (09) දින පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළඹි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වී තිබේ.

එමෙන්ම පක්ෂ නායකයින් හා නියෝජිතයන් ද, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු නිලධාරින් ද, සිමා නිර්ණය කිරීමේ කමිටුවේ සභාපති අශෝක පිරිස් මහතා හා කමිටු සාමාජිකයින් ද සහභාගී වුහ.